නින්ද නැතුව එළිවෙනකල් බැලුවත් එපා වෙන්නෙ නැති තරම් සිරා YouTube චැනල් කීපයක්!

දැන් ඔය නින්ද කියන එක අපේ ජීවිතේට අත්‍යවශ්‍යයිනේ. ඒකේ ආයෙ දෙකක් නෑ. හැබැයි සමහර වෙලාවට අපි නිදාගන්න කලින් අලුත් මාවල් පිචර් එකේ විනාඩි එකහමාරේ ට්‍රේලර් එක බලන්න කියලා ෆෝන් එක අතට ගන්නවා. මරු ෆිල්ම් එක. ඔන්න ට්‍රේලර් එක ඉවර වුණහම අපි දකිනවා අමුතු යූටියුබ් චැනල් එකක වීඩියෝ එකක්. ඉතින් නිකමට ඒක බලන්න කියලා ගන්නවා. සැහ්, අප්පට මේ බඩු ෂෝක්නේ කියලා ඕං අපි ඒ චැනල් එකේ වීඩියෝ එකෙන් වීඩියෝ එකට බලනවා. එකක් බලලා ඉවර වෙනකොට හිතනවා මේක බලලා නිදාගන්නවා කියලා. මොන. ආයෙ ඇස් දෙකේ තරු නිවි නිවි පත්තුවෙනවා වගේ දැනෙන නිසා ඕන්න ෆෝන් එක පැත්තකින් තියලා නිදාගන්න කියලා හිතනකොට දන්නෙම නැතුව පැය හයක් ගිහිල්ලා. ගේ ගාව පංසලේ උදේ හයට පිරිත් යනවා. දැං ඔය සංගෙදිය වෙලා නැති කවුරුහරි ඉන්නවද? නෑනේ!

 

හරි, අපි කියන්නේ ඕක හොඳ දෙයක් කියලා නෙවෙයි. නිදාගන්න පැයකටවත් කලින් ෆෝන් ටැබ් කම්පියුටර් අනං මනං වලින් ඈත් වෙලා ඉන්න කියලා තමයි පුරාණේ සෘෂිවරු කියලා තියෙන්නේ. හැබැයි මේ වගේ මාර ඉන්ටරෙස්ටින්ග් යූටියුබ් චැනල්ස් වලින් අපිට ඉගෙන ගන්න දේවල්, බෝරින් වෙලාවට එන්ටර්ටේන්මන්ට් එහෙම ලබාගන්න පුලුවන්. ආන්න ඒ නිසා, එහෙම අපේ නින්ද හොරකම් කරන ලෙවල් එකට ඉන්ටරෙස්ටින්ග් යූටියුබ් චැනල් කීපයක් ගැන එහෙම දැනුවත් වෙලා ඉන්න එකේ පාඩුවක් නෑ!

 

01. AlternateHistoryHub

ඉතිහාසය ගැන උනන්දුවක් තියෙන, ඒ වගේම පරිකල්පනයෙනුත් ඉහළ මනුස්සයෙක්ට නම්, AlternateHistoryHub කියන්නේ ආයෙ ධන නිධානයක් තමයි. උදාහරණයක් විදියට ගත්තොත්, නැගෙනහිර ජර්මනිය සහ බටහිර ජර්මනිය කියලා ජර්මනිය දෙකට බෙදුණු, බර්ලින් තාප්පය ඉදිවුණු තීරණය සිදුනොවෙන්න තිබුණද? එහෙම සිදුනොවුණා නම් විසි වෙනි ශතවර්ෂය සහ සීතල යුද්ධය සම්පූර්ණයෙන්ම වෙනස් මාර්ගයක් ගන්න තිබුණෙ නැද්ද? ඇත්තටම එහෙම වෙන්න තිබුණා. ජර්මනිය දෙකට නොබෙදෙන වෙනත් සැලසුමකුත් තිබුණා. ඒක තමයි මෝර්ගන්තාවු සැලසුම. හැබැයි ඉතිහාසයේ ඒක සිද්ධ වුණේ නෑ. ඒ නිසා අපි දන්න ඉතිහාසය නිර්මාණය වුණා. හැබැයි අපි දන්න ඉතිහාසයේ එක තීරණයක් වෙනස් වෙලා ජර්මනිය නොබෙදී තිබුණා නම් ඉතිහාසය කොයි වගේ මාර්ගයක් ගනීද? ඒක දැනගන්න නම් බලන්න AlternateHistoryHub යූටියුබ් චැනල් එක! මේකේ තියෙන්නේ ඉතිහාසයේ යම් යම් දේවල් සිදු නොවුණා නම්, වෙනස් විදියට සිදු වුණා නම් කොහොම වෙයිද කියන එක ඓතිහාසික සාක්ෂි සාධක සහිත දෘෂ්ටි කෝණයකින්!

 

02. Kurzgesagt – In a Nutshell

නිකමට හිතලා තියෙනවද අපි ඇත්තටම ඉන්නේ මේ විශ්වයේ කොහේද කියලා? හරි එච්චර දුර යන්න ඕන නෑ. ඇත්තටම හඳ තියෙන්නේ කොහෙන්ද? නිකම් සරල සෞර ග්‍රහ මණ්ඩලයක් දැකලා තියෙන කෙනෙක් කියයි හඳ තියෙන්නේ අපිට උඩින්, ඉර තියෙන්නේ අපිට දකුණු පැත්තෙන්, අඟහරු තියෙන්නේ අපිට වම් පැත්තෙන් කියලා. හැබැයි අභ්‍යවකාශෙට ගියහම උඩ පහළ, වම දකුණ කියලා සංකල්ප නෑ. හැමදේම සාපේක්ෂව තමයි බැලෙන්නේ. එහෙමනම් අපි ඇත්තටම කොහෙද ඉන්නේ? ආන්න ඒ ගැන විද්‍යාත්මකව දැනගන්න පුලුවන් යූටියුබ් චැනල් එකක් අපිට හම්බුවෙනවා, ඒකේ නම Kurzgesagt – In a Nutshell. දැන් විද්‍යාව කියන්නේ බොහොම කුතුහලාත්මක දෙයක්. හැබැයි ඉතින් විද්‍යාව කොයි තරම් පුළුල්ද, සංකීර්ණද කිව්වොත්, විද්‍යාවේ පොඩි පොඩි කොටස් වලට බෙදලා තියෙන ක්ෂේත්‍රයක් වුණත් සම්පූර්ණයෙන් හදාරන්න සමහර විට අපේ ජීවිත කාලෙත් මදි වෙනවා. හැබැයි එච්චර දුර නොයා, විද්‍යාවේ තියෙන කුතුහලාත්මක දේවල් දිහා බලමු. ඈත අතීතයේ ඇත්තටම පිටසක්වළ දියුණු ශිෂ්ටාචාරයක් අපේ ලෝකෙට ඇවිත් තියෙනවද? වෝම්හෝල් එකක් නැති නම් පණු කුහරයක් කියන්නේ මොනවද? මෙන්න මේ වගේ දේවල් විනාඩි කිහිපයකින් සාරාංශයක් විදියට දැනගන්න ඕනෙ නම් මෙන්න ගැලපෙනම යූටියුබ් චැනල් එක!

 

03. Veritasium

මේකත් ගැලපෙන්නේ ඔය විද්‍යාව ගැන සෑහෙන්න උනන්දු වෙන උදවියට තමයි. දැන් හිතලා බලන්න, විද්‍යාවේ සත්‍යයන් කියලා අපි හඳුනාගෙන තියෙන හැමදෙයක්ම සරලව ඔප්පු කරන්න පුලුවන්ද? ඇත්තටම බැහැ. හැබැයි අපි එදිනෙදා අත්දකින, ඒත් වැඩිය හිතන්න යන්නෙ නැති සරල විද්‍යාත්මක කාරණා වුණත් තහවුරු කරගන්න පුලුවන් ක්‍රම සහ විධි තියෙනවා. සමහර වෙලාවට සරල හෝ සංකීර්ණ විද්‍යාත්මක පරීක්ෂණ ඔස්සේ. හැබැයි ඊට කලින් ඊට අදාළ විද්‍යාත්මක න්‍යායයන් දැනගන්න ඕන. කැමතිද මේ හැමදෙයක්ම වඩාත් සරල විදියට ඉගෙන ගන්න? එහෙමනම්, ඒකට ගැලපෙනම යූටියුබ් චැනල් එක තමයි Veritasium කියන්නේ. මේ ඔස්සේ අපිට දැනගන්න පුලුවන් විදුලිය ඇත්තටම වැඩ කරන්නේ කොහොමද, ස්මාට්ෆෝන් පාවිච්චි කළහම ඇත්තටම මොළේ පිළිකා ඇතිවෙනවද වගේ කාරණා වල ඉඳන්, ගණිතයේ තියෙන මූලික සිද්ධාන්තමය ගැටළු වගේ දේවල් වෙනකල්. මේ හැම දෙයක්ම, විද්‍යාව ගැන ලොකු අදහසක් නැති කෙනෙක්ට වුණත් ඉන්ටරෙස්ටින්ග් වෙන විදියට තමයි ඉදිරිපත් වෙන්නේ!

 

04. The School of Life

අපි සාමාන්‍යයෙන් ඉස්කෝලෙ ගියපු මුල් කාලේ ගොඩක් විෂයයන් මූලිකව ඉගෙන ගන්නවා. හැබැයි ඊට පස්සේ එක තැනක් එනවා අපිට යම් විෂයයන් තෝරගන්න වෙන. ඊට පස්සේ ඉස්කෝලේ ඉවරවෙලා විශ්වවිද්‍යාලේ ගිහින් ඊට පස්සේ තවත් පශ්චාත් උපාධි, ආචාර්ය උපාධි දක්වා යනකොටත් අපිට ඉගෙන ගන්න දේවල් තෝරාගන්න වෙනවා. ඒකට ඉතින් කරන්න දෙයක් නෑ. හැමදේම ඉගෙන ගන්න අපේ ජීවිත කාලේ අවුරුදු දෙදාහක් විතර නෑනේ. හැබැයි අපිට වැඩිහිටි කාලෙට ආවට පස්සෙ වුණත් ඉගෙන ගන්න තියෙන යම් යම් දේවල් තියෙනවා නේද? උදාහරණයක් විදියට ගත්තොත්, දරුවෙක්ට සාහිත්‍යය ගැන කියලා දෙන්න වුණොත්? අපි සාහිත්‍යය ඉගෙන ගෙන නැතිනම්? එහෙම නැතිනම් අපිට දර්ශනයේ මූලිකාංග ඉගෙන ගන්න ආසාවක් ඇති වුණොත්? ආන්න ඒ වගේ දේවල් ඉගෙනගන්න ගැලපෙනම යූටියුබ් චැනල් එක තමයි The School of Life කියන්නේ. සතුට ගැන තියෙන පෙරදිග සහ අපරදිග අදහස්  මොනවද, ඉන්ටරෙස්ටින්ග් මනුස්සයෙක් වෙන්නෙ කොහොමද වගේ කාරණා වල ඉඳලා, සෙන් බුද්ධාගමේ තියෙන කාරණා, ඔස්කාර් වයිල්ඩ්ගේ ජීවිතේ අවසාන භාගය වගේ විවිධාකාරයේ ඉගෙනුම් මාතෘකා මේ යූටියුබ් පාසැලේ තියෙනවා. ඇත්තටම මේක ජීවිතයට වටින ඩිජිටල් ඉස්කෝලයක් වගේ තමයි!

 

05. Tasty

දැන් ඔය හයිද්‍රාබාද් ඩම් බිරියානි ගැන අහල තියෙනවනේ. සමහරු කාලත් ඇති. හැබැයි කොහොමද ඇත්තටම හයිද්‍රාබාද් ඩම් බිරියානි හදන්නේ? එහෙම නැතිනම් කොහොමද ප්‍රංස පේස්ට්‍රි වර්ගයක් වෙන ක්‍රොසොං ගෙදරම හදන්නේ?  දකුණු ආසියාවේ තියෙන හොඳම උණුසුම් පානයන් තුනක් ගැන දැනගමුද? මෙන්න මේ වගේ කෑම බීම සාදන කලාව සම්බන්ධ නොයෙකුත් දේවල් වීඩියෝස් විදියට තියෙන අපූරු යූටියුබ් චැනල් එකක් තමයි Tasty කියන්නේ. ඇත්තටම Tasty කියන්නේ ලෝකේ තියෙන ලොකුම ෆුඩ් නෙට්වර්ක් එකක්. මේ ඒකේ තියෙන නිල යූටියුබ් චැනල් එක. ඉතින් කෑම බීම වලට ලැදි මනුස්සයෙක්ට නම්, මේ චැනල් එක බලන්න ගත්තහම රෑ වෙනවා, එළි වෙනවා දැනෙන එකක් නෑ. කෑම බීම හදන හැටි ගැන විතරක් නෙවෙයි, ‘ඔයාගෙ බෝයිෆ්‍රෙන්ඩ්/ගර්ල්ෆ්‍රෙන්ඩ් උයන පිහන විදියෙන් එයාගේ හැටි දැනගන්න පුලුවන්ද?’ වගේ ආතල් වීඩියෝස් පවා මේ චැනල් එකේ තියෙනවා.

 

06. TheRelaxingEnd

ඔන්න අපිට බලන්න ඕන වෙනවා අලුත්ම සෝනිප්ලේස්ටේෂන් 5 එකේ අන්බොක්සින් වීඩියෝ එකක්. දැන් ඔය අන්බොක්සින්, ඒ කියන්නේ මොකක් හරි නිෂ්පාදනයක් අලුතෙන්ම අරගෙන, පෙට්ටිය ඇරලා ඒකේ තියෙන කෑලි බෑලි එළියට ගන්න හැටි බලන එකත් වෙනම ආතල් එකක්නේ. අපිට ඒ ප්‍රොඩක්ට් එක ගන්න බැරි වුණත්, ඒ අන්බොක්සින්ග් ආතල් එක විඳින්න ඕන. ඉතින් ඒකට හරියට වීඩියෝස් හොයනකොට ඔන්න හම්බුවෙනවා යූටියුබ් චැනල් එකක්. ඒකේ සුදු පාට මේස් අත්වැසුම් දාගත්තු අත් දෙකක්, සුදු පාට පසුතලේක ප්‍රොඩක්ට් එකක් අරගෙන අන්බොක්ස් කරන්න යනවා. පොර කෙලින්ම පරණ තාලේ සමුරායි කඩුවක් අරගෙන, ඒකෙන් තමයි ප්‍රොඩක්ට් එක තියෙන බොක්ස් එකේ සීල් කපලා අන්බොක්ස් කරන්නේ. ආයෙ වචනයක්වත් වීඩියෝ එක පුරාවටම කියන්නෙත් නෑ. ඒක බලාගෙන ඉන්න එක වෙනම ආතල් එකක්. හැබැයි ඉතින් ඇබ්බැහි වෙනවා සත්තයි. ඒ තමයි  TheRelaxingEnd යූටියුබ් චැනල් එක!

 

07. MKBHD

අපි ජීවත් වෙන්නේ ටෙක්නොලොජි පිරුණු ලෝකෙකනේ. ටෙක්නොලොජි එක්ක නිර්මාණය වුණු නිෂ්පාදන සහ උපාංග අපි වටේම තියෙනවා. එතකොට, අපිට ස්වභාවිකවම ඔය ඉන්ටරෙස්ටින්ග් ටෙක් උපාංග ගැන එහෙම, ටෙක්නොලොජි ගැන දැනගන්න එහෙම උනන්දුවක්, ආසාවක් තියෙනවා. ආන්න ඒකට ගැලපෙනම යූටියුබ් චැනල් එකක් තමයි MKBHD කියන්නේ. මේ යූටියුබ් චැනල් එක කරන්නේ ප්‍රොෆෙෂනල් ටෙක් ගීක් කෙනෙක් වෙන Marques Brownlee. මේ චැනල් එකේ එයා ස්මාට්ෆෝන් ගැන රිවීව්ස්, එක එක හයිටෙක් ගැජට් වල රිවීව් වගේ දේවල් වල ඉඳලා, ඉස්සරහට එන්න තියෙන, එන්න පුලුවන් ගැජට් වල පොටෝටයිප් හඳුන්වලා දෙන එක, විවිධ ටෙක්නොලොජි ගැන කියලා දෙන එක වගේ සෑහෙන්න මාතෘකා කවර් කරනවා. උදාහරණයක් විදියට ගත්තොත්, ස්මාට්ෆෝන් කැමරා වල අනාගතය Sony Xperia 1 IV ද? 2021 අවුරුද්දේ හොඳම ගැජට්ස් මොනවද? RED V-RAPTOR කැමරාවේ වැඩ කිඩ මොනවද වගේ විවිධ මාතෘකා MKBHD චැනල් එකේ දකින්න පුලුවන්.

 

08. බෝනස්: කුජීත ෆිල්ම්ස්

දවසම වැඩ කරලා මහන්සි වෙලා, කාලා බීලා නිදාගන්න හිතලා පොඩ්ඩක් යූටියුබ් පැත්තේ යන්න ඕන කියලා ෆෝන් එක අතට ගන්නවා. අරගෙන බලනකොට මෙන්න රෙකමන්ඩ් වෙනවා කුජීත ෆිල්ම්ස් කියල සෙට් එකක් කරන මොනවදෝ වීඩියෝස් වගයක්. එකක් ක්ලික් කරලා බලමු. එස් අයි මංගල කියලා වීඩියෝ එකක්. එක පාරටම ලොකු සීන් එකක් නෑ. එස් අයි මංගල කියලා ඩයල් එකකුයි, සාජන් පුෂ්පේ කියලා තව ඩයල් එකකුයි තව පොරක් පස්සෙන් පන්නනවා. හැබයි පොඩ්ඩක් බලාගෙන ඉන්නකොට ආතල්. රඟපාන එවුනොත් අමුතුම ආතල් එකක් තියේ. අන්තිමට හිනා වෙවී ඒක බලලා තව එකක් බලන්න පටන් ගන්නවා. ඒකත් ආතල්. ඔහොම දිගටම බලාගෙන ගිහිල්ලා අන්තිමට එලි වෙනකල් දන්නෙ නෑ!

 

එහෙමනම් මතකයිනේ. අපේ නින්ද හොරකම් කරන තරම් ආතල් මේ යූටියුබ් චැනල්ස් සබ්ස්ක්‍රයිබ් කරලා, සේව් කරලා තියාගන්න. දේවල් ඉගෙන ගන්න ඕන වෙලාවට ඒකට ගැලපෙන එව්වා බලන්න. වැඩ කරලා වැඩ කරලා මහන්සි වෙලා එන්ටර්ටේන්මන්ට් පාරක් ඕන වෙලාවට ඒකට ගැලපෙන එව්වා බලන්න. හැබැයි නිදාගන්න යන්න පැයකට කලින් ෆෝන්, ටැබ්, කම්පියුටර් වලින් ඈත් වෙලා ඉන්න!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *