උම්බලකඩ සහ කරවල ගෙදරදිම හදමුද?

ඉස්සර නම් අපේ අත්තම්මල පොල් සම්බෝලෙට, කට්ට සම්බෝලෙට, උයන උයන ව්‍යෑංජන වලට ලෝබ නැතුව අහුරු පිටින් දාපු උම්බලකඩ රත්තරන් ගාණට ගණන් ගිහින්නෙ දැන්. මේ මිල වැඩි උම්බලකඩ සහ කරවල කඩෙන් ගන්නවට වඩා පිරිසිදුව සහ ලාබෙට ගෙදරම හදාගන්න හැටියි අද අපි කියලා දෙන්නේ. මේ වගේ කල් තියාගන්න පුළුවන් කෑම ගෙදරම හදාගන්න එකේ වටිනාකම අපිට පහුගිය කාලෙ දැනුණු නිසයි අපිත් ඔයාලට මේවා කියලා දෙන්න හදන්නේ. ඒ වගේමයි ස්වයං රැකියාවක් විදියට මේ ව්‍යාපාරය කරන අයටත් වැදගත් වෙන කරුණු ටිකක් ගෙනාවා. ඕන් එහෙනම් අහගන්න.

 

1. උම්බලකඩ සාදාගන්නා ආකාරය

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. බල, කෙලවල්ලා හෝ අලගුඩුවො මාළු කිලෝ 2
  2. ලුණු මේස හැඳි 6
  3. කහකුඩු තේ හැඳි 4
  4. ගොරකා කෑලි 10

 

  • සාමාන්‍යයෙන් උම්බලකඩ හදන්න ගන්නෙ කෙලවල්ලො, බල මාළු හෝ අලගුඩුවො කියන ජාතිය. අපිට ධීවර වරායකින් වගේ මාළු ටික ගන්න තියනවනම් ස්වයං රැකියාවකට වගේ නම් ලාබෙට වැඩේ කරගන්න පුළුවන්. 

 

  • මාළු කූරි වශයෙන් හෝ ලොකු කුට්ටි විදිහට අරගෙන අරගෙන හොඳට හෝදලා ඔළුව, බඩවැල් සහ නැට්ට කපල ඉවත් කරල මාළුවා හොඳට සෝද ගන්න. 

 

  • පොඩි මාළු ගන්නවනම් කූරියා පිටින්ම තියෙද්දි මෙහෙම සුද්ද කරලා ඇතුල සෝදගන්න ඕනේ. කුට්ටි වශයෙන් ගත්තනම් ඒ විදියටම සෝදගන්න. ඇතුලෙ කටු අයින් කරන්න එපා.

 

  • මාළු ටික වැහෙන ප්‍රමාණයට අවශ්‍ය තරම් වතුර ගන්න. ලොකු මුට්ටියකට වතුර දාලා වතුර ටික රත්වේගෙන එනකොට ඒකට ගොරකා කෑලි 10ක් විතර දාගන්න. තව කහකුඩු තේ හැඳි 4ක් හා ලුණු කුඩු මේස හැඳි 6ක් වගේ දාගන්න. කලවම් කරලා වතුර උතුරනකොට මාළු ටික දාගන්න.

 

  • හැඳි නොගා, කලවම් නොකර පරිස්සමට මාළු ටික තම්බගන්න. හැඳිගාන්න ගියොත් මාළු කුඩු වෙන්න බලයි. ඒ නිසා මාළු ගොඩක්ම වෙලා නැතුව විනාඩි 10ක් වගේ තැම්බුවාම හොඳටම ඇති.

 

  • මාළු ටික තම්බගෙන වතුර පෙරාගෙන මාළු කුට්ටි ටික බෝඩ් එකක් උඩ තියල කූරි මාළු නම් දෙකට පළලා මැද ලොකු කට්ට විතරක් අයින් කරගන්න. ස්වභාවිකවම මාළු පළුව වෙන් වෙන කුට්ටි හතරට වෙන් කරගන්න. ලොකු කුට්ටි මාළු නම් ලොකු කටු විතරක් අයින් කරල වෙන් කරගන්න. 

 

  • අඟල් පහක් හයක් පළල පිරිසිදු කපු රෙදි පටියක් ගන්න. තම්බපු මාළු කුට්ටියක් මේ පටිය මැදින් තියල දෙපැත්තෙන් ටොෆි එකක් වගේ ඔතල මාළු කුට්ටිය කැඩෙන්නෙ නැතිවෙන්න පරිස්සමට මිරිකගෙන අමතර වතුර ඉවත් කරගන්න. මෙහෙම කළාම වේලගන්න කාලය අඩු කරගන්න පුළුවන්. 

 

  • දැන් මේ මාළු ටික දැලක් උඩ හෝ හොඳින් රත්වෙන තැටියක තියලා හොඳ තද අව්වේ දවස් 3-4ක් විතර වේලගන්න ඕන. 

 

  • උම්බලකඩ පදම, ඒ කියන්නෙ කළුවට වගේ වෙනකල් හොඳට වේලලා අරන් බෝතල් කරලා තියලා කෑමට ගන්න පුළුවන්.

 

  • අව්ව නැති කාලෙක හෝ මාළු වේලගන්න තරම් සුදුසු වට පිටාවක් නැති අයට හෝ ගෙදර පූසො බව්වො එක්ක බේරගන්න අමාරු නම් මේ මාළු ටික අවන් එකේ සෙල්සියස් 100°ට දාලා විනාඩි 40කට සැරයක් අනික් පැත්ත පෙරලන්න. පැය තුනක් විතර මේ විදියට වේලගන්න. සමහර විට මේ ප්‍රමාණය වේලිලා ඇති වෙන්නත් පුළුවන්. නැත්නම් එහෙම වේලලා අරන් එක දවසක් අව්වට දාගත්තත් ඇති. 

 

 

2. කරවල ගෙදරදීම හදාගන්න හැටි

කරවල ඉතින් පොඩිම කාලෙ එච්චර කැමැත්තකින් නොකෑවට වයසෙන් වැඩෙන කොට පොල් සම්බෝලයක් එක්ක කරවල කෑල්ලක් බැදලා බත් කන එකේ රස දන්නෙ එහෙම කන උදවියම තමා. හාහා කතා ඇති දැන් වෙලාව කරවල හදාගන්න හැටි කියලා දෙන්නයි.

 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. කැමති ඕනම මාළු වර්ගයකින් ග්‍රෑම් 500
  2. ලුණු

 

  • සාමාන්‍යයෙන් කරවල හදාගන්න බල, මෝර, හාල්මැස්සන්, සාලයෝ, තලපත්, ඉස්සො වගේ මාළු වර්ග ගන්න පුළුවන්. 

 

  • මේ මාළු කොයි එක ගත්තත් සාමාන්‍යයෙන් අපි සුද්ද කරන විදියට ඔළුව ඉවත් කරල, කරමල් ඉවත් කරලා, බඩ ඇතුල තියන අනවශ්‍ය කොටස් ඔක්කොම අයින් කරගන්න. අලුත්ම මාළු ගන්න තියනවනම් ගොඩක් හොඳයි.

 

  • පොඩි මාළු නම් කූරි පිටින් අරගෙන පොඩි කැපුම් දාගන්න ලුණු අල්ලන්න. තලපත්, මෝර වගේ ලොකු මාළු නම් හම සමඟම තීරු කපාගන්න. 

 

  • මේ මාළු ටික හොඳට සෝදාලා ලුණු හා දෙහි ටිකක් දාලා අතුල්ලන්න. ඒකෙන් මාළු වල තියන පිළී ගඳ නැතිවෙනවා.

 

  • ආයෙ මේ ටික සෝදලා හොඳට වතුර බේරෙන්න තියන්න. වතුර බේරගත්තු මාළු වලට ලුණු මේස හැඳි එකක් දාලා කලවම් කරලා විනාඩි 10ක් වහලා තියන්න.

 

  • යකඩ දැලක් හෝ නෙට් එකක් තැටියක් උඩින් දාගන්න. (අපිට අවන් එකේ දැල උනත් ගන්න පුළුවන්) ඒක උඩින් මේ මාළු ටික අඩුක් කරගන්න. මාළු උඩින් ලුණු ඉහින්න. 

 

  • දැන් මේ ටික දවස් 3ක් 4ක් හොඳ තද අව්වේ වේලගන්න.

 

  • එහෙම නැත්නම් අවන් එකේ කරවල හදාගන්නත් අපිට පුළුවන්. අවන් එක සෙල්සියස් 170°ට ප්‍රීහීට් කරගන්න. අවන් එකේ යටින්ම තැටියක් දාල ඒකට උඩින් අවන් එකේ දැලක් මත දාපු මාළු දාගන්න. විනාඩි 15ක් බේක් කරගන්න.

 

  • අවන් එක ඕෆ් කරල දොර අරින්නෙ නැතුව එහෙම්ම පැය 24ක් තියන්න. ඊලඟ දවසෙත් විනාඩි 15ක් බේක් කරගෙන අවන් එක ඕෆ් කරල දොර අරින්නෙ නැතුව පැය 24ක් තියන්න. මේ විදියට දවස් 2-3ක් මාළු ටික බේක් කරගන්න. 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *