රස නහර පිනායන බිරියානි රෙසිපි 5ක්

මේ කාලෙ නම් නම දැක්කම ඇඬෙනවා. ඉතින් ඉස්සර හිතෙන හිතෙන වෙලාවට ගිහින් කඩෙන් කෑම කාලා ආවට දැන් එහෙම බෑනෙ. ඔන්න ඒ ගැන හිතලම බිරියානි ලවර්ස්ලට එක එක විදියට බිරියානි හදාගන්න රෙසිපි ටිකක් ගෙනාවා. නාහෙන් අඬන්නෙ නැතුව ගෙදරම හදලා කන්න දැන් ඔයාටත් පුලුවන්. එහෙනම් ට්‍රයි කරලා බලමු.

01. කබ්සා බිරියානි

අවශ්‍ය ද්‍රව්‍ය:-
චිකන් ග්‍රෑම් 500
තෙල් ස්වල්පයක්
මුද්දරස්පලම් කෝප්ප 1/4
ආමන්ඩ් කෝප්ප 1/4
කජු කෝප්ප 1/4
බාස්මතී හාල් කෝප්ප 2
චොප්කරගත් ළූණු කෝප්ප 1
බේ ලීව්ස් 2
ගම්මිරිස් ඇට ස්වල්පයක්
කරාඹුනැටි 4-5
කරදමුංගු ඇට 3
කුරුදුපොතු කෑල්ලක්
සූදුරු තේහැඳි 1
ඉඟුරු සුදුළූණු පේස්ට් මේසහැඳි 1
තක්කාලි පියුරි කෝප්ප 1
තක්කාලි පේස්ට් මේසහැඳි 1
ලුණු හා ගම්මිරිස්කුඩු
ගරම් මසාලා මේසහැඳි 1/2
ග්‍රේට්කරගත් ලෙමන් පොතු ස්වල්පයක්
වතුර කෝප්ප 4
කොත්තමල්ලි කුඩු මේසහැඳි 1/2
කපාගත් අමුමිරිස් කරල් 2

  • පෑන් එකට තෙල් ටිකක් දාලා මුද්දරස්පලම්, කජු හා ආමන්ඩ් ටික රෝස්ට් කරගන්න.
  • හාල් ටික සෝදල පෙඟෙන්න තියන්න.
  • චිකන් ටික කෑලි කපලා කෑලි වල පොඩි කැපුම් දාගන්න.
  • පෑන් එකට තෙල් ටිකක් දාලා ළූණු ටික දාලා තෙම්පරාදු කරගන්න.
  • මේකට බේ ලීව්ස්, ගම්මිරිස්, කරදමුංගු, කරාඹුනැටි, කුරුදුපොතු හා සූදුරු දාලා හොඳට තෙම්පරාදු කරගන්න.
  • ඊළඟට චිකන් ටික දාලා ටිකකින් ඉඟුරු සුදුළූණු පේස්ට් එක එකතු කරන්න.
  • දැන් මේකට තක්කාලි පියුරී හා තක්කාලි පේස්ට් දාගන්න.‍
  • රස අනුව ලුණු හා ගම්මිරිස්කුඩු එකතු කරගන්න.
  • ගරම් මසාලා ටිකත් දාලා හොඳට කලවම් කරගන්න.
  • ග්‍රේට්කරගත් ලෙමන් පොතු දාලා කලවම් කරලා වහලා වතුර කෝප්ප 4ක් හා කොත්තමල්ලි කුඩු දාලා කලවම් කරලා වහලා තම්බගන්න.
  • දැන් මේ කරි එකෙන් චිකන් ටික අයින් කරගන්න.
  • වෙනම පෑන් එකකට තෙල් ටිකක් දාලා චිකන් ටික රන්වන්පාට වෙනකල් ෆ්‍රයි කරගන්න.
  • දැන් චිකන් තම්බාගත් බ්‍රොත් එක ලිපේ තියලා ඒකට හාල් හා කපාගත් අමුමිරිස් දාලා ෆ්‍රයිකරගත් චිකන් ටික දාලා බත පිසගන්න.
  • රෝස්ට් කරගත් නට්ස් ටිකත් දාගන්න.
  • හොඳට බත ඉදුනම ලිපෙන් බාගන්න.

02. ටික්කා බිරියානි

අවශ්‍ය ද්‍රව්‍ය:-

චිකන් ටික මැරිනේට් කිරීමට:-
කපාගත් චිකන් ලෙග්ස් 10 පමණ
ලෙමන් යුෂ මේසහැඳි 2
ඉඟුරු සුදුළූණු පේස්ට් මේසහැඳි 2
කහකුඩු තේහැඳි 1
මිරිස්කුඩු තේහැඳි 2
කෑලිමිරිස් තේහැඳි 2
කර්ඩ් මේසහැඳි 2
ගරම් මසාලා තේහැඳි 2
සූදුරු කුඩු තේහැඳි 1/2
කොත්තමල්ලි කුඩු තේහැඳි 1
ලුණු හා ගම්මිරිස්කුඩු
තෙල් ස්වල්පයක්

බිරියනි එක සෑදීමට:-
බාස්මතී හාල් කෝප්ප 2
තෙල් ස්වල්පයක්
ඉඟුරු සුදුළූණු පේස්ට් මේසහැඳි 1
තක්කාලි පියුරි කෝප්ප 1
ලුණු ස්වල්පයක්
මිරිස්කුඩු තේහැඳි 1
සූදුරු තේහැඳි 1
ගරම් මසාලා තේහැඳි 1
කොත්තමල්ලි කුඩු තේහැඳි 1
චොප්කරගත් කොත්තමල්ලි කොළ ස්වල්පයක්

  • චිකන් වලට ලෙමන් යුෂ, කර්ඩ්, ඉඟුරු සුදුළූණු පේස්ට් හා අනික් සියල්ලම දාලා හොඳට කලවම් කරලා පැයක් ෆ්‍රිජ් එකේ තියන්න.
  • හාල් ටික සෝදලා පැය කාලක් වගේ පෙඟෙන්න තියන්න.
  • භාජනයකට වතුර හා තෙල් ස්වල්පයක් දාලා ලිපේ තියන්න.
  • මේකට ලුණු දාලා හාල් ටික එකතු කරන්න.බත 80%ක් වගේ පිසගන්න.
  • චිකන් ටික පෑන්ෆ්‍රයි කරගන්න.
  • චිකන් ගොඩක් ෆ්‍රයි කරගන්න එපා.
  • වෙනම පෑන් එකක් ලිපේ තියලා තෙල් ටිකක් දාගන්න.
  • මේකට ඉඟුරු සුදුළූණු පේස්ට් එක හා තක්කාලි පියුරි එකතු කරන්න.
  • ඊළඟට මිරිස්කුඩු, සූදුරු, ගරම් මසාලා, කොත්තමල්ලි කුඩු හා ලුණු දාලා කලවම් කරගන්න.
  • දැන් ෆ්‍රයි කරගත් චිකන් ටික දාගන්න.
  • හොඳට කලවම් කරලා විනාඩි 10ක් වහලා පිසගන්න.මේකට චොප්කරගත් කොත්තමල්ලි කොළ එකතු කරන්න.
  • තවත් විනාඩි 10කට පස්සෙ මේක ලිපෙන් බාලා වෙන භාජනයකට දාගන්න.
  • ඒකට පිසගත් බත් ටික දාගන්න.
  • කැමතිනම් යෙලෝ කලරින් ටිකක් දාලා චොප්කරගත් කොත්තමල්ලි කොළ දාගන්න.
  • විනාඩි 10ක් වගේ පිසගෙන ලිපෙන් බාගන්න.

03. හයිද්‍රාබාද් චිකන් ඩම් බිරියානි

අවශ්‍ය ද්‍රව්‍ය:-

චිකන් ටික මැරිනේට් කරගැනීමට:-
කපාගත් චිකන් ග්‍රෑම් 500
ඉඟුරු සුදුළූණු පේස්ට් මේසහැඳි 2
මිරිස්කුඩු තේහැඳි 2
කොත්තමල්ලි කුඩු තේහැඳි 1
සූදුරු කුඩු තේහැඳි 1/2
ගරම් මසාල තේහැඳි 1
කහකුඩු තේහැඳි 1/4
තෙල් මේසහැඳි 3
ගී ඔයිල් මේසහැඳි 1
ලෙමන් බෑයක යුෂ
චොප්කරගත් අමුමිරිස් කරල් 2
චොප්කරගත් මින්චි කොළ ස්වල්පයක්
චොප්කරගත් කොත්තමල්ලි කොළ ස්වල්පයක්
කර්ඩ් මේසහැඳි 4
ලියාගත් ළූණු ගෙඩි 2
ලුණු ස්වල්පයක්

බිරියනි එක සෑදීමට:-
බාස්මතී හාල් කෝප්ප 2
බේ ලීව් 1
කරදමුංගු ඇට 2
සාදික්කා ඇට 1
කරාඹුනැටි 5
කුරුදුපොතු කෑලි 2
ලුණු ස්වල්පයක්
තෙල් මේසහැඳි 2
චොප්කරගත් මින්චි කොළ ස්වල්පයක්
සැෆ්‍රන් කිරි කෝප්ප 1/4
ගී ඔයිල් මේසහැඳි 1

  • පෑන් එකකට තෙල් ටිකක් දාලා ළූණු ටික දාලා රන්වන්පාට වෙනකල් බැදගන්න.
  • චිකන් ටික බෝල් එකකට දාලා අනික් සියල්ලම දාලා ළූණු වලින් භාගයක් දාලා රස අනුව ලුණු දාලා හොඳට අනලා පැය 5ක් ෆ්‍රිජ් එකේ තියලා මැරිනේට් කරගන්න.
  • හාල් ටික සෝදල පැය කාලක් පෙඟෙන්න තියන්න.
  • වෙනම භාජනයකට වතුර කෝප්ප 4ක් දාලා බේලීව්, කරදමුංගු, කරාඹුනැටි, සාදික්කා, කුරුදුපොතු, ලුණු, තෙල් හා මින්චි කොළ ටික දාගන්න.
  • වතුර නටනකොට හාල් ටික දාගන්න.
  • බත 70%ක්වගේ පිසගන්න.
  • දැන් වතුර පෙරාගන්න.
  • වෙනම පොට් එකකට මැරිනේට් කරගත් චිකන් ටික දාලා උඩින් බත් වලින් ටිකක් දාගන්න.
  • ඊළඟට මින්චි කොළ ටිකක් අතුරගන්න.
  • ඊළඟට බැදගත් ළූණු ටිකක් අතුරගන්න.
  • දැන් සැෆ්‍රන් කිරි ටික දාලා ආයෙ බත් ලේයර් එකක් දාගන්න.
  • මේ විදියට ලේයර්ස් 2-3ක් දාලා හාල් තම්බාගත් වතුර කෝප්ප 1/2ක් දාලා උඩින් ගී ඔයිල් ටිකක් දාගන්න.
  • දැන් ෆොයිල් එකකින් වහලා පියනෙන් වහගන්න.
  • අඩු ගින්දරේ විනාඩි 30ක් වගේ පිසගන්න.

04. චෙට්ටිනාඩ් චිකන් බිරියානි

අවශ්‍ය ද්‍රව්‍ය:-
බාස්මතී හාල් කෝප්ප 2
කපාගත් චිකන් ග්‍රෑම් 500
කපාගත් ළූණු ගෙඩි 2
කපාගත් තක්කාලි ගෙඩි 2
කපාගත් අමුමිරිස් කරල් 4
හීනියට ගාගත් පොල් කෝප්ප 1
ඉඟුරු සුදුළූණු පේස්ට් මේසහැඳි 2
කොත්තමල්ලි කුඩු තේහැඳි 2
ගරම් මසාලා තේහැඳි 2
මිරිස්කුඩු මේසහැඳි 1
ලුණු හා ගම්මිරිස්කුඩු
කහකුඩු තේහැඳි 1/2
චොප්කරගත් කොත්තමල්ලි කොළ ස්වල්පයක්
චොප්කරගත් මිංචි කොළ ස්වල්පයක්
කරපිංචා ස්වල්පයක්
තෙල් ස්වල්පයක්
උණුවතුර කෝප්ප 4

  • පෑන් එකක් ලිපේ තියලා තෙල් ටිකක් දාගන්න.
  • මේකට කපාගත් අමුමිරිස් හා පොල් ටික දාගන්න.
  • කහකුඩු ටිකක් දාලා ටිකක් බැදගෙන ලිපෙන් බාගන්න.
  • දැන් මේක බ්ලෙන්ඩර් එකට දාලා වතුර ටිකක් දාලා ස්මූත් පේස්ට් එකක් හදාගන්න.
  • භාජනයකට තෙල් ටිකක් දාලා ලියාගත් ළූණු හා ඉඟුරු සුදුළූණු පේස්ට් එක දාගන්න.
  • මේකට කුළුබඩු සියල්ලම දාලා තක්කාලි ටික දාගන්න.
  • මින්චිකොළ හා කරපිංචා දාලා අඹරාගත් පොල් ටික එකතු කරන්න.
  • රස අනුව ලුණු දාලා කලවම් කරලා ටිකකින් චිකන් ටික දාගන්න.
  • දැන් උණුවතුර ටික දාලා සෝදා පෙඟෙන්න දැමූ හාල් ටික දාගන්න.
  • හොඳට වහලා විනාඩි 20-30ක් පිසගන්න.

05. අවාධි බිරියානි

අවශ්‍ය ද්‍රව්‍ය:-
කපාගත් චිකන් ග්‍රෑම් 500
ගී ඔයිල් කෝප්ප 1/2
කරාඹුනැටි 10
කුරුදුපොතු 2
කරදමුංගු 6-7
සාදික්කා ඇට 1
ගම්මිරිස් ඇට ස්වල්පයක්
බේ ලීව්ස් 3
ලුණු ස්වල්පයක්
තුනපහකුඩු තේහැඳි 6
බැදගත් ළූණු මේසහැඳි 2
කර්ඩ් මේසහැඳි 6
මිරිස්කුඩු තේහැඳි 2
කහකුඩු තේහැඳි 1/2
චොප්කරගත් මිංචි කොළ ස්වල්පයක්
කපාගත් අමුමිරිස් කරල් 2
ගී ඔයිල් මේසහැඳි 2
ලුණු ස්වල්පයක්
ලෙමන් යුෂ මේසහැඳි 2
බාස්මතී හාල් කෝප්ප 2
සැෆ්‍රන් මේසහැඳි 4

  • පෑන් එකට ගී ඔයිල් දාලා රත්වෙනකොට කරදමුංගු, කරාඹුනැටි, කුරුඳුපොතු, ගම්මිරිස් හා බේ ලීව්ස් දාලා විනාඩියක් වගේ තෙම්පරාදු කරගන්න.
  • දැන් මේකට චිකන් ටික දාගන්න.
  • රස අනුව ලුණු දාගන්න.
  • වහලා හොඳට පිසගන්න.
  • ඊළඟට මේකට තුනපහකුඩු, මිරිස්කුඩු, කහකුඩු හා බැදගත් ළූණු දාලා කර්ඩ් ටික දාගන්න.
  • චිකන් ටික හොඳටම තැම්බෙනකල් හැඳිගාන්න.
  • මේකට මිංචි කොළ හා අමුමිරිස් ටික දාගන්න.
  • භාජනයකට වතුර කෝප්ප 3ක් දාලා නටනකොට ගී ඔයිල් හා ලුණු ටික දාගන්න.
  • මේකට ලෙමන් යුෂ ටික දාගන්න.
  • ඊළඟට හාල් ටිකදාලා 80%ක් වගේ පිසගන්න.
  • දැන් චිකන් මිශ්‍රණයට දාලා සැෆ්‍රන් කිරි දාගන්න.
  • හොඳට වහලා තවත් විනාඩි 20ක් වගේ පිසගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *