ඉගෙන ගත්තට වැඩක් නෑ, හම්බු කරන්න තමයි ඕන! මේක ඇත්තක්ද?

දැන් කාලේ යොවුන් ව්‍යවසායකයෝ සූ ගාලා. මම දිගටම ඉගෙන ගෙන නෑ, හැබැයි ඩිග්‍රි ගහපු කෙනෙක්ට වඩා මම සල්ලි හම්බුකරනවා කියලා පම්පෝරි ගහන පොඩි කොල්ලො කෙල්ලො ආයෙ පඳුරකට පයින් ගැහුවහම දුසිමක් විතර විසිවෙනවා. වැඩිහරියක් ඉතින් යූටියුබ් එකේ තමයි මෙහෙම උන්දැලා දකින්න ලැබෙන්නේ. ඉතින් ඔව්වා දකින ඉගෙන ගන්න වයසේ කොල්ලො කෙල්ලොත් හිතනවා ඉස්ටීවන් ඉස්පීල්බර්ග් ෆිල්ම් ස්කූල් එකෙන් රිජෙක්ට් වෙලත්, ලෝක ප්‍රසිද්ධ ෆිල්ම් ඩිරෙක්ටර් කෙනෙක් වුණා නං, අපිත් ඔය ඉස්කෝල අස්සේ පාඩම් පොත් අස්සේ නැහිලා චාටර් වෙන්න ඕන නෑ, දැන්ම තියාම සල්ලි හොයන්න ගේමට බහින්න ඕන කියලා. හැබැයි අවාසනාවකට ඔය යූටියුබ් ඉන්ටර්වීව් වල පොර ටෝක් දෙන චයිල්ඩ් බිලියනර්ස්ලාව ඇත්ත ලෝකේ හොයාගන්නත් නෑ. උන් පෙන්නන කාර් වලට සල්ලි වලට ඇස් ගිණිකන වැටිලා ඉගෙන ගන්නෙ නැතුව සල්ලි හොයන්න ගේම් ගහන්න ගියපු උන් හම්බුකරගත්තු අනාගතේකුත් නෑ!

 

ආන්න ඒ නිසා අපි හිතුවා ඉගෙනීමේ වැදගත්කම ගැන පොඩ්ඩක්  කියලා දෙන්න!!

 

1. ඇත්තටම කැම්පස් ගියපු උන් මැට්ටොද?

මේක ඇත්තටම දැන් කාලේ තදින්ම දකින්න තියෙන ට්‍රෙන්ඩින් අදහසක්. ඒ තමයි කැම්පස් ගියපු එවුන් මැට්ටොය, එළියේ ඉඳන් සල්ලි හම්බු කරන, රස්සා කරන වුන් තමයි ජීනියස් පොරවල් කියන එක. පටන් ගැන්මටම කියන්න ඕන දේ මෙච්චරයි. ඕක මරි මෝඩ කතාවක්!

සරලවම කිවුවොත්, කැම්පස් ගිහින් අධ්‍යාපනය ලැබුවා කියලා ප්‍රාඥයෙක් වෙන්නෙත් නෑ, කැම්පස් නොගිහින් රස්සා කරන්න සල්ලි හොයන්න සෙට් වුණා කියලා පොරවල් වෙන්නෙත් නෑ. ඔය හැමදේම පුද්ගලානුබද්ධයි. කැම්පස් ගිහින් ඉගෙන ගෙන අතිශයින්ම සාර්ථක වුණු, ලෝකේ වෙනස් කරන්න දායක වුණු ප්‍රාඥයෝ අද කාලෙත් ඉන්නවා. ඒ වගේම හරියට ඉගෙන ගන්නෙ නැතුව සල්ලි හොයන්න, බිස්නස් කරන්න බැහැපු, සමහර වෙලාවට බඹරෙ වැල්ලෙ කරකැවෙන නිසා සල්ලි හොයාගත්තු ඒත් ඉගෙන ගත්තු දෙයක් නැති නිසා එතනින් එහාට යන්න බැරි උන්දැලත් ඕන තරම් ඉන්නවා. ඒ වගේම ඉගෙන ගන්නෙ නැතුව බිස්නස් කරන්න කියලා ගිහින් අම්මගේ තාත්තගේ සල්ලි විනාස කරපු මැටි ගොඩවල් වගේ මෙලෝ රහක් නැති අපතයොත් ඕන තරම් ඉන්නවා.

ඒ නිසා කැම්පස් ගියපු එවුන්ට වගේම කැම්පස් නොගියපු එවුන්ට වුණත් ගරහන එක නවත්තන එකයි මූලික කාරණාව!

 

2. එතකොට ජැක් මා, ඇල්බට් අයින්ස්ටයින්?

මෙන්න මේකත් ඔය සල්ලි හම්බු කරන්න ඉගෙන ගැනීමට පයින් ගහපන් කියන උන්දැලා කියන ෆේමස් කතන්දරයක්. මාක් සකර්බර්ග් තමන්ගේ මේජර්ස් දෙකෙන් එකක්වත් සම්පූර්ණ නොකර ෆේස්බුක් පටන් අරගෙන දැන් ලෝකේ හොල්ලන මනුස්සයෙක් වෙලා ඉන්නවා නං, අපිත් මොකටද ඉගෙන ගන්නේ කියන එක. ඔය ලිස්ට් එකට ආයෙ ඇල්බට් අයින්ස්ටයින්ගෙන් පටන් ගත්තහම අලිබාබා සයිට් එක හදපු ජැක් මා වෙනකල් උදාහරණත් දෙයි. හැබැයි ප්‍රශ්නේ මේකයි. එකක් මාර්ක් සකර්බර්ග් මේජට්ස් සම්පූර්ණ නොකර ෆේස්බුක් හදන්න අයින් වුණේ හාවර්ඩ් සරසවියෙන්. අනික ඇල්බට් අයින්ස්ටයින් වගේ මනුස්සයෝ පාර දෙපැත්තේ තේ කඩවල් වල ඕසෙට හොයාගන්න නෑ. ඇත්තම කතන්දරේ, ඉස්කෝලේ ඉගෙන ගන්න ගිහින් ෆේල් වුනාද නැද්ද කියන එක ඇල්බට් අයින්ස්ටයින් හෝ ස්පීල්බර්ග් වගේ මනුස්සයන්ට අදාළ වෙන්නෙ නෑ. ඇත්තම කතාව ඒ මිනිස්සු සාර්ථක වෙන්නේ නිරන්තරයෙන්ම ඉගෙන ගන්න හින්දා. නිරන්තරයෙන්ම තමන්ටම අභියෝගයක් වෙන හින්දා. ඉස්කෝලේ අසාර්ථක වෙලා පහුකාලීනව ජීවිතේ සාර්ථක වුණු ගොඩක් මිනිස්සු පොඩි කාලේ ඉඳලම බොහොම සුවිශේෂීයි. ඒ අය තියුණු දැක්මක් තියෙන සුවිශේෂී මිනිස්සු. ඉතින් යූටියුබ් වීඩියෝ එකක් දෙකක් බලලා ලෝකෙ හොල්ලන්න කියලා හිතාගෙන ඇඩ්සෙන්ස් වලින් සල්ලි හොයන්න හිතන එවුන් තමන්ව අයින්ස්ටයින්ට සමාන කරගන්න කොට හිනාවෙන්න ඕන කොහෙන්ද කියලා හිතහංකෝ!

 

3. අවිධිමත් අධ්‍යාපනය

ඊට කලින් බලමු අවිධිමත් අධ්‍යාපනය කියන එක ගැන. අවිධිමත් අධ්‍යාපනය කියන්නේ පාසල් හෝ විශ්වවිද්‍යාල පද්ධතියෙන් පරිබාහිරව දැනුම ලබාගන්න එක ගැන. උදාහරණයක් විදියට ගත්තොත්, කැම්පස් යන්න බැරි වුණු කෙනෙක්, තමන් තනිවම යම් කිසි විෂයක් ගැන ඉගෙන ගන්න පුළුවන්. එහෙම නැතිනම් තමන් දෙයක් කිරීම තුළින් ඉගෙන ගන්න පුළුවන්. හැබැයි අවිධිමත් අධ්‍යාපනය කියන්නේ යූටියුබ් වීඩියෝස් බලලා තනියෙන් වඩුවැඩ ඉගෙන ගන්නවා වගේ සරල කතන්දරයක් නෙවෙයි. අවිධිමත් අධ්‍යාපනයෙදී වුනත් කෙනෙක්ට ප්‍රායොගික ඉගෙනීමක් වගේම, න්‍යායික දැනුමකුත් ලබාගන්න පුළුවන් වෙන්න ඕන. සමහර වෙලාවට අවිධිමත් අධ්‍යාපනයේ නමේ හැටියටම හරි විෂය නිර්දේශයකට අනුව, ක්‍රමානුකූලව දැනුමක් ලබාගන්න නොහැකි වෙන්න පුළුවන්. 

හැබැයි අවිධිමත් අධ්‍යාපන ඔස්සේ වුනත් කෙනෙක්ට යම් කිසි විෂයක ප්‍රවීණයෙක් වෙන්න නම් හැමදේම පොඩ්ඩ පොඩ්ඩ ඉගෙනගෙන හරියන්නෙ නෑ. ඊට වඩා ෆෝකස් එකකින් යම් කිසි දෙයක් ඉගෙන ගන්න වෙනවා.

 

4. ඉගෙන නොගන්න එකේ අවාසි

ඉගෙන නොගන්න එකේ ප්‍රධානතම අවාසිය වෙන්නේ තමන්ට යම් කිසි දෙයක් කරන්න අවශ්‍ය දැනුම නැති වෙන එක. උදාහරණයක් විදියට කිවුවොත්, ඉංග්‍රීසි ඉගෙන ගන්නේ නැති එකෙන් ජීවිතේ නැතිවෙන්නෙ නෑ, රස්සාවක් කරන්න බැරි වෙන්නෙත් නෑ, හැබැයි රැකියාවෙදී වුනත් යම් කිසි තැනකදී හිරවෙන්න සිද්ධ වෙන්න පුළුවන්. සන්නිවේදනය අවුල් වෙන්න පුළුවන්.

හැබැයි මේ ඉගෙන නොගන්න එකේ ප්‍රධානතම ගැටළුවක් වෙන්නේ ඉන්ටෙලිජන්ස් එක. ඒ කියන්නේ බුද්ධි හැකියාවන් හීන වීම. ඒක අවුලක් වෙන්නේ පුද්ගල මට්ටමින් විතරක් නෙවෙයි, සමාජයක් විදියට, ලෝකයක් විදියට ගත්තත් ඒක ප්‍රශ්නයක් වෙනවා. සන්නිවේදනයේදී ඉඳලා එදිනෙදා වැඩකටයුතු වලදී වුනත් හරි ඉගෙනීමක් නැති එක ප්‍රශ්නයක් වෙනවා.

 

5. ඉගෙන ගන්න එකේ වාසි

ඔය ඉගෙන ගැනීම කියන එකත් එක්ක එන වාසිදායක දේවල් තියෙනවා. ප්‍රධානතම වාසියක් තමයි අවස්ථාවන් විවෘත වීම. උදාහරණයක් විදියට කිවුවොත්, මාකටින් ගැන ඩිප්ලෝමා එකක් හරි කරලා තියෙන, ඒකේ තියෙන දේවල් ප්‍රායෝගිකව රැකියාවට යොදාගන්න පුළුවන් බුද්ධිමය හැකියාවක් තියෙන මනුස්සයෙක්ට පහසුවෙන්ම පුලුවන් මාකටින් ගැන මෙලෝ දෙයක් ඉගෙන ගෙන නැති, ඒත් මාකටින් වලට සහජ හැකියාවක් තියෙන මනුස්සයෙක්ව පහු කරලා යන්න. වැරදුනා කියලද හිතුවෙ? නෑ. ඇත්ත ඒක තමයි. තව උදාහරණයක් ගත්තොත්, කෙනෙක් ඉන්න පුළුවන් සහජයෙන්ම විශිෂ්ට ගායන හැකියාවක් තියෙන. හැබැයි සහජයෙන් ඒ තරම් කුසලතාවයක් නැතත්, ගායන හැකියාවක් තියෙන, ඊටත් වඩා ගායන හැකියාව වර්ධනය කරගන්න ඉගෙන ගත්ත, ඒ ඉගෙන ගත්තු දේ වැරවෑයමෙන් ප්‍රගුණ කරන කෙනෙක්ට පුළුවන් අර නිකම්ම සහජ හැකියාව විතරක් තියෙන කෙනාව අභිබවා යන්න.

අනිත් කාරණාව වෙන්නේ, ඇත්තටම ඔය විධිමත් අධ්‍යාපනය ඔස්සේ ලබාදෙන්නේ න්‍යායික දැනුම විතරක් නෙවෙයි. ප්‍රශ්න විසඳීමේ හැකියාව, ක්‍රිටිකල් තින්කින්, ඇනලිටිකල් තින්කින් වගේ දේවලුත් ස්වයංක්‍රීයවම දැනුමත් එක්ක ලැබෙනවා. කැම්පස් ගිහිල්ලත් ඕවා හරියට නැති මැටි පූසෝ ඉන්න පුළුවන්. ඒක නැහැයි කියන්නෙ නෑ. හැබැයි අධ්‍යාපනය විධිමත්ව හෝ අවිධිමත්ව ලබාගත්තු අය ගාව ඔය ගුණාංග බහුල වීමේ හැකියාව වැඩියි කියන එක කියන්නම ඕන.

 

6. ඉස්කෝලෙ ෆේල් වුණොත්?

මේක ඇත්‍තටම දීර්ඝව කතා කරන්න ඕන දෙයක්. ඒත් මේ වෙලාවේ කොටින් මෙහෙම කියන්නං. ඉස්කෝලේ ෆේල් නොවී ඉන්න උත්සාහ කරමු. හැබැයි ඒත් ඉස්කෝලෙ ෆේල් වුණොත්, එහෙම නැතිනම් ඕලෙවල් වලින් හරි ඒලෙවල් වලින් හරි පාසල් අධ්‍යාපනයට කෙලවුනොත්, එතනින් එහාට වුනත් කරන්න දේවල් තියෙනවා. හැබැයි ඉතින් කට්ට කන්න වෙනවා. මුලින්ම කරන්න ඕන මොකක් හරි ආදායම් මාර්ගයක් හොයාගන්න එක. මොකද නිදහස් අධ්‍යාපනය වගේ නෙවෙයි, ඒක ෆේල් වුනාට පස්සේ අධ්‍යාපනය ලබාගන්න පොඩි හරි වියදමක් කරන්න වෙනවා. ඊට පස්සේ බලමු තමන්ට යන්න ඕන විෂය පථය මොකක්ද කියලා. ආන්න ඊට පස්සේ අපිට කරන්න ඩිප්ලෝමා තියෙනවා, සහතික පත්‍ර පාඨමාලා තියෙනවා. අන්න ඒවා ඔස්සේ ගිහින් ඕන නම් ආචාර්ය උපාධි මට්ටමට වුනත් යන්න පුළුවන්.

ඊට අමතරව අපි කලිනුත් කියලා තියෙන විදියට ඔන්ලයින් වුණත් දේවල් විධිමත්ව ඉගෙන ගන්න තැන් ඕන තරම් තියෙනවා.

 

7. ප්‍රායෝගික ඉගෙනීමක්!

 

ඇත්තටම ඉගෙන ගන්නවා කියන්නේ ගිරවු වගේ පොතේ දැනුම කටපාඩම් කරන එක නෙවෙයි. ඇත්තටම ඕක පරණ කතාවක්නේ. එහෙම කටපාඩම් කරලා ඕන නම් කැම්පස් එකටත් යතෑකි. හැබැයි ඉතින් පොතේ දැනුමක් මිසක් ජීවිතේ විශිෂ්ට දෙයක් කරන්න තරම් දැනුමක් නම් ඒ විදියෙන් ලබාගන්න බැරි වේවි. අන්න ඒ නිසා ඇත්තටම අවශ්‍ය වෙන්නේ ප්‍රායෝගික ඉගෙනීමක්. ඒ කියන්නේ තමන් ඉගෙන ගන්න දේ ප්‍රායෝගිකව අත්හදා බලන, ඉගෙන ගත්තු දේවල් ප්‍රායෝගික ජීවිතේදී ප්‍රයෝජනයට ගන්න ඉගෙනීමක්. ආන්න ඒ ගැන අපි තව දුරටත් තවත් දවසක කතා කරමු.

 

අන්තිමට කියන්න තියෙන්නේ මෙච්චරයි. අඩුම තරමින් හරි විදියට ප්‍රායෝගික ප්‍රාඥයෙක් වෙන්න ඉගෙන ගත්තොත්, ඉගෙන ගෙන වැඩක් නෑ කියලා අපිව අන්දන්න එන සල්ලි හම්බුකරන ඔස්තාර්ලගෙ ගැට වලින් බේරිලා ඉන්න හරි හැකියාවක් ලැබේවි!

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *