අලුත් ඔෆිස් එකකදි අලුතෙන්ම හැඩගැහෙන්න වෙන කාරණා ටිකක්

අලුත් ඔෆිස් එකකට අඩිය තියන මිනිස්සුන්ට තියෙනව අලුත් බලාපොරොත්තුවක්. පෙර නොවුනු බලාපොරොත්තුවක්. ඒ තමුන්ගෙ ඉදිරි ගමන. ඒ වෙනුවෙන් මිනිස්සුන්ට වැඩ කරන්න සිද්ධ වෙනවා. ඒ වැඩ කිරිල්ල පැත්තකින් තිබ්බත් මිනිස්සුන්ට වෙනස් දේවල් ටි​කක් තියෙනවා අනුගත වෙන්නට සිද්ධ වෙන. මෙන්න මේ අනුගත වීම සිද්ධ කරන්න වෙන්නෙ මොනව සම්බන්ධයෙන්ද කියන එක ගැන තමයි අපි අද ලියන්නෙ.  මේක ලේසි වැඩක් නෙමෙයි. හැබැයි මේ වැඩ ටිකට හුරු නොවී කොයිතරම් දක්ෂ විදියට වැඩකරත් ඒ වැඩේ සාර්ථක නැති විත්තිය කියන්න ඕන. අන්න ඒ නිසායි අපි මේ ටික ලියන්නෙ.

 

1. යටි තල පහසුකම්

රස්සාවක් නොකර ජීවත් වෙන්න වුනත් අතිශයින්ම අවශ්‍ය වෙන දෙයක් වෙන්නෙ යටිතල පහසුකම් කියන දේ. ඒ වෙනුවෙන්ම විශේෂිත අමාත්‍යාංශයකුත් තියෙනවානෙ. මේ කියන්නෙ යන්නෙ ඒ ගැන. මුල්ම දේ තමයි වොෂ්රූම් කියන්නෙ. ස්ට්‍රෙස් වෙච්ච වෙලාවට ටිකක් කල් මරන්න වගේම නිදිමත වෙලාවට මුහුණ පොඩ්ඩක් හෝදාගන්න වොෂ්රූම් එකට හුරුවීම අත්‍යවශ්‍යයි. ඒ හුරැවීම ලේසි නැහැ. මනුස්සයෙකුට හුරු වෙන්න අමාරුම තැනක් තමයි වොෂ්රූම් කියන්නෙ. ඒ වගේම නිතරම ඕන වෙන වතුර. වතුර අත පොවන මානයේ තියෙන්න ඕන. එහෙම නැත්තං බෝතලයක් පාවිච්චි කරන්න ඕන. ඒ වගේම ලන්ච් රූම් එක තියෙන තැන දැනගන්න වගේම ඒකට හුරු වෙන්න ඕන. ඒ හුරු වීම කන්න හුරු වීමක් නෙමෙයි. ලන්ච් අවර් එකේ තියෙන නිදහස භුක්ති විඳින වෙලාව වෙනුවෙන් ඒ කැපකිරී​ම කරන්න ඕන. අනිත් විශේෂම දේ තමයි තේ. කොහොමද තේ බොන්නෙ? කවුද හදල දෙන්නෙ? කෝප්ප කොහේද? වගේ ප්‍රශ්න ගොඩයි.

 

2. කම්පියුටරය

මේක තමයි හුරු වෙන්න අපහසුම දේ. කාලයක් ති‍ස්සෙ පාවිච්චි කරපු කම්පියුටරයක් කියන්නෙ ජීවිත සගයෙක්. හැරෙන හැරෙන අතට තියෙන්නෙ හුරු දෙයක්. මෙන්න මේ විදියට අවුරුදු ගා​ණක් පාවිච්චි කරපු ඒ හුරුව අත්හැර දාලා ආයෙත් වෙනිං පරිගණකයකට හුරු වෙන්න කාලෙ ඇවිත්. මේකටත් ටික කාලයක් යන කං සංඝඛ්ඛාරා ආපු අලුත බැණුම් අහපු විදියටම බැණුම් අහන්න වෙනවා. මේක ඉස්සර හිටපු ක්ලූවිථරා​ණේ වගේ නෑ කිය කිය බැණුම් අහන්න වෙනවා. හැබැයි ටිකෙන් ටික ගිහින් හුරු වෙද්දි මිනිස්සුන්ට තේරෙනව කලූ​ට වඩා සංග හොඳයි කියල. අලුත් ඔෆිස් එකකට ගිහින් අලුත් කම්පියුටරයකට හුරු වෙනව කියන්නෙත් ඒ වගේ වැඩක්. 

 

3. මිනිස්සු

මේ උන්දැලා එක්ක තමයි අපි මෙතැන ඉඳන් ජීවත් වෙන්න ඕන. මහ පාරට වැය වෙනවා පැය තුනක විතර කාලයක්. නින්දට අවම වශයෙන් පැය හයක් තිබ්බොත්, රැකියාවට අවම වශයෙන් පැය නමයක් තියන්න වෙනවා. තමුන්ගෙ පෞද්ගලික වැඩ කටයුතුවලට පැය කිහිපයක් තැබුවත් ඉතිරි වෙන්නේ පැය දෙක තුනක් පමණයි. ඒ පැය දෙක තුන පමණයි පවුලේ අය සමගින් ගෙවන්නට ඉතිරි වෙන්නේ. අන්න ඒ නිසා අපිට වැඩිම කාලයක් ගත කරන්න​ට වෙන මිනිස්සු වන්නේ කාර්යාලයේ සිටින්නන් පිරිසයි. ඒ නිසා අප ඔවුන් සමග ජීවිතයට අනුගත විය යුතුයි. ඔවුන් හඳුනාගත යුතුයි. 

 

4. ලොක්කො

ලොක්කො තමයි හැඩගැහෙන්න අපහසුම. ලොක්කො සමග හැඩ නොගැසී රැකියාව කරගෙන යන්නත් අපහසුයි. ඒ වගේම ලොක්කන් සමග ගනුදෙනුවක්ද සිදුවිය යුතුයි. ඒ ගනුදෙනුව වඩා සාර්ථක ගනුදෙනුවක් වන්නට ලොක්කන් නොහොත් බොස්ලා සමග ඇති සම්බන්ධය තීව්‍ර විය යුතුයි. මේ කියන්නේ ගොට්ට අල්ලන්නට කියා නොවෙයි. මේ කියන්නේ ලොක්කන්ගේ තරම දැන ඔවුන් හා ගනුදෙනු කරන්නට කියායි. අන්න ඒ හැඩගැසීම තරමක් අපහසු හැඩගැසීමක් වුවත් හැඩගැසිය යුතුම තත්ත්වයක්. 

 

5. වටපිටාව

රස්සාව කරන තැන වටපිටාව කියන්නෙත් අපිට හැඩගැහෙන්න වෙන තත්ත්වයක්. තේකක් අවේලාවට බොන්න තේ කඩයක්, වටපිටාවෙ තියෙන කෑම රස කඩයක්, වටපිටාවෙ තියෙන කෑම ලාබ කඩයක්, කවුරුහරි ආවොත් එක්කගෙන යන්න ලඟ පාත අවන්හලක්, ලඟ පාතින්ම තියෙන බැංකුවක් (මේ බැංකුවේ ගිනුමක් ආරම්භ කිරීමත් වැදගත්), මෙන්න මේ විදියට වටපිටාව දැනගැනී​ම සහ වටපිටාවට හුරු වීම අතිශය වැදගත් තත්ත්වයක්.

 

6. යන එන

අලුත් ඔෆිස් එකකට හුරු වෙන්න කලින් ඔෆිස් එකට එන්න එපැයි. අන්න ඒ ඒම ගැනයි මේ කතාව. නිකමට හිතමු මෙහෙම. ඔයා ඉස්සර ඔෆිස් ගියේ කොටුවට. දැන් යන්නෙ බම්බලපිටියට. උදේට කොටුව සහ බම්බලපිටිය අතරෙ මිනිත්තු හතලිස්පහක විතර දුරක් තියෙනවානෙ. අන්න ඒකට හුරු නොවුනු මනුස්සයෙකුට බම්බලපිටියෙ ඔෆිස් එකෙන් බහින්න තියෙද්දි බොහෝදුරට කොටුවෙන් ඇහැරෙන්න තියෙන ඉඩ වැඩියි. ඒ වගේම ඔෆිස් එකට අටහමාරට එන්න කීයටද බස් එකේ නගින්න ඕන සහ තියෙන බස් රූට් කිහිපයෙන් මොකද්ද හොඳම එක කියල තෝරාගන්න එකත් අමාරු වැඩක්.

 

7. ජොයින්ට්ස්

මේ කියන්නෙ අර දුං දාන එවුව ගැන නෙමෙයි. ඒ ඒ වැඩවලට ඔෆිස් එක ඇතුළෙ තියෙන තැන් ගැනයි මේ කතාව. ඔෆිස් එකේ අනිත් ඩිපාර්ට්මන්ට් දැනගන්න ඕන. විශේෂයෙන්ම අයිටී ඩිපාර්ට්මන්ට් එක. ඊටපස්සෙ දැනගන්න ඕන ටිකක් වෙලා යන මලක් කඩනවානම් ඒක කඩන්න ඔෆිස් එකේ තියෙන හොඳම තැන කොහෙද කියන එක. ඒ වගේම ස්ට්‍රෙස් බහින්න දුමක් දාන්න හොඳ තැන් වුනත් දැනගන්න වෙන්නෙ කට්ටිය අතරෙ ආස්සරේ පටන්ගත්තට පස්සෙ. මෙන්න මේ පෙර සූදානම ආවා කියන්නෙ ඔයාලත් ඒ අලුත් ඔෆිස් ජීවිතේට හුරුයි කියන එක තමයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *