සිරබත් කෑ ලාංකික දේශපාලනඥයෝ

ලංකාවේ දේශපාලන ඉතිහාසය ගැන හොයල බැලුවම අපිට පේන්න තියෙන විශේෂ කාරණාවක් තමයි සිරබත් කෑම සහ දේශපාලනය අතර තියෙන්නේ ඉතාම කිට්ටු සම්බන්ධතාවයක් කියන එක. ඒකට උදාහරණ විදිහට ඕන තරම් දේශපාලන නායකයින්ගේ නම් සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම හිරබත් කනවා කියන එක දේශපාලනයේදී ටිකක් විතර ප්ලස් පොයින්ට් එකකුත් වෙනවා. මෑත ඉතිහාසයේ බැලුවොත් ගොඩක් දේශපාලනඥයෝ හිරගෙදර යන්නේ මාංචු දාපු අත්දෙක උඩට උස්සගෙන. ඒකෙන් කියවෙන්නේ ඉතින් මම වීරයෙක් කියනවා වගේ අදහසක් කියල හිතන්නත් පුළුවන්. වෙන වෙන නිර්වචන දෙන්නත් පුළුවන් හැබැයි. කොයි හැටි උනත් ශ්‍රී ලාංකික දේශපාලනයේ සිරගත වෙන්න සිදු වෙච්ච දේශපාලනඥයෝ කිහිපදෙනෙක් ගැන කතාකරන්න තමයි අද අපි සුදානම් වෙන්නේ. 

 

1. පිලිප් ගුණවර්ධන

දොන් පිලිප් රූපසිංහ ගුණවර්ධන. එහෙම කිව්වට දන්නේ නැති උනාට බොරලුගොඩ සිංහයා කිව්වොත් ගොඩක් අය අහල තියෙන පිලිප් ගුණවර්ධන කියන්නේ මුල්කාලීන ශ්‍රී ලාංකික දේශපාලනයේ වැඩියෙන්ම කතාබහට ලක් වෙච්ච දේශපාලනඥයා කිව්වොත් වඩා හරි. සූරියමල් ව්‍යාපාරයේ ප්‍රාරම්භකයෙකු විදිහටත් ඊට පස්සේ ලංකා සමසමාජ පක්ෂය ආරම්භ කරන්නත් තරුණ පිලිප් පුරෝගාමී වෙනවා. බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයට විරුද්ධව සහ දේශීය ප්‍රභූ පන්ති ක්‍රමයට එරෙහිව තමන්ගේ සටන ගෙන ගිය පිලිප්ට දෙවෙනි ලෝක යුද්ධය කාලේදී බෝගම්බර සිර ගෙදරට යන්න සිද්ධ වෙනවා. 

හැබැයි පිලිප් ගේ බිරිඳ ඔහුව බලන්න සිර ගෙදරට ආපු අවස්ථාවක කෙසේ හෝ සිර මැදිරියේ යතුර සබන් කැටයක සලකුණු කරගෙන ඇවිත් කම්කරුවෙකු ලවා එම යතුර හදවාගෙන, එය යළි සිර මැදිරිය තුළට තම සාරි පොට ඇතුළේ සඟවාගෙන ගිහින් පිලිප්ගේ අතට දෙන්න සමත් වෙනවා. එහෙම ඉන්දියාවට පැනලා ගිහින් ආයෙත් පසුකාලීනව ලංකාවට ඇවිත් දේශපාලනයේ නිරත වුණත් සවුත් වෙස්ටර්න් බස් වර්ජනය මෙහෙයවීම නිසා අවුරුදු හතක සිර දඬුවමක් ඔහුට නැවතත් හිමි වෙනවා. 

 

2. රෝහණ විජේවීර

පටබැඳිගේ දොන් නන්දසේන විජේවීර කියන සම්පුර්ණ නම කෙසේ වෙතත් රෝහණ විජේවීර කියන නම අහපු නැති කෙනෙක් හොයාගන්න හරි අමාරුයි. ඒ තරම් විජේවීර කියන නම ලංකාවේ ජනතාව අතර ප්‍රසිද්ධයි. 1965 මැයි 14 වෙනිදා නිල වශයෙන් ආරම්භ කරපු ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ වෙන්නේ විජේවීර. ඉන් පස්සේ 1969 දී යම් යම් දේශපාලන ක්‍රියාකලාපයන් නිසා සහ තරුණයන්ගේ මැදිහත් වීම් වැඩි නිසා රෝහණ විජේවීර අත් අඩංගුවට ගන්නවා. ඉන් නිදහස් වීමෙන් පස්සෙත් පුවත්පත් හරහා සහ තරුණ ප්‍රජාව එක්ක සන්නද්ධ අරගල වලට යොමු වෙමින් ඉස්සරහට එමින් හිටපු නිසා රජයේ අවධානයට ජවිපෙ නතු වෙනවා. 1970 දී ජවිපෙ මර්දනයට රජය විසින් ජනතා සහය ඉල්ලා සිටිනවා සහ හදිසි නීතිය ක්‍රියාත්මක කරනවා. එහෙම තියෙද්දී 71 දී විජේවීරව අත්අඩංගුවට ගන්නවා. ඒ අවස්ථාවේදී 71 කැරැල්ල පටන් ගන්නවා වගේම අසාර්ථක වෙනවා. විශාල තරුණ ඝාතනයකට පස්සේ 71 කැරැල්ලේ සැක කරුවන්ට දඬුවම් කරන්න අපරාධ විනිශ්චය කොමිෂන් සභාව පිහිටුවල අධිකරණ ක්‍රියාමාර්ග ආරම්භ කරනවා. ඒ නඩුවේදී නීතිඥයෙකු නැතුව ඉදිරිපත් උන විජේවීරට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වෙනවා. 

 

3. එස් බී දිසානායක

2001 බිහි කරපු එජාප ආණ්ඩුවේ කෘෂිකර්ම ඇමතිවරයා විදිහට පත්වීම් ලැබුවේ එස්.බී. දිසානායක හෙවත් දිසානායක මුදියන්සේලාගේ සුමනවීර බණ්ඩා දිසානායක මහත්මයා.  ඒ කාලේ එතුමා සහභාගී වෙනවා මහා වප් මගුල් උත්සවයකට. ඒ උත්සව සභාවේ කතාවක් අතරතුරේ දී දිසානායක මහත්තයා කරපු යම් ප්‍රකාශයක් නිසා 2004 දී ශ්‍රේෂ්ඨාධිකරණයේ ඔහුට විරුද්ධව නඩුවක් පැවරෙනවා. නඩුවෙන් අධිකරණයට අපහාස කිරීම කියන චෝදනාව තහවුරු කරපු එවකට අගවිනිසුරු සරත් එන්. සිල්වා, එස්.බී. මහත්තයට අවුරුදු දෙකක සිර දඬුවම් නියම කරනවා. 

 

4. දුමින්ද සිල්වා

තරුණ දේශපාලඥයෙක් විදිහට ජනප්‍රිය චරිතයක් වෙලා හිටපු දුමින්ද සිල්වා මේ වෙද්දීත් ඉන්නේ බන්ධනාගාරගත වෙලා. ඔහු 2004 අවුරුද්දේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කරල පාර්ලිමේන්තුවට තේරී පත්වෙනවා. ඉන් පස්සේ 2011 මැතිවරණ දිනයේදී කොලොන්නාව ආසනය වෙනුවෙන් තරග කරපු භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා සහ ඔහුගේ ආධාරකරුවන් පිරිසක් හා දුමින්ද සිල්වා මහතා ඇතුළු පිරිසක් අතර සිද්දවෙච්ච වෙඩි හුවමාරුවකින් ප්‍රේමචන්ද්‍ර මහතා ජීවිතක්ෂයට පත් වෙනවා. ඒ වෙනුවෙන් පැවති නඩුවෙදී අදාළ ඝාතනය සම්බන්ධයෙන් දුමින්ද සිල්වාව අත්අඩංගුවට ගන්නවා. ඉන් පස්සේ 2016 අවුරුද්දෙදී නඩුවේ තීන්දුව විදිහට ඔහුට මරණ දඬුවම නියම කෙරෙනවා.

 

5. විජය කුමාරණතුංග

කෝවිලගේ ඇන්ටන් විජය කුමාරණතුංග කියන්නේ ඉතා දක්ෂ චිත්‍රපට නළුවෙක්, ගායකයෙක් සහ කාගේත් ආදරය දිනාගත්තු දේශපාලන නායකයෙක්. ඒ වගේම හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මැතිනියගේ ආදරණීය ස්වාමිපුරුෂයා. ශ්‍රී ලංකා මහජන පෙරමුණේ නිර්මාතෘ වන්නේත් කුමාරණතුංග මහතායි. 1982 ජනාධිපති මැතිවරණයෙන් පස්සේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ඝාතනය කිරීමේ  කුමන්ත්‍රණයකට සැක පිට  එවකට බලපැවැත්වුණු හදිසි නීතිය යටතේ මෙතුමා අත්අඩංගුවට අරගෙන විශේෂ කොන්දේසි යටතේ බන්ධනාගාරගත කරනවා.

 

6. සරත් ෆොන්සේකා

ෆීල්ඩ් මාෂල් ගාර්දිහේවා සරත් චන්ද්‍රලාල් ෆොන්සේකා කියන්නේ ශ්‍රී ලංකාවේ තිස් වසරක යුද්ධය නිමකිරීමට මූලිකත්වය දුන් හමුදාපතිවරයා. ඔහු යුද්ධය නිම වීමෙන් පස්සේ 2009 ජූලි මාසයේදී යුධ හමුදාපති තනතුරින් විශ්‍රාම අරගෙන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී විදිහට පත්වීම් ලබනවා. හැබැයි ඒ පත්වීමෙන් මාස කීපයකට පස්සේ ඔහු සම්පූර්ණයෙන්ම හමුදා සේවයෙන් විශ්‍රාම ගන්නවා. ඉන් පස්සේ 2010 ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වෙනවා. ඒත් ඒ ජනාධිපතිවරණයෙන් අවාසනාවන්ත විදිහට පරාජය වන මෙතුමා යුධ හමුදාපති කාලයේ කරන ලද මිලදී ගැනීම් සම්බන්ධ චෝදනා මත අත්අඩංගුවට පත් වෙනවා. ඊට පස්සේ හමුදා අධිකරණයක් මගින් එම නඩු දෙකක් මෙහෙයවනු ලබනවා. ඉන් මිලදී ගැනීම් සම්බන්ධ නඩුවෙන් ඔහුව වැරදිකරු කොට වසර තුනක සිර දඬුවමකට යටත් කරනවා.  

 

7. රන්ජන් රාමනායක

මේක තමයි මේ දවස්වල උණුසුම්ම දේශපාලන සිරගත කිරීම. පාර්ලිමේන්තු මන්ත්‍රී සද්ද විද්ද රාජපක්‍ෂ පළඟ පතිර අඹකුමාරගේ රන්ජන් ලියෝ සිල්වෙස්ටර් අල්පෝන්සු හෙවත් රන්ජන් රාමනායක මහත්මයාගේ සිර දඬුවම. 2017 අගෝස්තු 21 වෙනිදා අග්‍රාමාත්‍ය නිල නිවාසය ඉදිරිපිටදී කරන ලද ප්‍රකාශයක් හේතුකරගෙන ඔහුට අධිකරණයට අපහාස කිරීම කියන කාරණාව මත ශ්‍රේෂ්ඨාධිකරණයේ  නඩුවක් ගොණු වෙනව. නඩු විභාගයකින් පස්සෙ  ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක ඒකමතික තීරණයක් විදිහට අවුරුදු හතරක බරපතල වැඩ සහිත සිර දඬුවමකට යටත් වෙන්න ඔහුට සිදු වෙනවා. දැනට ඔහු නිරෝධායන කටයුතු සඳහා පල්ලන්සේන තරුණ වරදකරුවන්ගේ අභ්‍යාස විද්‍යාලයේ රඳවාගෙන තියෙනවා.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *