කොෆී ෆෑන්ස්ලට කන්න කොෆී ඩිසර්ට් රෙසිපි 7ක්

චොකලට් ෆෑන්ස්ල වගේම කොෆී ෆෑන්ස්ලත් ගොඩක් ඉන්නවනෙ. නානාප්‍රකාර ඩිසර්ට් වර්ග අතරේ කොෆී වලින් හදන ඩිසර්ට් ටිකක් හොයාගෙන අපි ආවා ඔයාලගෙ කුස්සියේ කෑම රස තවත් වැඩි කරන්න. මේවා ලොකු රෙසිපි නෙමෙයි. ගෙදර තියන බඩු වලින් කාටත් ට්‍රයි කරන්න පුළුවන් දේවල්. එහෙනම් හදලා බලමු. 

 

1. කොෆී කස්ටඩ් පුඩින්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. ක්ෂණික කෝපි කුඩු මේස හැඳි 2
  2. කස්ටඩ් පව්ඩර් මේස හැඳි 2
  3. කිරි කෝප්ප 2
  4. සීනි කෝප්ප 1/4
  5. මිල්ක්මේඩ් කෝප්ප 1/4

 

  • කෝපි වලට වතුර මේස හැඳි 3ක් දාලා දියකරගන්න. කස්ටඩ් පව්ඩර් වලට වතුර කෝප්ප 1/4ක් දාලා දියකරගන්න. 
  • කිරි ටික ලිපේ තියලා හැඳිගාන්න. සාමාන්‍ය ගින්දරේ කිරි ටික උණුවෙනකොට කෝපි මිශ්‍රණය හා සීනි ටික එකතු කරගන්න. සීනි දියවුණාම මිල්ක්මේඩ් ටිකත් දාගන්න. හොඳට හැඳිගාලා කස්ටඩ් මිශ්‍රණය දාගන්න. කලවම් කරමින් තික් වෙනකල් හැඳිගාන්න. 
  • තික් උනාම ලිපෙන් බාගන්න. බටර් ගාගත් ට්‍රේ එකකට හෝ වෙනම කප්ස් වලට දාලා පැය 4ක් ෆ්‍රිජ් එකේ සෙට්වෙන්න තියන්න. උඩින් චොප්කරගත් කජු හා චොක්ලට් ටිකක් දාගන්න. 

 

2. කොෆී මූස්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. ක්ෂණික කෝපි කුඩු මේස හැඳි 2
  2. ග්‍රේට්කරගත් චොප්කරගත් ග්‍රෑම් 60
  3. කිරි මේස හැඳි 2
  4. විප් ක්‍රීම් කෝප්ප 3/4

 

  • කෝපි වලට වතුර මේස හැඳි 2ක් දාලා දියකරගන්න. චොක්ලට් වලට කිරි දාලා ඩබල් බොයිල් කරගන්න. විප් ක්‍රීම් ටික සොෆ්ට් පීක් වෙනකල් බීට් කරගන්න.
  • විප් ක්‍රීම් එකෙන් ටිකක් අයින් කරලා ඉතුරු ටිකට කෝපි දාලා මිශ්‍ර කරගන්න. ඒකටම මෙල්ට් කරගත් චොක්ලට් ටිකත් මිශ්‍ර කරගන්න. 
  • දැන් මේක කප්ස් වලට පයිප් කරගෙන උඩින් ඉතුරු කරගත් විප් ක්‍රීම් ටිකත් ලස්සනට දාලා කෝපි පව්ඩර් ටිකක් උඩින් ඉසගන්න. ෆ්‍රිජ් එකේ පැයක් දෙකක් තියල කෑමට ගන්න. 

 

3. කොෆී පුඩින්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. කෝන්ෆ්ලා මේස හැඳි 3
  2. ක්ෂණික කෝපි කුඩු තේ හැඳි 2
  3. කිරි කෝප්ප 2
  4. සීනි කෝප්ප 1/2

 

  • කෝන්ෆ්ලා වතුර කෝප්ප 1/4ක දියකරගන්න. කෝපි වලට වතුර මේස හැඳි දෙකක් දාලා දිය කර ගන්න. 
  • භාජනයකට කිරි ටික දාලා උණු කරගන්න. ඒකට සීනි ටික දාලා දියවෙනකල් හැඳිගාන්න. 
  • දැන් මේකට කෝපි මිශ්‍රණය දාගන්න. කිරි ටික නටනකොට කෝන්ෆ්ලා මිශ්‍රණය දාගන්න. හොඳට හැඳි ගානකොට මිශ්‍රණය තික් වෙනවා. 
  • බටර් ගාගත් ට්‍රේ එකකට මිශ්‍රණය දාලා පැය 3ක් ෆ්‍රිජ් එකේ සෙට් වෙන්න තියාගන්න. උඩින් චොක්ලට් චිප්ස් ටිකක් දාල පිළිගන්වන්න.

 

4. කොෆී කේක්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. බටර් ග්‍රෑම් 125
  2. සීනි ග්‍රෑම් 125
  3. පාන්පිටි ග්‍රෑම් 125
  4. බිත්තර 2
  5. බේකින් පව්ඩර් තේ හැඳි 1
  6. ක්ෂණික කෝපි කුඩු තේ හැඳි 2
  7. වැනිලා තේ හැඳි 1

 

  • කෝපි ටික උණුවතුර මේස හැඳි 2ක දාලා දියකරගන්න. පාන්පිටි වලට බේකින් පව්ඩර් මික්ස් කරලා 3 පාරක් හලාගන්න. 
  • බටර් හා සීනි එකතු කරලා බීට් කරගන්න. සීනි දියවෙනකල් බීට් කරලා බිත්තර එකින් එක එකතු කරගන්න. පිටි දාන්න කලින් කෝපි මිශ්‍රණය දාලා හොඳට කලවම් කරගන්න. 
  • ඊළඟට පාන්පිටි  ටික ටික දාලා එකම පැත්තට පැතලි හැන්දකින් පෙරලගන්න. වැනිලා දාලා කලවම් කරලා ඔයිල් පේපර් දාපු ට්‍රේ එකකට දාලා සෙල්සියස් 180°ට විනාඩි 30ක් බේක් කරගන්න. 

 

5. කොෆී ජෙලි පුඩින්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. ක්ෂණික කෝපි කුඩු තේ හැඳි  4
  2. සීනි ග්‍රෑම් 175
  3. ජෙලටින් ග්‍රෑම් 20
  4. උණුවතුර කෝප්ප 3

 

කිරි මිශ්‍රණය සඳහා

 

  1. කිරි කෝප්ප 2
  2. සීනිග්‍රෑම් 100
  3. වැනිලා ස්වල්පයක්
  4. ජෙලටින් මේස හැඳි 2

 

  • කෝපි ජෙලි හදාගන්න ජෙලටින් ඇල්වතුරෙන් පොඟවලා උණුවතුර භාජනයක් ඇතුළෙන් තියල (ඩබල් බොයිල්) දියකරගන්න. 
  • උණුවතුර කෝප්ප 3ට කෝපි හා සීනි දාලා දියකරගන්න. සීනි දියවුනාම ජෙලටින් දාලා කලවම් කරලා ලිපෙන් බාගන්න. 
  • මේක බටර් ගාගත් ට්‍රේ එකකට දාලා පැය 4ක් ෆ්‍රිජ් එකේ දාගන්න. සෙට් වුණාම ෆ්‍රිජ් එකෙන් අරන් කොටු කෑලි කපාගන්න. 
  • කිරි මිශ්‍රණය හදන්න කලින් වගේම ජෙලටින් ඇල්වතුරෙන් පොඟවලා ඩබල් බොයිල් කරගන්න. 
  • කිරි ටික ලිපේ තියලා සීනි දාලා උණුකරගන්න. කිරි නටනකොට ජෙලටින් දාලා දියකරලා ලිපෙන් බාගෙන නිවෙන්න තියන්න. 
  • ට්‍රේ එකකට කපාගත් කෝපි ජෙලි කෑලි දාලා නිවුණු කිරි මිශ්‍රණය දාලා තවත් පැය 3ක් ෆ්‍රිජ් එකේ සෙට් වෙන්න තියන්න. 

 

6. කොෆී බ්‍රවුනීස්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. පාන්පිටි කෝප්ප 1
  2. සීනි කෝප්ප 1
  3. බටර් කෝප්ප ¼
  4. ක්ෂණික කෝපි කුඩු කෝප්ප 1/4
  5. කොකෝවා පව්ඩර් කෝප්ප 1/4
  6. බටර්මිල්ක් කෝප්ප 1/4
  7. බිත්තර 1
  8. බේකින් සෝඩා තේ හැඳි 1/2
  9. වැනිලා ස්වල්පයක්

 

  • පාන්පිටි වලට බේකින් සෝඩා එකතු කර 2 වරක් හලාගන්න. මේකට කොකෝවා පව්ඩර් හා කෝපි එකතු කරගන්න. 
  • බටර් හා සීනි බීට් කරගන්න. මේකට බිත්තරය දාලා හොඳට බීට් කරලා බටර්මිල්ක් දාලා බීට් කරගන්න. ඊළඟට  පිටි දාගන්න. 
  • ලී පත්තකින් පෙරලමින් පිටි ටික කලවම් කරලා වැනිලා දාගන්න. බටර් ගාගත් ට්‍රේ එකකට බැටර් එක දාලා සෙල්සියස් 180°ට විනාඩි 20ක් බේක් කරගන්න. 

 

7. Coffee Meringues / කොෆී කිසස්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. බිත්තර සුදුමද  2
  2. සීනිග්‍රෑම් 100
  3. ලුණු පින්ච් එකක්
  4. ක්ෂණික කෝපි කුඩු තේ හැඳි 3
  5. වැනිලා ස්වල්පයක්

 

  • බිත්තර සුදුමද වතුර නැති වියළි භාජනයකට දාලා සොෆ්ට් පීක් වෙනකල් බීට් කරගන්න. බීට් කරන ගමන් සීනි ටික ටික දාගන්න. සීනි සම්පුර්ණයෙන්ම දාලා සුදුමද ටික ස්ටිෆ් වුනාම වැනිලා හා කෝපි ටික දාල ටිකක් බීට් කරගන්න. 
  • දැන් නොසල් එකක් දාපු පයිපින් බෑග් එකකට මේ මිශ්‍රණය දාලා බේකින් පේපර් එකක් දාපු ට්‍රේ එකක් උඩට කිසස් හැඩයට පයිප් කරගන්න. සෙල්සියස් 100°ට පැයක් හෝ පැය 1 1/2ක් බේක් කරගන්න. අවන් එක නිවල පැයක් අවන් එකේම තියෙන්න ඇරල එළියට ගන්න. 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *