ඔබත් පොත් ගුල්ලෙක් ද? මේ ගතිලක්ෂණ තියෙනවා නම්, ඔබත් පොත් ගුල්ලෙක් වග ෂුවර්!

අපි ගොඩක් අය ඉතින් පොත් කියවනවනේ. හැබැයි ඔය පොත් කියවන එකෙත් එක එක ලෙවල් තියෙනවා. සමහරු ඉඳලා හිටලා ඔය මොකක් හරි සඟරාවක් කියෝනවා. තව සමහරු ඉඳලා හිටලා මොකක් හරි හොඳ පොතක් අහුවුණහම කියවනවා. හැබැයි තව සමහරු කියවීම කියන එක තමන්ගේ විනෝදාංශයක් කරගෙන පොත් කියවනවා. දැන් සාමාන්‍යයෙන් අපි පොත් ගුල්ලෝ කියලා කියන්නේ ඔතනින් අන්තිම වර්ගෙට තමයි. ආයෙ සමහර පොත් ගුල්ලෝ ඉන්නවා, බඩට නොකෑවත් පොතක් කියවන්න ඕනැම තමයි. හැබැයි ඉතින් ඒකේ කිසිම නරකක් නෑ. මොකද කිව්වොත්, පොත් කියවන තරටම දැනුමත් ලැබෙන නිසා. ඇත්තටම කිව්වොත් ගොඩක් මිනිස්සු තමන් පොත් ගුල්ලන් වීම ගැන ආඩම්බර වෙනවා. ඒක එහෙම වෙන්න ඕන.

 

හරි, දැන් ඔබත් පොත් ගුල්ලෙක් ද? මෙන්න මේක තමයි ප්‍රශ්නේ. අපි එක එක මට්ටමින් පොත් කියවනවා වෙන්න පුළුවන්. හැබැයි අපි පොත් ගුල්ලෙක් වෙන්න තරමට පොත් කියවනවද? ආන්න ඒ ප්‍රශ්නෙට උත්තර හොයාගන්න පුළුවන්, මේ කියන විදියේ ගතිලක්ෂණ ඔබට තියෙනවද කියලා බැලුවොත්!

 

1. ඇඳුම් අල්මාරියට සාපේක්ෂව පොත් කබඩ් එක ලොකුයි නම්

අපි කවුරුත් ඇඳුම් පැළඳුම් මිලදී ගන්නවනේ. හා නැද්ද? එහෙම නැතුව හෙළුවෙන් ඉන්නැයි? සමහරු නම් ඉන්නවා, ඇඳුම් ගන්න ආසයි. ඒ නිසා මාසෙකට සැරයක් වත් ෂොපින් කරලා ලස්සන ලස්සන ඇඳුම් ගන්නවා. හැබැයි ඔය අතරේ පොත් ගුල්ලෝ ෂොපින් කරන්නේ පොත් කඩවල, එහෙම නැතිනම් පොත් ප්‍රදර්ශන වල. ඒ අයගේ අවුරුද්දේ බජට් එකෙන් සැලකිය යුතු ප්‍රමාණයක් පොත් ගන්න වෙන් වෙලා තියෙනවා. අන්න ඒ හින්දම එහෙම අයගේ ඇඳුම් කබඩ් එකේ ඇඳුම් පිරිලා තියෙනවට වැඩියෙන්, ඒ අයගේ පොත් අල්මාරියේ පොත් පිරිලා තියෙනවා. ඔබත් එහෙම කෙනෙක් නම්, ෂුවර් එකටම බය නැතුව ඔබත් පොත් ගුල්ලෙක් කියන්න පුළුවන්!

(මේ අතරේ පොත් අල්මාරිය වගේම ඇඳුම් අල්මාරියත් පිරිලා තියෙන අය ඉන්න පුළුවන්. අපේ පොයින්ට් එක වෙන්නේ, පොත් ගුල්ලෝ පොත් ගන්න වියදම් කරනවා, සෑහෙන්න පොත් ගන්නවා කියන එක තමයි)

 

2. කොහේ හරි යනවනං පොතකුත් ඕන නම්

දැන් අපි කොහේ හරි යනවා නම්, අපි කරන්න ආසම දේකට අවශ්‍ය දේවල් ගෙනියනවනේ. හා නැද්ද? උදාහරණයක් විදියට ගත්තොත්, සිංදු අහන්න ආස මනුස්සයෙක්, කොහේ යටත් තමන්ගේ හෙඩ්සෙට් එක අරගෙන යනවා. ඒක වැඩට යනකොට වෙන්න පුළුවන්, විනෝද චාරිකාවක් යනකොට වුණත් වෙන්න පුළුවන්. ඒ වගේම, පොත් කියවන සමහරුත් ඉන්නවා කොහේ හරි යනවා නම් පොතක් අරගෙනම යන. ගොඩක් වෙලාවට බස් එකක වගේ යනකොට ඉතින් පොතක් කියවන එක වෙලාව ගත කරන්න හොඳ ක්‍රමයක්නේ. හැබැයි මේ අතරේ තවත් සමහරු ඉන්නවා, කොහේ ය​තත්, පොතක් පතක් අරගෙන යන්නම ඕන කරන. ඒ අයට මොකක් අමතක වුණත්, පොතක් අමතක කරලා යන්න බෑ. විනෝද චාරිකාවකට ගියත් බෑග් එකට පොතක් දාගන්නවා. ආන්න ඒ අය වචන දෙකක් නැතුව පොත් ගුල්ලෝ! 

 

3. නින්දට යන්නේ පොතක් අතේ තියාගෙන නම්

දැන් කාලේ ගොඩක් දෙනෙක්ගේ තියෙන අහිතකර පුරුද්දක් තමයි, නින්දට වැටෙන්නේ ෆෝන් එක අතේ තියාගෙන වීම. ඒ කියන්නේ නිදන්න මොහොතකට කලින් වුණත් ෆෝන් එකේ තමයි රාජකාරිය. හැබැයි ඒ අතරේ සමහරු ඉන්නවා, නින්දට යන්නේ පොතක් අතේ තියාගෙන. ඒ කිව්වේ, නිදාගන්න කලින් පුරුද්දක් විදියට පොතක ටික දුරක් කියෝන අය ඉන්නවා. සමහරු ඉන්නවා, නිදාගන්න කලින් බෙහෙත් පෙත්ත බොනවා වගේ පොතක් කියවන්න අවශ්‍ය අයත්. ආන්න ඒ අයත් ෂුවර් එකටම පොත් ගුල්ලෝ. ඇත්තටම මෙහෙම පොත් ගුල්ලෝ අඳුනගන්න පුළුවන් තව ලක්ෂණයක් තමයි, එක්කෝ ඇඳේ පැත්තක කොයි වෙලෙත් පොතක් තිබීම. එහෙම නැතිනම් ඇඳට එහා පැත්තේ තියෙන බෙඩ්සයිට් ටේබල් එක උඩ පොත් කන්දක් තිබීම!

 

 

4. පොත් කියවන යාළුවෝ සෙට් එකක් ඉන්නවා නම්

අපිට එක එක විදියේ යාළුවෝ සෙට් ඉන්නවනේ. ඉස්කෝලේ හිටපු යාළුවෝ, වැඩ කරන තැන යාළුවෝ, සුබසාධන වැඩට හවුල් වෙන යාළුවෝ, ෆේස්බුක් යාළුවෝ වගේ විවිධ යාළුවෝ ගැංසි ඉන්නවා. දැන් අපි හිතමු, ඔය යාළුවෝ පිරිස අතරේ ඉන්නවා කියලා පොත් කියවන යාළු ගැංසියක්. ඒ කියන්නේ, ඒ යාළුවෝ සෙට් එකේ පොදු සාධකය වෙන්නේ පොත් කියවීම. ඒ යාළුවොත් එක්ක කතාබහ කරද්දී වුණත් පොත් පත් ගැන, අලුතෙන් ලියවුණු පොත් ගැන, කතුවරු කතුවරියෝ ගැන කතාබහ ඇදිලා එනවාම තමයි. ආන්න එහෙම සෙට් එකක් ඔයාටත් ඉන්නවා නම්, ඒ සෙට් එකේ ආශ්‍රය ඔයා සෑහෙන්න ප්‍රිය කරනවා නම්, කතා දෙකක් නෑ ඔබ පොත් ගුල්ලෙක්!

ඇත්තටම එහෙම පොත් ගුල්ලෝ යාළුවෝ සෙට් එකක් ඇරෙන්න, තනි තනි යාළුවෝ ගත්තත් මෙහෙම කෙනෙක්ගේ වැඩි යාළු පිරිසක් ඔය පොත් ගුල්ලෝ ගනේට දාන්න පුළුවන්!

 

5. අලුතෙන් එන පොත් ගැන, කතුවරු ගැන අප්ඩේට් වෙලා ඉන්නවා නම්

දැන් ඔය සාමාන්‍යයෙන් පොතක් පතක් ඉඳල හිටල කියවන මනුස්සයෙක් එහෙමට අලුතින් එන පොත් ගැන, පොත් කර්තෘ වරු ගැන, එතකොට අලුතින් සම්මාන දිනපු පොත් ගැන එහෙම දන්නෙ කලාතුරකින්නේ. ඒ කියන්නේ, සමහර වෙලාවට ඉඳලා හිටලා සිංහල පොතක් කියවන මනුස්සයෙක් ස්වර්ණ පුස්තක සම්මානය දිනපු පොත ගැන දැනගෙන ඉන්න පුළුවන්. ඒවට පබ්ලිසිටි ලැබෙන නිසා. හැබැයි එහෙම කෙනෙක් ස්වර්ණ පුස්තක අන්තිම වටයට නිර්දේශ වුණු පොත් සෙට් එක ගැන දැනගෙන ඉන්න තියෙන ඉඩ අඩුයි. එතකොට ඉඳලා හිටලා ඉංග්‍රීසි පොතක් කියවන කෙනෙක්, මේ අවුරුද්දේ බුකර් සම්මානය හරි ග්‍රේෂන් සම්මානය හරි දිනපු පොත මොකක්ද කියලා දැනගෙන ඉන්න තියෙන ඉඩ අඩුයි. 

හැබැයි පොත් ගුල්ලෙක් නම් ආයෙ අලුතෙන් එන පොත් ගැන, කතුවරු ගැන, කතුවරු අලුතෙන් ලියපු පොත් ගැන, සම්මාන දිනපු පොත් ගැන සෑහෙන්න අප්ඩේට් වෙලා ඉන්නේ. ඔයත් එහෙමද?

 

6. පොත් කඩේකට ගියහම එළියට ගන්න අමාරු නම්

එක එක අය යන්න ආස තැන් තියෙනවනේ. කෙනෙක්ව එහෙම ආස තැනකට ගියාට පස්සේ ආයෙ එලියට අරගන්න එක ටිකක් අමාරු වැඩක්. උදාහරණයක් විදියට පොඩි එකෙක්ව සෙල්ලම් බඩු කඩේකට ගියහම එලියට ගන්න අමාරුයි. ඇඳුම් පැළඳුම් වලට ආස කෙනෙක්ව රෙදි කඩේකට ගියාට පස්සේ එලියට ගන්න අමාරුයි. හැබැයි ඔය වගේම තමයි, පොත් ගුල්ලෙක්ව පොත් කඩේකට ගියහම එලියට ගන්න තියෙන අමාරුවත්. වෙන විදියකට කිව්වොත්, සාමාන්‍යයෙන් කලාතුරකින් පොතක් කියවන මනුස්සයෙක් පොතක් ගන්න පොත් කඩේකට ගියොත්, එයා එතනට ගිහින්, තමන්ගේ අවශ්‍යතාවය එතන ඉන්න කෙනෙක්ට කියලා, නැතිනම් තමන්ම අදාළ රාක්කේ බලලා අවශ්‍ය පොත අරගෙන, සල්ලි ගෙවල එන එක තමයි වෙන්නේ. හැබැයි පොත් ගුල්ලෙක් පොත් කඩේකට ගියොත්, ඇත්තටම ගන්න ගියේ එක පොතක් වුණත්, ඔය රාක්ක වල තියෙන පොත් අතගගා, බල බල, සමහර පොත් අතට අරන් එහෙන් මෙහෙන් කියව කියව සෑහෙන්න වෙලාවක් ගත කරලා තමයි එතනින් එලියට බහින්නේ. ආන්න පොත් ගුල්ලෝ! සමහරු නම් ඉන්නවා පැය ගණන් පොත් කඩවල් වලට වෙලා පොත් කියෝ කියෝ ඉන්න. එහෙම උන්දැලා පොත් ගුල්ලෝ ප්‍රෝ මැක්ස්!

ඔහොම පොත් ගුල්ලෙක් එක පොතක් ගන්න පොත් කඩේට ගියත්, ගොඩක් වෙලාවට එලියට එන්නේ අතේ සල්ලි තිබ්බොත් පොත් කීපයක් හරි අරගෙන තමා ඉතින්!

 

7. එක පාර පොත් කීපයක් කියවනවා නම්

දැන් අපි ගොඩක් දෙනෙක්ට හුරුපුරුදු පොත් කියවන රටාව මොකක්ද? පොතක් ගත්තා, එක්කෝ ඒක එක හුස්මට කියෙව්වා. නැතිනම් ඒක ටික ටික කියෙව්වා. ඉවර කළා. ඊලඟට තව පොතක් කියවන්න ගත්තා. එහෙම නේද? හැබැයි පොත් ගුල්ලෙක්ට එහෙම නෑ. ගොඩක් වෙලාවට පොත් ගුල්ලෝ එක පාර පොත් දෙකක් හෝ කීපයක් කියවනවා. ඒ කියන්නේ එක පාර දෙපැත්තේ පොත් දෙකක් තියාගෙන කියෝනවා කියන එක නෙවෙයි. එක පොතක් කියවගෙන යන අතරේම, ඒ පොතෙන් බ්‍රේක් එකක් ගන්න අතර, තව පොතක් කියවනවා. අන්න එහෙම පොත් කීපයක් කියවන අයත් ෂුවර් එකටම පොත් ගුල්ලෝ කැටගරියට දාන්න පුළුවන්!

 

දැන් මේ ගතිලක්ෂණ එකක් හරි කීපයක් හරි තියෙනවා නම්, වැඩි සැකයක් නැතුව අපිට කියන්න පුළුවන් ඔබත් පොත් ගුල්ලෙක් තමයි කියලා. ඒක ඇත්තටම නරක දේකුත් නෙවෙයි!

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *