කසාද බඳින්න කලින් දෙන්නත් එක්ක කතා කරගෙන තියාගන්න ඕන දේවල්!

දැන් විවාහයක් කියන්නේ නිකම් කඩේට ගිහින් සීනි පන්සීයක් අරගෙන එනවා වගේ වැඩක් නෙවෙයිනේ. එතකොට විවාහයක් කියන්නේ ඉලෙක්ට්‍රික් බඩු කඩේට ගිහින් ලස්ස දෙකක් විතර දීලා අලුත්ම ශීතකරණයක් අරගෙන එනවා වගේ වැඩකුත් නෙවෙයි. ඊට වඩා බොහොම සීරියස්, අතිශයින්ම හිතලා බලලා කරන්න ඕන දෙයක්. මොකද එතනත් මනුස්ස ජීවිතයක්, මෙතනත් මනුස්ස ජීවිතයක්. අපි මීට කලින් කියලත් තියෙනවා කෙනෙක්ව කසාද බඳින්න කලින් තිතටම හිතන්න ඕන දේවල් මොනවද කියලත්.

 

හරි, දැන් දෙන්නෙක් එකතු වුණා කියන්නකෝ ආදරෙන්. දැන් ඒ දෙන්නා ඔහොම ආදරේ ඉස්සරහට අරගෙන ගිහිල්ලා එකට, එක වහලක් යට ජීවත් වෙන්න ඕන කියලා හිතනවා. ආන්න ඒ කියන්නේ දෙන්නා විවාහ වෙන්න ඕකේ කියන තැනට ලව් එක අරගෙන ඇවිල්ලා කියන එක. හැබැයි ඉතින් ඕකේ තව විදියකුත් තියෙනවනේ. ඔය විදියට ආදරේ කරලා විවාහ වෙනවා වගේම, දෙමාපියෝ වැඩිහිටියෝ හොයලා දෙන යෝජිත විවාහත් තියෙනවනේ. හැබැයි ඉතින් එහෙම ලව් කරලා බඳින කපල් එකක් වුණත්, යෝජනාවක් ඇවිත් දෙන්නා සහ දෙපැත්ත කැමති වෙලා විවාහ වෙන්න යන කපල් එකක් වුණත් මතක තියාගන්නම ඕන කාරණයක් තියෙනවා. ඒ තමයි, විවාහයට කලින් ‘ලුණුයි බතුයි කමුකො රත්තරන්”, “අපි දෙන්නා ලෝකෙ වටේ කවදාහරි යමුකො රත්තරන්” කියනවා ඇරෙන්න කරන්න ඕන සීරියස් ටෝක් කීපයක් තියෙනවා කියන එක. ඒ කියන්නේ, විවාහ වෙන්න කලින් දෙන්නා කතාබහ කරගන්න ඕන සීරියස් කරුණු කාරණා කීපයක් තියෙනවා!

 

01. මුදල් සහ මූල්‍ය කටයුතු

දැන් දෙන්නෙක් කසාද බඳිනවා කියන්නේ ඒ දෙන්නා එක යුනිට් එකක්, එක වහලක් යට ඉන්න කපල් එකක් වෙනවා කියන එකනේ. එතකොට කොහොමද මූල්‍ය කටයුතු සිද්ධ වෙන්නේ? සාමාන්‍යයෙන් ඉතින් වෙන්නේ කසාද බැඳලා වැඩේ කෙරීගෙන යන විදියට තමයි ගෙදර මූල්‍ය කටයුතු කෙරෙන්නෙත්. තව සමහර නෝනලා තමන්ගේ පඩියත් මහත්තයගෙ එකවුන්ට් එකට දාන්නේ. මහත්තයා තමයි වියදම් ටික කරන්නේ. තව සමහර මහත්තුරු පඩි පැකට් එක නෝනා අතට ගෙනැල්ලා දෙන්නේ, වියදමට සල්ලි නෝනගෙන් ඉල්ලගන්නවා. හැබැයි අපි කියන්නේ විවාහයට කලින්ම, ගෙදර මූල්‍ය සැලසුමක් හදාගන්න සහ ගෙදර මූල්‍ය වගකීම් බෙදාගන්නේ කොහොමද කියන එක  ගැන කතා වෙන්න කියල තමයි. ඒක එක්කෙනෙක්ට සම්පූර්ණ වගකීම පවරනවට වඩා, දෙන්නත් එක්ක යම් යම් වගකීම් බෙදාගන්න එක තමයි හොඳ. උදාහරණයක් විදියට, මහත්තයා ගෙවල් කුලී, බිල් ඔක්කොම ගෙවනවා, නෝනා ගෙදරට අවශ්‍ය බඩුමුට්ටු ටික ගේනවා. ඔන්න ඔය වගේ සැලසුමකට එන්න පුලුවන්. හැබැයි ඒවා කලින් කතා කරගත්ත තරමට ප්‍රශ්න අඩුයි.

 

02. අතීතේ

දැන් සැබෑ ආදරයකට අතීතේ සිද්ධ වුණු දේවල් වැඩක් නැහැ කියන එකනේ අපිත් දරණ සාමාන්‍ය මතය. වර්තමානය තමයි වැදගත්. හිටපු විදිය නෙවෙයි, ඉන්න විදිය තමයි වැදගත්. දැන් සමහරු ආස නෑ තමන්ගේ අතීතය ගැන කියන්න, සමහරු ආස නෑ අනික් කෙනාගේ අතීතය ගැන අහන්න. සමහරු තමන්ගේ පාට්නර් කලින් සෙක්ස් කරපු අය ගැන, කරපු දේවල් ගැන අහන්න කැමති නෑ. හරි, ඔය ඔක්කොම එක් එක්කෙනාගේ විදිය අනුව අසාධාරණත් නෑ. හැබැයි එකක්. දෙන්නෙක් කසාද බඳිනවා කියන්නේ ඒ දෙන්නා එක ටීම් එකක් වෙනවා කියන එක. අන්න එතකොට ටීම් එක ඇතුළේ එකිනෙකාට අදාළ වෙන රහස් නැතිවෙන තරමට මැච් එක ගහන්න ලේසියි. ආන්න ඒ නිසා, තමන්ගේ අතීතය ගැන ටෝක් එකකුත් දෙන්නා විවාහ වෙන්න කලින් දාන්න ඕන. ඒ කියන්නේ අතීතයේ පරණ ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්ක බෝයිෆ්‍රෙන්ඩ් එක්ක සෙක්ස් කළේ මොන පොසිෂන් එකේද කියන එක නෙවෙයි. ඒ කරුණු අනිකා අහන්න අකමැති නම් නොකිව්වට කිසිම වැරැද්දක් නෑ. හැබැයි අඩු තරමින් අතීතයේ තිබුණු සම්බන්ධකම්, තමන්ගේ ජීවිතේ හිටපු මිනිස්සු, මොනවා හරි ප්‍රශ්න ඇතිවුණා නම් ඒ මොනවද කියන විස්තර ෂෙයාර් කරගෙන තියන එක හොඳයි.

 

03. පෙර වැරදි

දැන් ඔය සුළු වැරදි වලට සමාව දෙමි කියලා කසාද බැඳගන්නවනේ. හැබැයි එහෙම සුළු වැරැද්දක් ගැන කිව්වට, සමහරු තමන්ගේ ජීවිතේ තිබුණු අනික් වැරදි, ඇබ්බැහිකම් වගේ දේවල් ගැන කතා කරන්නෙ නැහැනේ. විශේෂයෙන්ම ලව් කරන කාලෙදී ඉන්නේ පරිපූර්ණ බෝයිෆ්‍රෙන්ඩ්ලා ගර්ල්ෆ්‍රෙන්ඩ්ලා වගේනේ. ආන්න එතකොට අපේ පාට්‍නර් එක්ස්පෙට් කරන්නෙත් පරිපූර්ණ මනුස්සයෙක්ව. හැබැයි අපි කාටවත් පරිපූර්ණ මිනිස්සු වෙන්න බෑ. කරන්න බැරි වැඩක්. අන්න ඒ නිසා, හොඳම දේ තමයි, විවාහ වෙන්න කලින් තමන්ගේ අතීතේ පෙර වැරදි ගැන අවංක ටෝක් එකකට යන එක. එතනදී තමන් ඉස්සර ගංජා ගැහුවද, පොලිසියට අහුවෙලා තියෙනවද, හිරේ ගිහින් තියෙනවද වගේ සීන් වල ඉඳලා, කළින් දරුවෙක් එහෙම ඉන්නවද වගේ කාරණා දක්වා දේවල් ෂෙයාර් කරගන්න එක වැදගත්. අන්න එතකොට බැරිවෙලාවත් ඔය අතීත වැරදි ආපස්සට කොයි මොහොතක හරි හපාකන්න ආවත්, ඒකට දෙන්නත් එක්කම මුහුණ දෙන්න පුලුවන්.

 

04. ළමා ලපටි

දැන් කසාද බඳින්න කලින් දෙන්නත් එක්ක එකට තුරුලු වෙලා ඉන්න වෙලාවට එහෙම කතා වෙනවනේ කොහොමද ළමා ලපටින්ව හදන්නෙ කියලා. “මට ඕන ඔයා වගේම දුවෙක්, ඊලඟට හදපු මං වගේ පුතෙක්, ඊට පස්සේ අපි උන් දෙන්නා ලොකු වුණහම ෆෝ පීස් බෑන්ඩ් එකක් දාමු!” වගේ හුරතල් කතා තමයි හැබැයි එතනදී එන්නේ. නමුත් අපි කියන්නේ එහෙම එකක් ගැන නෙවෙයි. විවාහ වෙන්න කලින්ම දෙන්නා කතාබහ කරගන්න ඕන තමන්ට ප්‍රායෝගිකව ෆැමිලි ලයිෆ් එකක් ගොඩනංවන්න අවශ්‍ය වෙන්නේ කොහොමද කියන එක. ඒ කියන්නේ ප්‍රායෝගිකව දරුවෝ කීයක් හදනවද දළ වශයෙන්, එතකොට කොයි කාලෙද දරුවෝ හදන්නේ වගේ කරුණු එතනදී කතාබහ කරගන්න ඕන. ඒ විතරක් නෙවෙයි, දරුවෙක් හදනවා නම් කොහොමද වගකීම් බෙදාගන්නේ, කොහොමද ඒ වෙනකොට ආර්ථිකය සවිබලගන්වාගන්නේ වගේ හැම කාරණාවක්ම කතා කරගන්න ඕන.

 

05. ගෙදර වැඩ කටයුතු

අපි කලිනුත් කිව්වනේ විවාහ වෙනවා කියන්නේ දෙන්නා එක වහළක් යටට ආපු කපල් එකක්, එක යුනිට් එකක් කියලා. එතකොට දැන් ගෙදරක ජීවත් වෙනකොට ඒ ගෙදර කරන්න වැඩ තියෙනවා. ඒ කියන්නේ කෑම උයන එක, කුස්සිය අස් කරන එක, රෙදි පෙරෙදි හෝදන එක, වත්ත පිටිය සුද්ධ කරන එක, ගෙදරට බඩු ගේන එක වගේ දහසකුත් එකක් ගෙදරදොරේ වැඩකටයුතු. දැන් ඔය වැඩ සම්ප්‍රදායික හණමිටි මිනිස්සු නං බෙදාගන්නේ, ගෙදර දොරේ ඔක්කොම වැඩ නෝනා කරනවා, මහත්තයා සල්ලි හම්බු කරනවා කියලනේ. හැබැයි ඊට වඩා සාර්ථකයි දෙන්නා දෙමහල්ලෝ ගෙදර වැඩ බෙදාගත්තා නං. උදාහරණයක් විදියට, කෑම හදන දවස් ටික දෙන්නා බෙදාගන්නවා. එක්කෙනෙක් උයන දවසට අනික් කෙනා වළං ටික හෝදනවා. එහෙම නැතිනම් දෙන්නම උයනවා. අද එක්කෙනෙක් උයනකොට අනික් කෙනා උදව් කරනවා, අන්න එහෙම. එතකොට නිවාඩු දවසට නෝනා ගෙදර අස්පරස් කරනකොට මහත්තයා වත්ත සුද්ධ කරනවා. ඇත්තටම ජීවත් වෙනකොටත් ඔය වගකීම් ඔටෝ ෂෙයාර් කරගෙන කරන්න පුලුවන් තමයි. හැබැයි ඇත්තටම විවාහ වෙන්න කලින් ඔය ගෙදර දොරේ වැඩ කටයුතු වගකීම් ෂෙයාර් කරගෙන, ඒවා කොහොමද කරන්නේ, කොහොමද වෙන්නේ කියලා කතාබහ කරගෙන ඉන්න පුලුවන් නම්, විවාහ වුණාට පස්සේ ප්‍රශ්න ඇතිවෙන්නෙ නෑ.

 

06. කොන්ෆ්ලික්ට් රෙසොල්‍යුෂන්

මෙහෙම කිව්වහම ටිකක් කොන්ෆියුස් වගේ වෙන්න පුලුවන්. හැබැයි සරලව කිව්වොත් ගැටලු නිරාකරණය සහ අරගල නිරාකරණය කියලා තේරෙනවනේ. දැන් කතන්දරේ මේකයි. කිසිම කපල් එකක් ජීවිතේට රණ්ඩුවක් නොවී, ප්‍රශ්නයක් ඇති කරනොගෙන ජීවත් වෙනවා නම් ඒ කණ කැස්බෑවා වියසිදුරෙන් අහස බලනවා වගේ සිදුවීමක් වෙන්න ඕන. ඒ තරමටම එහෙම එව්වා දුර්ලභයි. මොකද, දෙන්නෙක් එකට ජීවත් වෙනකොට, දෙන්නා එකඟ නොවෙන තැන්, එකිනෙකාගේ අල්ලන්නෙ නැති සීන් එහෙම ඕන තරම් එන්න පුලුවන්. ආන්න ඒ නිසා තමයි, විවාහ වෙන්න කලින් ඒ ගැන සංවාදෙකට යා යුත්තේ. මෙතනදී කතා බහ කරගන්න ඕන කාරණාව තමයි, මොන වගේ දේවල් නිසාද දෙන්නා අතර ගැටළු ඇතිවෙන්න පුලුවන්, එහෙම ගැටළු ඇතිවෙන එක හැකිතාක් දුරට මගහරවා ගන්න පුලුවන් වෙන්නේ කොහොමද සහ කොහොමද ගැටළුවක් ඇති වුණහම හට්ටි මුට්ටි ස්මාට්ෆෝන් පොළවේ නොගහ නිරාකරණය කරගන්නේ කියන එක. උදාහරණයක් විදියට, රිලේෂන්ශිප් එකේ මෙතෙක් අත්දැකීම් එක්ක හිතාගන්න පුලුවන් කොල්ලට කේන්ති යනවා කෙල්ල එයාගෙ පරණ කොල්ල ගැන කිව්වොත් කියලා. අන්න එතකොට දෙන්නා සමාදානෙකට එනවා, හරි පරණ කොල්ලව යාලුවෙක් විදියට ආශ්‍රය කළාට කමක් නෑ, හැබැයි පරණ කොල්ලගෙ දේවල් ගෙදර කියවන්නෙ නෑ කියලා. අන්න ඒ වගේ.

 

07. පුද්ගලික අවකාශයන්

මෙන්න මේක විවාහයට කලින් කරන්න ඕන වැදගත්ම කතාබහක්. ඒ තමයි එකිනෙකාගේ පුද්ගලික අවකාශයන් කොහොමද දෙන්නා කළමනාකරණය කරගන්නේ කියන එක. දැන් ඔය විවාහ බන්ධනයක් කියන්නේ දෙන්නෙක් රන්‍ රස සේ එක් වීමක් වගේ කතන්දර කීමට කිව්වට, ඇත්තටම දෙන්නා කියන්නේ දෙන්නෙක්නේ. ඒක මුලින්ම වටහාගන්න ඕන. ඊලඟට, දෙන්නට එකට ගත කරන, බෙදාගත්තු, ෂෙයාර් කරගත්තු ජීවිතයක් තියෙනවා වගේම, දෙන්නට තම තමන්ගේ පුද්ගලික ජීවිතත් තියෙන්න ඕන. ඒ කියන්නේ තමන්ගේ පොදු යාලුවෝ වගේම, තනියෙන් වෙනම ගිහින් හම්බුවෙන යාලුවෝ ඉන්න පුලුවන්. ගෙදරදී දෙන්නත් එක්ක සෝෆාවේ ඇලවෙලා ෆිල්ම් එකක් බලන වෙලාව වගේම, මහත්තයා තනියෙන් වීඩියෝ ගේම් එකක් ගහන, නෝනා තනියෙන් පොතක් කියවන වෙලාවක් තියෙන්න පුලුවන්. ඇත්තටම අපි කියන්නෙත් කසාද බැන්දා කියලා දෙන්නා තුන්තිස්පැයේම එකට ඇලිලා ඉන්න උත්සාහ නොකරන්න ඕන කියන එක. ඊට වඩා දෙන්නා එකට ඉන්න වෙලාවන් සහ පුද්ගලික අවකාශයේ වෙන වෙනම ඉන්න වෙලාවන් සලකුණු කරගන්න ඕන. ඒක දීර්ඝකාලීනව හොඳ විවාහයකට හොඳයි. ඉතින් මෙන්න මේ පුද්ගලික අවකාශයන් සහ සීමාවන් ගැන විවාහයට කලින් අනිවා කතාබහ කරලා එකඟතාවයකට එන්න ඕනමයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *