ලෙව්කේ රාළ ගැන අහලා තියෙනවද?

“පුන්සඳ රෑට ඇවිදින් හේනේ කළුව බිඳ…” නිරෝෂා විරාජිනී ගයන මේ ගීතය නම් ඔබ අනිවාර්යයෙන්ම අහලා ඇති. ඉතින් මේ සිංදුව කොහොමද ලෙව්කේ රාළ කෙනෙක්ට සම්බන්ධ වෙන්නේ කියලා ඔයා හිතනවත් ඇති. මේ ගීතය ලියන්න ආභාෂය ලැබිලා තියෙන්නේ ලෙව්කේ රාළට ලියවුණු එක් ජන කවියකින් කියලා මතයක් තියනවා. ඉතින් රත්න ශ්‍රී විජේසිංහයන්ගෙ මේ අපූරු පදවැල්වලට පාදක වුණා කියලා සැළකෙන ඒ ලෙව්කේ රාළ ගැන අද අපි කතාකරමු…

01. කවුද මේ ලෙව්කේ රාළ කියන්නේ? 

ලෙව්කේ රාළ කියන්නේ ලෙව්කේ පරපුරේ අවසාන පුරුක. මොහුගේ පියා ලෙව්කේ දිසාවතුන් කෝරළයේ හා හතර කෝරළයේ ප්‍රධනියා විදියට ශ්‍රී විජය රාජසිංහ රජු යටතේ කටයුතු කළා. ඒ වගේම මේ ලෙව්කේ නිළමේ කාලයක් පැවිදි වෙලා ඉඳලා තියෙනවා. ඒ වගේම වැලිවිට සරණංකර හිමියන්ට පාලි භාෂාවත් උගන්වලා තියෙනවා. ඉතින් මේ නිළමේ තමන්ගේ එකම පුතාට “විජේසුන්දර” නමින් උසස් නාමයක් ප්‍රධානය කර ඇති බවක් කියවෙනවා. ඒ හින්දා ඔහුව “ලෙව්කේ විජේසුන්දර රාජකරුණා සෙනෙවිරත්න හේරත් වාසල මුදියන්සේ” නාමයෙන් හඳුන්වා තිබෙනවා. තම පියා දරපු හතර කෝරළේ දිසාව පදවියත් ලෙව්කේ නිළමේට ස්වභාවිකව උරුම වුණා.

 

02. සටනට මෙන්ම කවියට තිබූ හපන්කම

තමන්ගෙ තාත්තට තිබ්බ කලා හැකියාව වගේම මේ ලෙව්කේ රාළට සටන් හැකියාවත් උපරිමයෙන්ම පිහිටලා තිබ්බා. ඒ වගේම මොහු විවේකී අවස්ථා වල ගායනා කළ කවි අහන්න කීර්ති ශ්‍රී රාජසිංහ රජුද ගොඩාක් ප්‍රිය කරලා තියෙනවා. ඔහුගේ කවි වල ගැමි සුන්දරත්වය හා ස්වභාව ධර්මයා ගැන අපූරුවට ලියවිලා තියෙනවා. ඒ වගේම ලෙව්කේගේ සමහර සටන් ක්‍රම මොහුටම හෝ මොහුගේ පරම්පරාවටම ආවේණික වූ සටන් ක්‍රම කියලා හඳුන්වනවා. ඒ වගේම මොහු සතුවු ඒ විශිෂ්ට හැකියාව නිසාම මොහුගේ කාය ශක්තිය පිරික්සන්න ආපු ගොඩාක් අය මොහුට බියේ ආපහු හැරී ගිහින් තියෙනවා. 

 

03. මල්ලව පොර තරඟය

ඉන්දියාවෙන් ආපු දක්ෂ මල්ලවපොර කාරයෙක් බිය කර නැවත හරවා යවපු කතාව ලෙව්කේ නිළමේ පිළිබඳව ඇති එක් ප්‍රසිද්ධ රස කතාවක්. ඒ කතාවෙ හැටියට මේ ලෙව්කේ රාළ කිරිබත් එක්ක කොට්ට පොල් කිරි කන්න ගොඩාක් කැමතියිලු. ඉතින් මේ සටනට සතියකට විතර කලින් ඉන්දියානු ප්‍රතිවාදියා ඉස්සරහ ඔහු පැහුණු කොට්ට පොල් ගෙඩියක් අතින් මිරිකගෙන ගත්ත කිරිත් එක්ක පෙරේත කමින් කිරිබත් කාල තියෙනවා. මේ සිද්ධිය දැක්ක ප්‍රතිවාදියා සටන පැවැත්වීමට කලින් නැවතත් තමන්ගේ මවු රටවල් ගිහින් තියෙනවා. 

 

04. දහමට ලැදි වූ ශක්තිවන්තයා

ඉතින් මේ ලෙව්කේ රාළ හතර කෝරළයේ විහාර කිහිපයක් ම ප්‍රතිසංස්කරණය කරලා තියෙනවා. ඔහුගේ අක්කර 366 ක් වූණු නින්ද ගම් සමූහයෙන් ඉඩම් කිහිපයක් ම රඹුක්කන ගල් විහාරයටත්, දනකිරිගල ලෙන් විහාරයටත් 1766 දී පූජා කල බව බෙල් ගේ වාර්තා වල සඳහන් වෙනවා. ඔහු දනකිරිගල විහාරයේ කරපු ප්‍රතිසංස්කරණයන් සම්බන්ධයෙන් අපූරු කතාවකුත් තියෙනවා. දනකිරිගල විහාරයට යන්න මාවතක් නොතිබ්බ නිසා මොහු එයට ගල් පඩි පෙලක් තමන්ගේ අසිමිත කාය ශක්තියත්, හිත තුල වූ ශ්‍රද්ධාවත් උපයෝගී කරගෙන තනලා තියෙනවා. . ඔහු මෙය කළේ ගොඩක් වෙලාවට ගොම්මන් වේලාවන් වල. මේ අසිමිත හැකියාවන් නිසා ඔහුට ගොඩාක් උඩරට රදළයන් ඊරිෂ්‍යා කරලා තියෙනවා..

 

05. එකළ දිවයිනේම ශක්තිවන්තයා

එක වරක් ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා මුළු දිවයිනේම දක්ෂ තරුණයින් රැසක් මහනුවරට ගෙන්වලා අපහසු අභියෝග රැසක් ලබාදුන්නා. ඉතින් මේ අවසන් අභියෝගය වෙනකන් සුදුසුකම් ලැබූවේ, කප්පාගොඩ නම් තරුණයා හා අද අපි කතා කරන මේ ලෙව්කේ රාළයි.

 

අන්තිම අභියෝගය වූනේ අඟලක්-දෙකක් විතර තුඩක් පොලවෙන් එලියට සිටින විදියට පොලව යට අඩි කිහිපයක් වළලපු ඇත් දලක් පොලවෙන් උඩට ගැනීමයි. ඇත් දලේ පොලව යට තිබුණු අගට, පොලවට සිරවෙන විදියට, යකඩින් කරපු කුරුසයක් ද අටවා තිබුණා. ඒ තුඩට තල තෙල් ගල්වා තිබුණා. ඉතින් මේ අභියෝගය තේරුම් ගන්න එක වගේම ඒ අභියෝගයක් ගොඩාක් අපහසුයි. ඉතින් කොහොම හරි මේ ලෙව්කේ මේ අභියෝගයත් ජයගෙන ගොඩාක් තෑගි භෝග ලබා ගත්තා…

 

06. ශරීරය මෙන් දරදඬු නොවූ පෞද්ගලික ජීවිතය

ඉතින් මේ ලෙව්කේ රාළ විවාහ වුනේ දෙල්ගොඩ කුමාරිහාමි සමග. ඉතින් මේ දෙපලට දියණියන් තිදෙනෙකු සිටියා. ඒ වුනත් ඒ දූවරු තුන්දෙනාටම දරුවන් හිටියේ නෑ. ඊට පස්සේ ඒ දූවරුන්ගේ සැමියන්ගේ සහෝදර පවුල් වල දරුවන් “ලෙව්කේ” කියන නම ඔහුන්ගේ පරම්පරා වලට ඇඳාගෙන තියෙනවා.

ඒ වගේම ලෙව්කේ රාල විසින් ඉදිකරපු ගල් පඩි පෙලෙහි සේයා රුවක්, ඔහුගේ පියා ශ්‍රි විජය රාජසිංහ රජුට ත්‍යාග කරපු ගොඩක් වටින ඇති කාලතුවක්කු ආකෘතියේ සේයා රුවක්, දනකිරිගල විහාරයේ ලෙව්කේ රාලගේ සේයා රුවක් හා ඔහු මියගිය ස්ථානයේ ස්මාරකයේ සේයාරුවක් වගේ ගොඩක් සාක්ෂි දැනට හොයාගෙන තියෙනවා

 

07. සෝචනීය ජීවිත අවසානය

ඉතින් මේ උඩරට රාජ්‍ය සමයේ අවාසනාවන්ත විදියට ජීවිතෙන් වන්දිගෙවපු තවත් රදලයෙක් තමයි මොහු. 1803 දී හංවැල්ල සටනේදී ඉංග්‍රිසින්ගෙන් පැරදුණු රජුගේ සේනාව, අවිස්සාවේල්ලේදී නැවතිලා තියෙනවා. ඒ අසල වෙල්යායම ළඟට ආපු පැමිණි ලෙව්කේයි ඔහුගේ මහා මොහොට්ටාල, කුරුම්බා ගෙඩියක් බොමින් විවේකී සුවයෙන් හිටියා. මේ වෙලාවෙදි අවාසනාවන්ත විදියට කිසිම හේතුවක් නැතුව මේ දෙන්නව රජු හිස ගසා දාලා තියෙනවා. ඒ වගේම තවත් මේ වගේ සිදුවීම් රැසක් තියෙනවා මේ මරණය ගැන. කොහොමවුනත් ශ්‍රි වික්‍රමරාජසිංහ රජු අතින් වුනු බලවත් ම වැරැද්ද විදියට සලකන්නේ මේ මරණය. පස්සේ රජු මේ ගැන දුකින් හිටියා කියලත් කියවෙනවා.

 

ඉතින් අද අපි කතාකළේ පොත් වල නොලියුණු විශිෂ්ට වීරයෙක් ගැන. ඉතින් අවසානය සෝචනීය වුණු මොහුගේ කතාව ගැන ඔබ දන්නා වෙනත් දේවලුත් අපිට කියන්න අමතක කරන්න එපා..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *