ස්මාට් ගැජට් හොයන අයට ගැලපෙන ස්මාට්වොච් කීපයක්!

ස්මාට්ෆෝන් කියන්නේ දැන් කාලේ හැමෝම අතේ තියෙන දෙයක්නේ. ඇත්තටම ස්මාට්ෆෝන් එකකින් අපේ එදිනෙදා වැඩ පහසු කරන විදිය මීට අවුරුදු පහළොවකට විස්සකට කලින් නම් හිතාගන්නත් බැරි තරමයි. කොහොම වුනත් අද ලෝකේ තියෙන ස්මාට් උපාංග ස්මාට්ෆෝන් වලට විතරක් සීමා වෙන්නේ නෑ. ඊලඟට ජනප්‍රිය වෙලා තියෙන තවත් ස්මාට් උපාංගයක් වෙන්නේ ස්මාට්වොච්. මේවා එක්කෝ ස්මාට්ෆෝන් එකත් එක්ක රැහැන් රහිතව සම්බන්ධ වෙලා, ස්මාට්ෆෝන් එකත් එක්ක වැඩ කරන්න පුළුවන් උපාංග. එහෙමත් නැතිනම් ස්මාට්වොච් එකටම සිම් එකක් දාලා, ස්මාට්ෆෝන් එකක අවශ්‍යතාවයක් නැතුවම ස්මාට්වොච් එකෙන් සියලුම දේවල් කරගන්න පුළුවන්.

හරි, මේ හැම ආකාරයකම ස්මාට්වොච් දැන් ස්මාට්ෆෝන් වගේම ජනප්‍රිය වේගෙන එන්නේ. ඒ නිසා ස්මාට්වොච් එකක් ගන්න හිතන කෙනෙක්ට තමන්ගේ අවශ්‍යතා අනුව තෝරගන්න වෙළෙඳපොළේ තියෙන ස්මාට්වොච් කීපයක් ගැන තමයි මේ කියන්න යන්නේ!

 

1. Huawei Watch GT

Huawei Watch GT කියන්නේ ඇත්තටම ස්මාට්වොච් එකක්ද කියන එක ගැන වාද විවාද තියෙනවා. කොහොම වුනත් මේ උපාංගය ලබාදෙන බැටරි බලයත් එක්ක තරග කරන්න උපාංග නම් වෙළෙඳපොලේ නැති තරමයි. නිෂ්පාදකයෝ කියන්නේ Huawei Watch GT උපාංගය සාමාන්‍ය භාවිතය යටතේ සති දෙකක් එක පාරක් ආරෝපණය කළහම පාවිච්චි කරන්න පුළුවන් කියලා තමයි. ඒක ඇත්ත හැබැයි. ස්මාට්ෆෝන් එකට සම්බන්ධ කරලා පාවිච්චි කරන්න ඕන මේ ස්මාට්වොච් එකට ෆෝන් එකට එන කෝල්ස්, මෙසේජස්, ඇලර්ට්ස් ඔක්කොම එනවා. හැබැයි කෝල්ස් ආන්සර් කරන්න බෑ. ඒත් ඔය ෆිට්නස් ට්‍රැකින් අවශ්‍ය අයට නම් මේකේ උපරිම පහසුකම් තියෙනවා. ඒ එක්කම කාලගුණේ ගැන විස්තර එහෙමත් මේකේ තියෙනවා!

තව දෙයක්, තවත් වැඩිදියුණු කරපු Huawei Watch GT 2 ස්මාට්වොච් එක මේ මාසේ අන්තිමට එන්න නියමිතයි!

 

2. Galaxy Watch Active

බොහොම හුරුබුහුටි නිමාවකින් සහ බලවත් දෘඩාංග එකතුවකින් යුතුව නිර්මාණය කරලා තියෙන මේ Galaxy Watch Active උපාංගය බොහොම සැහැල්ලු ඒත් වේගවත් ක්‍රියාකාරීත්වයකින් සමන්විතයි කියන්න පුළුවන්. ඒ වගේම මේකේ නිමාවේ තියෙන සුන්දරත්වයටත් ගොඩක් අය ආකර්ෂණය වෙනවා. ඇත්තටම ස්මාට්වොච් එකක් කියන්නේ ස්ටයිල් එකත් තියෙන්න ඕන දෙයක් කියන එක අමතක කරන්න බැහැ. මේකේ ඇතුළත් කරලා තියෙන ඇප්ස් වලින් අපිට සෑහෙන වැඩ කොටසක් කර ගන්න පුළුවන් වුනත්, තුන්වෙනි පාර්ශවයේ වෙනත් ඇප්ස් ඉන්ස්ටෝල් කරන්න බැරි වීම නම් අඩුවක් තමයි. 

මේකෙත් වඩාත් දියුණු කරපු අනුප්‍රාප්තිකයෙක් ඉදිරියේදී දැකගන්න පුළුවන්.

 

3. Apple Watch Series 4

ජීවිතේ ඇපල් යාලුවන්ට ගැලපෙනම ස්මාට්වොච් එක තමයි Apple Watch Series 4 කියන්නේ. අර ඇපල් සමාගමටම ආවේණික වුණු සුන්දර, සුඛනම්‍ය හැඩය සහ නිමාවත් එක්ක එන සුමට කොන් සහිත හතරැස් මූණක් තියෙන මේ Apple Watch Series 4 උපාංගයේ සෞඛ්‍යට සහ ශරීර සුවතාවයට ඉහළ ඉඩක් ලබාදීලා තියෙනවා. කොටින්ම කිවුවොත් දිගින් දිගටම ඔබේ හෘද ස්පන්දනය අධීක්ෂණය කරලා, මොකක් හරි වැරැදි විදිය​කට හදවත ගැහෙන්නේ කියලා දැනුනොත් වහාම ඩොක්ටර් කෙනෙක්ට දැනුම් දෙන්න පවා මේ වොච් එකට පුළුවන්. බැරි වෙලාවත් අපි අසනීපෙකින් ඇද වැටුනොත් එහෙම වහාම හදිසි අනතුරු සේවාවන්ට දැනුම් දීමක් කරලා, අපේ තත්ත්වය දිගින් දිගටම අධීක්ෂණය කරන්නත් මේකට පුළුවන්. මේකේ බැටරිය සාමාන්‍ය භාවිතයේදී දවසක් විතර රැඳිලා තියෙනවා.

 

4. Huawei Watch 2

ස්මාට්ෆෝන් එකක් නැතුව නියමම ස්මාට්වොච් එකක් විදියට පාවිච්චි කරන්න පුළුවන් මේ Huawei Watch 2 උපාංගයට නැනෝ සිම් එකක් දාන්නයි තියෙන්නේ. දැන් කෝල්ස් ගන්න, ආන්සර් කරන්න, මෙසේජ් යවන්න වගේ ඕනම දෙයක් මේකෙන් කරන්න පුළුවන්. ප්‍රබල දෘඩාංග එකතුවක් එක්ක වේගයෙන් සහ සුමටව ක්‍රියාත්මක වෙන මේ ස්මාට්වොච් එක ස්පෝටි ගතියක් තියෙන වොච් එකක් හොයන අයට තමයි ගොඩක්ම ගැලපෙන්නේ. මේකෙත් ශරීර සුවතා වැඩසටහන් වලට විශේෂයෙන්ම අවධානයක් දීලා තියෙන බව පේනවා. ඒ වගේම සාමාන්‍ය භාවිතය යටතේ මේකේ බැටරිය දවස් දෙකක් විතර එක ආරෝපණයකින් භාවිතා කරන්න පුළුවන් වීමත් විශේෂත්වයක්. ඒ වගේම පැළඳගෙන ඉන්න බොහොම පහසු ස්මාට්වොච් එකක් විදියටත් මේ Huawei Watch 2 උපාංගය හඳුන්වන්න පුළුවන්!

 

5. Samsung Galaxy Watch

අපි අතේ බඳින විදියේ ඇනලොග් අත් ඔරලෝසුවක් වගේම පේන්න නිර්මාණය කරලා තියෙන Samsung Galaxy Watch උපාංගය බොහොම මිලෙන් අධික සුඛෝපභෝගී පෙනුමක් ලබාදෙනවා කිවුවොත් හරි. ඒ වගේම මේ උපාංගය bluetooth හරි LTE හරි තියෙන මොඩ්ල් එකකින්, ඔරලෝසු මුහුණත 42mm හරි 46mm හරි සංස්කරණයකින් තෝරගන්න පුළුවන්. මේක හැමවෙලාවේම ඔන් එකේ තියෙන නිසා වෙලාව බලන්න බට්න් එකක් ඔබන්න ඕන නෑ. විශේෂයෙන්ම මේකේ LTE සංස්කරණය ලඟ තියෙනවා කියන්නේ ෆෝන් එකක් නැතත් කමක් නැහැ කියන එකයි. ෆෝන් කෝල් එකක් ගන්න, මෙසේජස් යවන්න වගේ හැම දෙයක්ම මේ හරහා කරගන්න පුළුවන්. ඒ වගේම මේකේ මෙනු අයිතමයන් හරහා එහේ මෙහේ යන්න ටච්ස්ක්‍රීන් එක පාවිච්චි නොකර, ඔරලෝසු මුහුණත වටේ තියෙන රවුම කරකවන්න පුළුවන් එකත් මරු!

 

6. Amazfit Stratos

මේක හරියටම නම කියනවා නම්, Xiaomi Huami Amazfit Stratos. ඒ කියන්නේ මේ වොච් එක Xiaomi සමාගම යටතේ තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. මේකත් බජට් එකට ගන්න පුළුවන් ස්මාට්වොච් එකක් විදියට හඳුන්වන්න පුළුවන්. බොහොම ස්ටයිලිෂ් විදියට නිර්මාණය කරලා තියෙන මේ ස්මාට්වොච් එකේ සාමාන්‍ය භාවිතය යටතේ දවස් 5 ක් එක දිගට බැටරිය පවත්වා ගන්න පුළුවන් කියලා නිෂ්පාදකයෝ කියනවා. එතකොට මේක ශරීර සුවතා ක්‍රියාකාරකම් අධීක්ෂණයටත් හොඳ බරක් දීලා, ඒ වගේම පෙනුමටත් හොඳ බරක් දීලා තමයි නිර්මාණය කරලා තියෙන්නේ. විශේෂයෙන්ම ශරීර සුවතා ක්‍රියාකාරකම් දත්ත විශ්ලේෂණය සඳහා මේකට ඉතාම හොඳ හැකියාවක් තියෙනවා. ඕන නම් මේකෙම ඉන්ස්ටෝල් කරපු මියුසික් එහෙමත් අහන්න තියෙනවා.  වෙනම ඇප්ස් ඉන්ස්ටෝල් කරන්න, කෝල්ස් ගන්න එහෙමනම් බැහැ.

 

7. Fitbit Versa Watch

ෆිට්බිට් කියන ෆිට්නස් ඇප් එක ගැන නම් ඔය ශරීර සුවතාවය ගැන උනන්දු කවුරුවත් නොදැන ඉන්න විදියක් නෑ. හැබැයි ෆිට්බිට්ලා ශරීර සුවතාවයට ප්‍රමුඛත්වය දීලා ස්මාට්වොච් එකක් නිර්මාණය කරලා තියෙනවා කියන එක නම් ගොඩක් දෙනෙක් දන්නෙ නැතුව ඇති. ඇත්තටම මේකත් ස්මාට් වොච් හැකියාවන්ට වඩා ශරීර සුවතා හැකියාවන්ට මූලිකත්වය දීලා නිර්මාණය කරපු උපාංගයක්. මේකේ බැටරි බලය දවස් හතරක් විතර සාමාන්‍ය භාවිතය යටතේ රැකගන්න පුළුවන් කියලා තමයි නිෂ්පාදකයෝ කියන්නේ. මේකේ විවිධ ශරීර සුවතා ක්‍රියාකාරකම්, ව්‍යායාම විධි වෙනුවෙන් ඉතාම විස්තරාත්මක උපදේශන මාලා ඇතුළත්. ඒ වගේම විශේෂයෙන්ම කාන්තාවන්ගේ මාසික ඔසප් සෞඛ්‍යය සම්බන්ධයෙන් වුනත් අධීක්ෂණය කරන්න, දත්ත තියාගන්න සහ ඒ අනුව තීන්දු තීරණ ලබාදෙන්න මේ ස්මාට්වොච් එකට පුළුවන්. එතකොට ස්මාට්ෆෝන් එකට එන කෝල්ස්, මෙසේජස්, ඇලර්ට්ස් පෙන්නන්න එහෙමත් මේකට පහසුවෙන්ම පුළුවන්.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *