ටීවි එක කියන්නේ ගෙදර නොමිලේම බලන්න පුළුවන් තොරතුරු වාහිනිය කියලා අර්ථකථනය කරන්නට පුළුවන් වුණාට ඒකෙන් වෑහෙන්නේ තොරතුරු කෙසේවෙතත් ගඳ ගහන කුණු ගොඩවල් ටිකක්. ඒ හින්දාම තරුණ පරම්පරාව රූපවාහිනී නැරඹීමෙන් වැළකී සිටින නිසා දැන් අම්මලා තාත්තලාට “දවසේම ටීවී එක බලන්න එපා ළමයෝ” කියලා සැරවෙලා ලේ පුච්චගන්න අමුතුවෙන් අවශ්‍ය වන්නේ නැහැ. අපි බලමු අපේ ටීවී චැනල් ටික ගොඩගන්න පුළුවන් සරලම දේවල් කිහිපයක්.
1. ඇඩ්ස් අඩුවෙන් පෙන්වන්න
ටීවි එක දැම්මාට පස්සෙ ඉතින් ඇඩ්ස් බලන්න ලැබෙන එක නම් වාසනාවක්. ඒ අතරේ චුට්ට චුට්ට ටෙලිනාට්‍ය වගේ දේවල්නුත් යනවා. නාට්‍යය යන අතරතුරේත් යටින් පොඩි පටියක් මතු වෙවී, උඩ කෙළවරක තවත් ඇඩ්ස් යනවා. කතාවේ විරාම අස්සේ ඊළඟට වෙන්න තියෙන හොඳම ටික කලින්ම පෙන්නලා ඒක ඇඩ් එකක ෆ්‍රේම් එකකින් ආවරණය කරලා තියෙනවා. මැච් එක බලන්න ගියාම ඊට හපන්. බෝලය දාන්න දුවගෙන එනවා පේනවා ඊට පස්සේ කවුරුහරි ගෑණියෙක් ඇඟේ සබන් ගගා සුවඳ බලන එකක් පෙන්නනවා. ආයෙ මැච් එක පෙන්නද්දි ප්‍රේක්ෂකාගාරයේ ඉන්න එවුන් කෑ ගහන හැටි තමයි පෙන්නේ. ඔන්න එතකොට අපි දැනගන්නවා හයක් ගහලා කියලා. ඒ බලාගෙන ඉද්දි එක පාරම මැච් එක තිරයේ එක් කෙළවරකට චූටි වෙලා යටිනුයි පැත්තෙනුයි ඇඩ් එකක් යනවා.
හැබැයි ඉතින් ආයතනයේ පැත්තෙන් ගත්තාමත් මේක නොකර බෑ. අපෙන් එයාලාට ඍජු ගෙවීමක් නොලැබෙන නිසා එයාලා චැනල් එක තියාගෙන ඉන්න මිනිස්සුන්ට පඩි ගෙවන්නත් එපැයි. අවුල තියෙන්නේ වෙනත් ව්‍යාපාර වැඩිපුර කරන, ඒවායෙන් ලොකු ආදායමක් ලබන නමුත් ඒවා වහගන්න හෝ ආතල් එකට වගේ ටීවී චැනල් එකක් කරන ආයතන වුණත් ඇඩ් ටිකෙනුත් ගාණක් හොයාගන්න මිසක් මිනිස්සුන්ට හොඳ දෙයක් පෙන්වන්න අවශ්‍යතාවක් තිබෙන බවක් නම් පේන්න නැහැ.
2. බුද්ධියට යමක්
ගොඩක් තරුණ පරම්පරාවේ අයට ටීවී බලන්න හිත් නොදෙන කාරණාවක් තමයි ඔළුවට යමක් නොලැබෙන වැඩසටහන් නොලැබෙන එක. මේ වෙද්දි සැටලයිට් ටීවී, අයිපී ටීවී ලංකාවට ඇවිත් තියෙන නිසා ඩිස්කවර් සයන්ස් වගේ චැනල් බලන්න අවස්ථාව ලැබී තිබුණත් ලංකාවේ චැනල් වලින් ඔළුවට යමක් ලැබෙනවා නම් ඒ එක්කෝ ඉන්දියාවේ මෙගා ටෙලිනාට්‍යවල ඉන්න දාහක් විතර නළු නිලියොන්ගේ මූණු ටික තමයි. මොකද ඉතින් ඒ සේරම චරිත මතක තියාගෙන, දවස් හතට කතා හතක් මතක තියාගෙන ටීවී එක බලනවා කියන්නෙත් පොඩි ගේමක් නෙවෙයි. ඒ හරුණාම අපේ චැනල්වල දේශපාලන සාකච්ඡා යනවා. ඒවා ඉතින් හොඳයි නිදිමත නැත්නම් මහ රෑට සුරංගනා කතාවක් වගේ අහගෙන ඉන්න. ඉස්සරම අටපට්ටම, දොරමඬලාව තිබුණත් පහු කාලයක් වෙද්දි අටපට්ටමත් නිකංම නිකං වීඩියෝ ක්ලිප් පෙන්නන එකක් බවට පත් වුණා. දැන් ජාතික රූපවාහිනියේ අරුම පුදුම රෝද හතර ටිකක් හොඳට යනවා.
3. බලන්න පුළුවන් කතා ටිකක්
ලංකාවේ රූගත කරන්න නිෂ්පාදන මිලක් නැතුවම ලේසියෙන් මාකට් කරන්න පුළුවන් කතා තමයි කොරියාවෙනුයි ඉන්දියාවෙනුයි ඉම්පෝට් කරපුවා. ඉන්දියන් මෙගාවල කුහකකම හිතේ පොදි ගහගත්තු ඇන්ටිලා සහ ආච්චිලා අපේ පොඩි උන්ගේ ඔළු නරක් කරද්දි කොරියන් කතා ටික (ගෑණු වගේ) කොල්ලො පස්සෙ පිස්සුවෙන් වගේ යන්න අඩු වයසින්ම උගන්නලා දෙනවා. ඊට පස්සේ මේවායේ ඉන්න පිම්පි චරිතවල පින්තූර පාසල් ආසන්නයේ තිබෙන කඩවල් වල උණු උණුවේ අලෙවි වෙනවා. බස් එකේ යද්දිත් පොඩි කෙල්ලන්ට තියෙන ප්‍රශ්නෙ තමයි මේ කතාවෙ අන්තිමට මොනවා වෙයිද කියන එක. ඒ සෙට් එකේ යූටියුබ් එකෙන් ඒ රටේ ගියපු කතාව බලලා සිද්ධි ගැන අනාවැකි කියන කෙල්ල තමයි ඉතින් පොර ඩෑල් එක. හැබැයි මේ මෑතකදී ආපූ කූඹියෝ ටෙලිනාට්‍යය නම් ටීවී එක ගැන තරුණ පරම්පරාවේ තිබුණු අදහස් ටිකක් වෙනස් කරන්නට සමත් වුණා.
4. හොඳ කාටූන් ටිකක්
පොඩි එවුන්ට ඉතින් තියෙන එකම ඉල්ලීම හොඳ කාටූන් ටිකක් පෙන්නන්න කියන එක විතරයි. අපි පොඩි කාලේ සූර පප්පා, ඥාන කතා මල්ලි, කූඹිච්චි, අපි රජ ඉබ්බෝ, ටින් ටින් වගේ ඉහළ ගුණාත්මක බවකින් සහ හාස්‍යජනක හඬකැවීමකින් නිපැයුණු කාටූන් තිබුණාට අද ටීවී එකේ තියෙන්නේ ඉන්දියාවේ මෝඩ විහිළු තියෙන සමෝසා කන කාටූන් ටිකක් සහ අපේම රාවණා රජ්ජුරුවන්ට පහර ගසමින් ඉන්දියාවේ නිල් පාට දෙවියෙක් ලොකු කරන ලාබෙට හොයා ගත්ත කාටූන් ටිකක් මිසක් වැඩකට ඇති, නිර්මාණශීලී අදහස් මතුකරවන ඒවා නෙවෙයි. නිවාඩු කාලෙට පෙන්වන හඬකවපු චිත්‍රපට ටිකත් පොඩි එකා වයසට යනකම්ම එකම සෙට් එක මිසක් ලෝකයට අලුතෙන් බිහිවන චිත්‍රපට, ඇනිමේෂන් කිසිවක් අපේ ගම්වල දරුවන්ට බලන්න ලැබෙන්නේ නැහැ.
ඉතින් ජීවිතේටම බලපාන ටීවී සංස්කෘතිය මීට වඩා හොඳ තත්ත්වයකට ගෙනාවේ නැත්නම් අපේ රටේ මිනිස්සුන්ගේ රසඥතාව ගොඩගන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. අපේ රටේ නිපැයුණු හොඳ නිර්මාණයකට මිනිස්සු යොමු වෙනවා වෙනුවට තරුණ පරපුර බෙහෙවින්ම පෙළඹී සිටින්නේ බටහිර රටවල ඒවා ටොරන්ට් වලින් බාගෙන බලන්නටයි. මේ දේවල් ගැන හැම රූපවාහිනී නාලිකාවක්ම අවධානය යොමු කරවනවා නම් ඩිස්කවරි, ඇනිමල් ප්ලැනට්, NatGeo වගේ නාලිකාවලට තිබෙන ඉල්ලුම අපේ රටේ ඒවාටත් ලබා ගනිමින්; මුදල් දීලා බලෙන් ටීවී පෙන්වන කලාව නවත්තලා දාන්න හැකියාව ලැබේවි.
Cover Image Source – vice.com
Leave a Reply