සෙල්ෆි ගැසීම හරහා කාන්තාවන්ගේ ඡායාරූප සමාජ ජාලාවන් හි උතුරා ගලා ගියත්, වන සත්ව ඡායාරූප වැනි ඡායාරූප කලාවන්ට ඒවායින් කිසිදු බලපෑමක් වූයේ නැත. මිනිසුන් බිලියන ගණනක් ලොව වාසය කළත්, ඡායාරූප ශිල්පීහු කොටසක් සතුන්ගේ සේයාරූ ගැනීම ලොකු විනෝදාංශයක් කරගෙන තිබේ. සතුන් අතරිනුත් වන සතුන් කැමරාවට හසු කරගැනීම ඉතාම සීරුවෙන්, ඉවසීමෙන් කළ යුතු වැඩකි. ඇතැම් විට දින ගණනාවක් එකතැන සිටියද අවශ්‍ය සේයාරූ, අවශ්‍ය ලෙස ලබාගැනීමට වන ජීවී සේයාරූ ශිල්පීන්ට නොහැකි වේ. එහෙත් කෙසේ හෝ කට්ට කාගෙන අවශ්‍ය සේයාරුවක් ලබාගත් විට එයින් ලැබෙන සතුට මෙන්ම ඒ පිංතූරයේ ඇති වටිනාකමද වැඩිය.
1. සිංහරාජය
සිංහරාජය යනු අභ්‍යන්තරයේ අඳුර ඇති සදාහරිත නිවර්තන වැසි වනාන්තරයකි. කුඩා කුරුමිණි, සර්ප සහ කුරුල්ලන් ආදී කුඩා සතුන් බහුල සිංහරාජය තුළ ඇති අඳුර නිසා ඡායාරූප ගැනීමේදී ඒ අඳුරු ස්වභාවය ගැන වඩාත් සැලකිළිමත් විය යුතු වේ. කුඩා කෘමීන්, පෙඳ පාසි, උඩවැඩියා ආදී විශාල පරාසයක ජීවීන් සහ ශාක කොට්ඨාසයක් සිංහරාජය තුළ කුඩා පාගමනකින් වුවද අපේ නෙත ගැටේ. සිංහරාජ අඩවියේ පිවිසුම් ආසන්නයේ ගයිඩ් මහතුන් සිටින අතර ඔවුහු සතුන් යන එන, ලැගුම් ගන්නා තැන් ගැන මනා දැනුමකින් සිටිති. අවශ්‍ය නම් ඡායාරූප ගන්නට යන විට ඒ ගයිඩ්වරුන්ගේ සහායද ලබාගත හැකිය.
2. හෝටන් තැන්න
ලෝකාන්තයෙන් බලංගොඩ බැලීමට අමතරව හෝටන් තැන්න විදෙස් සංචාරකයින් අතර සේයාරූ ගන්නා තැනක් ලෙසද ප්‍රකටව තිබේ. හෝටන් තැන්නේ පක්ෂීන් සිය කැමරාවට හසු කරගන්නට එන සංචාරකයින් බොහෝ පාන්දරින්ම හෝටන් තැන්නට පිවිස උන්ගේ ඡායාරූප ගනිති. හෝටන් තැන්නට යන අයට බොහෝ විට ගෝන්නුද කැමරාවට පහසුවෙන්ම හසුකරගත හැකිය. විශාල භූමි දර්ශන ගැනීමට ආශා කරන අයට හෝටන් තැන්නේ තද බෑවුමෙන් එපිට කඳු වළල්ල මීදුම නැති වෙලාවක නම් හොඳ ඡායාරූප පෙළකට අවස්ථාව ලබා දේ. විශේෂයෙන් සීතල පසුබිමේ ඡායාරූප ගන්නට ආසා කරන අයට හෝටන් තැන්න කදිම නවාතැන්පලකි.
3. ගල් ඔය ජාතික වනෝද්‍යානය
යාල තරම් ජනප්‍රිය නොවූ ගල් ඔය, නිවීහැනහිල්ලේ අලි, මුවන්, මොණරුන්, වලසුන් වැනි සතුන් කැමරාවට හසුකරගත හැකි මායිමකි. ගල් ඔය ජාතික වනෝද්‍යානයේ බෝට්ටුවකින් ගොස් ඡායාරූප ගැනීමේ පහසුවද අවශ්‍යනම් සලසාගත හැකිය. අලින් දියට බසින වේලාවක් වුවොත් අලි නාන අයුරු ඈත සිට බෝට්ටුවෙන්ම ගොස් සේයාරුවට නැගිය හැකිය. වනෝද්‍යානයක් තුළ බෝට්ටු සවාරියකින් ගොස් සේයාරූ ගැනීමේ පහසුව ඇති හොඳම තැන ලෙස ගල් ඔය දැක්විය හැකිය.
4. කුමන වනෝද්‍යානය
නැගෙනහිර පළාතේ ආරුගම්බේ යනු ජනප්‍රිය සංචාරක තිප්පොලකි. ආරුගම්බේට පහළින් ඇති පානම ඔකඳ පසුකොට නැගෙනහිර වෙරළ තීරය දිගේ ඇති එකම ප්‍රධාන පාර දිගේ පහළට එනවිට අවසාන නැවතුම වන්නේ කුමන ජාතික වනෝද්‍යානය වේ. කුමන ජාතික වනෝද්‍යානය ඇතැම් කලෙක වනෝද්‍යාන සීමාවට එපිටින්ද මුවෝ, මීමින්නෝ, කිඹුලන් දකින්නට තිබෙන වනෝද්‍යානයකි. එනම් ඔකඳ දේවාලය සමීපයට ගියද මුවන් දැකගැනීමේ අවස්ථාව එක්තරා කලකදී ලැබේ. කුමන වඩාත්ම ජනප්‍රිය වන්නේ පක්ෂීන්ටය. සංචාරක පක්ෂීන් ලංකාවට එන කාලසීමාවේදී කුමන සීමාවේ ඇති කුඩා විල්ලු වල, දිය කඩිති වල සංචාරක පක්ෂීන් දහස් ගණන් එකතැන දැකගත හැකිය.
5. ත්‍රීකුණාමලය පරෙවි දූපත
Wild Life යන ඉංග්‍රීසි වදන අනුව එහි වන සතුන් ලෙස සමුද්‍ර ජීවීන්ද ඇතුළත් වේ. සමුද්‍ර ජීවීන් ලෙස කොරල් පර නැරඹීමට කාලයක් හික්කඩුව ජනප්‍රියව පැවතුන මුත් වර්තමානයේ හික්කඩුව දෙස ඇති කොරල් බොහොමයක් මරණයට පත් වී තිබේ. ත්‍රීකුණාමලයේ පරෙවි දූපත අසල ඇති කොරල් තවමත් සක්‍රිය තත්ත්වයේ තිබේ. වතුර යට බහාලිය හැකි ආම්පන්න සමග ගියහොත් විසිතුරු නානාප්‍රකාර මාළුන්ද, විවිධ හැඩැති කොරල්ද කැමරාවට හසුකරගන්නට එහිදී අවස්ථාව ලැබේ. මෙම දූපත වනෝද්‍යානයක් වන අතර, ඒ සඳහා බෝට්ටු සේවාවන්ද ක්‍රියාත්මක වේ.
6. වස්ගමුව
සීගිරි, දඹුලු, පොළොන්නරු ආදී පළාත්වල යන්නේ නම් වස්ගමුව ද ඒ ගමනේදී මුණ ගැහෙන සතුන් බහුල ජාතික වනෝද්‍යානයකි. අලියා යනු වස්ගමුවේදීද නිතර හමුවෙන වන සතෙකි. ඊට අමතරව මුවා, ගෝනා, කොටියා, මොණරා ආදී සතුන්ද වස්ගමුවේදී හමු වේ. ජීප් රිය වලින් ගොස් සතුන් දැකබලාගත යුතු වස්ගමුව, සීගිරි දෙසට ඇදෙන සංචාරකයින් අතර ජනප්‍රිය වනෝද්‍යානයක් වේ.
7. යාල
යාල මෑත කාලීනව විදෙස් සංචාරකයින් අතර, සතුන් නැරඹීමට වඩාත් සුදුසු තැනක් ලෙස ජනප්‍රිය වී ඇත. යාලේ ඇතැම් තැනක මිනිසුන්ට හීලෑ වූ මොණරුන්, ඌරන්, මුවන් ආදී සතුන්ද වාහන අසලටම එයි. එය වන සතුන්ගේ දෙසින් එතරම් නොවිය යුතු දෙයක් මුත් සංචාරකයින්ට එය පිනායන අත්දැකීමකි. මෑත කාලීනව කොටි සහ දිවියන් නැරඹීමට යාලට ඇදී එන සංචාරකයින් ප්‍රමාණයද වැඩි විය. වැඩි විශාලන බලයක් නොමැති කැමරාවකින් වුවද යාලේදි දැන් කාලේ නම් සතුන් ෆොටෝ ගැසිය හැකිය.
Cover Image Source – yalasafariholidays.com/ wildlifephoto/youtube.com
Leave a Reply