කදුරුගොඩ විහාරය යාපනයේ ඇති බෞද්ධ විහාර අතර ඓතිහාසික වැදගත්කමක් ඇති සුවිශේෂී ස්ථානයක් වෙනවා. බුදුන් වහන්සේ දෙවන වර ලංකාවට වැඩම කරන ලද ස්ථානය ලෙස බෞද්ධයින් අතර මෙම ස්ථානය වන්දනාවට පාත්‍ර වෙනවා. මෙම ස්ථානයේ වාසය කරන ලද රහතන් වහන්සේලා කණ්ඩායමක් විෂ හතු අනුභව කොට එයින් පිරිණිවී ගිය බැවින් උන්වහන්සේලා සිහිවීම පිණිස මෙම චෛත්‍යය කරවූ බවට එක් මතයක් වෙනවා. ඒ අනුව එදා මෙම යාපන අර්ධද්වීපයේද බෞද්ධ විහාර ආරාම තිබූ බවට ජීවමාන සාක්කියක් ලෙස කදුරුගොඩ පුදබිම පොළොවෙන් ඉහළට විත් විරාජමාන වෙනවා.
1. විද්‍යාත්මක හැදෑරීම් අනුව
1970 පෙන්සිල්වේනියා සරසවිය විසින් මෙහි කරන ලද කැණීම් වලදී තමිල්නාඩුවේ අරිකමේදු හි කැණීම් වලට සමාන මැටි බඩු සොයාගනු ලැබුවා. ඒ අනුව සිදුකරන ලද කාබන් නිර්ණය කිරීම් හමුවේ මෙම පුදබිමේ ඉතිහාසය ක්‍රිස්තු පූර්ව 1300 තරම් ඈතට විහිද යන බව සොයාගනු ලැබුවා. මේ කැණීම් වලදී සිංහල ප්‍රාකෘත අක්ෂර සහිත බ්‍රාහ්මීය අක්ෂරද සොයාගනු ලැබුවා. ඉන් පසුව යාපනය විශ්ව විද්‍යාලය මගින් කරන ලද කැණීම් වලින් ක්‍රිස්තු පූර්ව 300 යුගයට අයත් බ්‍රාහ්මීය අක්ෂරද සොයාගනු ලැබුවා
2. වෙළඳ මධ්‍යස්ථානයක් බවට වන මතය
මෙම කදුරුගොඩ, එහෙමත් නැත්නම් කන්දරෝඩයි පුරාවිද්‍යා ස්ථානයේ කරන ලද කැණීම් වලින් පාණ්ඩ්‍ය සහ චේර යුගවලට අයිති කාසි සොයාගෙන තියෙනවා. ඒ වගේම හින්දු දේවතාවියක් වන ලක්ෂ්මී දෙවඟනගේ රූපය ඇතුළත් කාසි ද මෙම බිමින් සොයාගනු ලැබුවා. ඊට අමතරව බටහිර දේශයන් වූ ඊජිප්තුව, රෝමය සමග සබඳතා තහවුරු කරමින් ඊජිප්තු සහ රෝම කාසිද මෙම භූමියේ සිදුකරන ලද කැණීම් වලින් සොයාගෙන තිබෙනවා. ඒ අනුව පූර්ව ඓතිහාසික යුග වලදී මෙම භූමිය වෙළඳ මධ්‍යස්ථානයක් ලෙස පැවති බවට මත පළවෙනවා.
3. මහාවංශ මතය
මහාවංශයට අනුව ශ්‍රී මහා බෝධිය ලංකාවට වැඩම කෙරූ මාර්ගය යෙදී ඇත්තේද යාපන අර්ධද්වීපය හරහායි. එහිදී අනුරාධපුර සිට දඹකොළපටුනට යන මාර්ගයේ මෙම කදුරුගොඩ විහාරය පිහිටා තියෙනවා. ඒ වගේම සඟමිත් තෙරණිය සහ පිරිස දඹකොළපටුන සිට දකුණුදිග අනුරාධපුරයට පැමිණෙන අතර මෙම විහාරයද වැඳපුදාගත් බව මහාවංශයේ සඳහන් වෙනවා.
4. සොයාගැනීම
මෙම කදුරුගොඩ පුදබිමෙහි නටබුන් සොයාගනු ලැබුවේ යාපනේ මහේස්ත්‍රාත්ව සිටි පෝල් ඊ පීරිස් විසින්. ඔහු විසින් සොයාගන්නා විට ස්ථූප 56කින් අක්කර 7ක් පුරා මෙම පුදබිම විසිරී පැතිරී තිබුණා. කලක් තිබූ ත්‍රස්තවාදී කළබල සහ වෙනත් හේතූන් නිසා අද සියවසක් ගෙවී ගිය තැන ඉතිරි වී ඇත්තේ මෙම ස්ථානයෙන් ස්ථූප 20ක් පමණයි. ඒ 1917 කැණීම් වාර්තා අනුව මෙම පුදබිමේ වැඳුම් පිදුම් කරන කාමරයක්, බුදු සහ බෝධිසත්ව පිළිම මෙන්ම සිරි පතුලක්ද කැණීම් වලින් හමු වී තිබෙනවා. එම ඉදිකිරීම් බුවනෙකබා, පැරකුම්බා යුගවලදී ඉදිවී ඇති බවට සැළකෙන අතර ඒ ඇතැම් පුරාවිද්‍යා සාධක අද යාපන කෞතුකාගාරයෙදී දැකගන්නට පුළුවන් වෙනවා.
5. අද තත්ත්වය
ඓතිහාසික වාර්තා අනුව එදා 70ක් හෝ 56ක් පමණ ස්ථූප තිබූ බවට සඳහන්ව තිබුණත් අද ඉතිරිව ඇත්තේ එයින් ස්ථූප 20ක් පමණයි. එයින් කුඩාම ස්ථූපය අඩි අටක වටප්‍රමාණයෙන් යුක්ත වන අතර විශාලතම ස්ථූපය අඩි 23.5ක් වෙනවා. මේ ආකාරයේ ස්ථූප තිබෙන එකම ස්ථානය කදුරුගොඩ පමණයි. ලංකාවේ වෙනත් කිසිම ස්ථානයකින් මේ ආකාරයේ සැකිල්ලක් සහිත කුඩා ස්ථූප හමුවන්නේ නැහැ. මේ ස්ථූප තනි කෝම්පිට්ටුවක් හැඩයට තිබෙන අතර හතරැස් කොටුව සහ දේවාල කොටුව වැනි අනෙක් ලාංකික ස්ථූප අංග මේවායේ ඇතුළත් නැහැ.
6. යන මාර්ගය
මෙම ස්ථානය කන්දරේඩෙයි ටෙම්පල් හෝ කදුරුගොඩ විහාරය යනුවෙන් ගූග්ල් මැප් හි සඳහන් වෙනවා. යාපන අර්ධද්වීපයේ කීරමලේ ළිඳ, කන්කසන්තුරෙයි, දඹකොළ පටුන ආදී පූජනීය ස්ථාන වන්දනාමාන කිරීමේදී මේ කදුරුගොඩ පුදබිමත් දැකබලාගෙන වැඳපුදාගන්නට බැතිමතුන්ට පුළුවන්. චුන්නාක්කම් මංසන්ධියේ සිට කිලෝමීටර හත අටක් ගිය තැන තමයි මේ කදුරුගොඩ පුදබිම තිබෙන්නේ.
7. තර්ජන සහ වැදගත්කම
එදා 1948 දී මෙම බිමට අක්කර 7ක් අත්පත් කරගෙන තිබුනේ අදාළ පාර්ශව වලට මුදල් දීමෙන්. එයින් 1965 වනවිට ඉතිරි වී තිබුණේ අක්කර 3ක බිමක් පමණයි. අද වනවිට එය තවත් අඩු වී අක්කරයකට අඩු තරමකට මේ බිම අඩු වී තිබෙනවා. ජාත්‍යන්තර සහ ජාතික වැදගත්කමක් සහිත කැණීම් බිමකට මෙසේ හානිකොට ඉඩම් අල්වාගැනීම වෙනත් පළාතකදී නම් පුදුම සහගතයි. ඒත් යම් ජාතිවාදී වාර්ගික කෝන්තරත් මත මේ ඉඩම් වල ඉරණම තීරණය වන්නට ඇති.
කදුරුගොඩ පුදබිමේ ඉතිහාසය ගැනත් ද්‍රවිඩ සහ අනෙකුත් විද්වතුන් අතර මත ගැටුමක් තිබෙනවා. ද්‍රවිඩ විද්වතුන් කියන ආකාරයට මෙය දකුණු ඉන්දියාවෙන් පැමිණි දෙමළ බෞද්ධ පුදබිමක් වෙනවා. ඒත් සිංහල බෞද්ධ මතය අනුව මෙය කෙළින්ම අනුරාධපුර සහ අපේ රජවරුන් හා සම්බන්ධ වූ පුදබිමක් වෙනවා. ඒ කෙසේ වෙතත් මෙවැනි පුරාවිද්‍යා වටිනාකමක් ඇති පුදබිමක ඉඩම් ටිකවත් රැකගන්නට අපේ බලධාරීන්ට බැරි වීම නම් පුදුම සහගතයි. ඉතින් යාපනේ ගමනක් ගියොත් ඔබත් මේ බිම දැකබලාගෙන එන්නට අමතක කරන්නට එපා.
Leave a Reply