රසම රස බිරියානි මෙනූ එකක් ගෙදරම හදාගන්න රෙසිපි

මේ කාලේ එළියෙන් කන්න ටිකක් අපහසු කාලයක්. ඒ වගේම පිටින් කන කොට හිතේ සැකෙන් කන්නත් එපැයි. එකී මෙකී නොකී සියල්ලම නිසා ඔන්න අද අපි ගෙනාවා රසම රස බිරියනි මෙනූ එකක්. බබාලට උනත් ගෙදරදිම හදලා බය නැතුව කන්න දෙන්න පුළුවන්. ඔයාලා මේක නම් අනිවා හදන්න ඕනේ.

 

1. චිකන් බිරියානි රයිස්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. කීරි සම්බා කිලෝ 1
  2. කපාගත් චිකන් කිලෝ 1
  3. චොප්කරගත් ඉඟුරු සුදුළූණු මේස හැඳි 2
  4. බේ ලීව්ස් කොළ 1
  5. චොප්කරගත් ළූණු ගෙඩි 1
  6. ස්ටාර් අනීස් 2
  7. චොප්කරගත් කොත්තමල්ලි හා මිංචි කොළ ටිකක් 
  8. කරදමුංගු ඇට 2
  9. කරාබු නැටි 3
  10. කුරුඳු පොතු කෑලි 2
  11. කහ කුඩු තේ හැඳි 1/2
  12. ගරම් මසාලා තේ හැඳි 3
  13. කොත්තමල්ලි කුඩු තේ හැඳි ½
  14. සූදුරු කුඩු තේ හැඳි ¼
  15. මීකිරි කප් 1/2
  16. ගී කෝප්ප 1/4
  17. බැදගත් ළූණු හා කජු ටිකක් 

 

  • චිකන් වලට චොප්කරගත් ඉඟුරු, සුදුළූණු මේස හැඳි 1, ගරම් මසාලා, කොත්තමල්ලි කුඩු සූදුරු කුඩු, කහ කුඩු, මීකිරි දාලා හොඳට අතගාලා පැය 2ක් මැරිනේට් කරගන්න. 
  • හාල් ටික සෝදලා වතුර බේරෙන්න තියන්න. රයිස් කුකර් එකට ගී ටික දාලා රත්වුණාම චොප්කරගත් ළූණු, ඉඟුරු, සුදුළූණු දාගන්න.
  • ඒ ටික තෙම්පරාදු  වෙනකොට කරදමුංගු, කරාබු නැටි, කුරුඳු පොතු, බේ ලීෆ්, ස්ටාර් අනීස් දාලා බැදෙන්න අරින්න. ටිකකින් චිකන් ටික දාලා කලවම් කරලා වහලා විනාඩි 8ක් වගේ පිසගන්න. 
  • ඊළඟට හාල් ටික දාලා අවශ්‍ය තරම් වතුර දාලා රයිස් කුකර් එකේ බත පිසගන්න.
  • බත ඉදුණම පොඩ්ඩක් කූරුගාලා උණුවෙන්ම උඩින් කොත්තමල්ලි හා මිංචි කොළ, බැදගත් ළූණු හා කජු දාලා කලවම් කරගන්න. 

 

2‍. රායිතා

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. කොටුවට කපාගත් පිපිඤ්ඤා ගෙඩි 1/2
  2. කොටුවට කපාගත් ළූණු ගෙඩි 1
  3. මුදවපු කිරි මේස හැඳි 3
  4. කොටුවට කපාගත් කැරට් අල 1
  5. දෙහි යුෂ තේ හැඳි 1
  6. ලුණු හා ගම්මිරිස් කුඩු 
  • මේ සියල්ලම හොඳට කලවම් කරලා ෆ්‍රිජ් එකේ තියලා අවශ්‍ය වෙලාවට එළියට ගන්න. 

 

 

3. මින්චි සම්බල්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. මින්චි කොළ කෝප්ප 2
  2. ගාගත් පොල් කෝප්ප 1/2
  3. සුදුළූණු බික් 3
  4. රතුළූණු ගෙඩි 2
  5. අමුමිරිස් කරල් 2
  6. ලුණු හා ගම්මිරිස් කුඩු 
  7. වතුර මේස හැඳි 2
  8. දෙහි යුෂ ටිකක් 

 

  • දෙහි හැර අනෙක් සියල්ලම හොඳට බ්ලෙන්ඩ් කරගන්න. 
  • රස අනුව දෙහි යුෂ දාලා කෑමට ගන්නකම් ෆ්‍රිජ් එකේ තියන්න. 

 

 

4. කජු ග්‍රීන්පීස් කරිය

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. කජු ග්‍රෑම් 200 (පැය 6ක් පොඟවාගත්) 
  2. ග්‍රීන්පීස් ග්‍රෑම් 50
  3. ලියාගත් රතුළූණු ගෙඩි 3
  4. ලියාගත් සුදුළූණු බික් 2
  5. උළුහාල් තේ හැඳි 1/2
  6. රම්පේ හා කරපිංචා 
  7. තුනපහ කුඩු තේ හැඳි 1/2
  8. කහ කුඩු තේ හැඳි 1/4
  9. ලුණු
  10. දියකිරි කෝප්ප 2
  11. මිටිකිරි කෝප්ප ½
  12. තෙල් ටිකක්

 

  • ග්‍රීන්පීස් ටික සෝදලා ගන්න. 
  • භාජනයක් අරගෙන කජු, ග්‍රීන්පීස් සහ දියකිරි දාලා හොඳට තම්බගන්න.
  • තෙල් ටිකක් භාජනයක රත්වෙන්න තියලා ඒකට ලියාගත් ළූණු, සුදුළූණු, උළුහාල්, රම්පේ, කරපිංචා, තුනපහ කුඩු, කහ කුඩු හා ලුණු දාලා හොඳට තෙම්පරාදු කරගන්න.
  • ඒකට තම්බගත්ත කජු සහ ග්‍රීන්පීස් දාලා මිටිකිරි දාලා හින්දගන්න. 

 

5. මැලේ අච්චාරු

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. තරමක් කෑලි ලොකුවට කපාගත් බී ළූණු ගෙඩි 3
  2. මාලුමිරිස් කරල් 4
  3. රට ඉඳි ග්‍රෑම් 150
  4. කැරට් අල 3
  5. විනාකිරි කෝප්ප 1/2
  6. අඹරාගත් අබ තේ හැඳි 2
  7. ලුණු හා ගම්මිරිස් කුඩු 
  8. දෙහි යුෂ ටිකක් 
  9. මිරිස් කුඩු තේ හැඳි 1
  10. චොප්කරගත් ඉඟුරු කෑල්ලක්
  11. චොප්කරගත් සුදුළූණු තේ හැඳි 2
  12. තලාගත් කරදමුංගු හා කරාබු නැටි 4
  13. කුරුඳු පොතු කෑල්ලක්

 

  • ඇට ඉවත් කරගත් රට ඉඳි වලට විනාකිරි දාලා පැයක් පෙඟෙන්න තියන්න. එළවළු වල වතුර පිහිදලා අරගන්න. 
  • මාළුමිරිස් රවුමටත්, අනික්වා ලොකුවට කොටුවටත් කපාගන්න. රට ඉඳි ටික විනාකිරි එක්ක හොඳට පොඩි කරගන්න. 
  • වියළි මැටි මුට්ටියකට ගම්මිරිස් කුඩු, මිරිස් කුඩු, ඉඟුරු, සුදුළූණු, දෙහි යුෂ, කුරුඳු පොතු, කරදමුංගු, කරාබු නැටි සියල්ල දාලා රට ඉඳි මිශ්‍රණයත් දාලා ලිපේ තියන්න. උකු සෝස් එකක් වෙනකොට ලිපෙන් බාන්න.
  • කපාගත් එළවළු ටික ඒකට දාලා හොඳට කලවම් කරලා නිවෙන්න තියලා කට සීල් වෙන්න වසාගන්න. මේක දවසකට කලින් හදල තියාගන්න. ජීවාණුහරණය කළ බෝතල් වල අසුරගන්නත් පුළුවන්. 

 

6. තම්බා බැදගත් බිත්තර 

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. බිත්තර
  2. කහ
  3. ලුණු
  4. ගොරකා
  5. තෙල් 

 

  • බිත්තර තම්බනකොට කටුව ගලවෙන්න ලේසි වෙන්න තම්බන වතුරට ගොරකා කෑලි 2-3ක් එක්කරන්න. 
  • බිත්තර ටික බදින්න කලින් කටු ඉවත්කළ බිත්තර වල පිටතින් පොඩි කැපුම් කිහිපයක් යොදන්න. 
  • කහ සහ ලුණු ටිකක් බිත්තර වලට අතගාලා ගැඹුරු තෙලේ බැදගන්න.