බිස්නස් එකක් කරනවට වඩා හොඳ රැකියාවක් කරන එකේ වාසි

අපි කලින් සතියක කතා කළානෙ රැකියාවක් කරනවට වඩා තමන්ගේම බිස්නස් එක්ක කරන එකේ වාසි මොනවද කියල. ඒ වගේම තමයි ඉතින් ඒකෙම අනිත් පැත්තත්. රැකියාවක් නොකර බිස්නස් එකක් කරන්න තෝරාගැනීමෙත් වාසි වගේම අවාසිත් තියෙනවා. ඒ වගේම බිස්නස් එකක් නොකර වෙන කෙනක් යටතේ උනත් උදේ හවස යන එන රැකියාවක් කරන එකේ වාසිත් තියෙනව. අපි එදත් කිව්වනෙ මේ කාරණා දෙකේම පොදුවේ වාසි අවාසි දෙකම තියෙනව කියල. ඉතින් මේ අද කතා කරන්න යන්නෙ අන්න ඒ ගැනයි. හුඟ දෙනෙක් බිස්නස් වලට අතනොගහ පාඩුවේ රැකියාවක් කරගෙන ඉන්න කැමති හේතු, එහෙමත් නැත්තම් බිස්නස් එකකට වඩා රැකියාවක් කරන එකේ වාසි මොනවද කියල බලමුකෝ එහෙනම්. 

 

1. ස්ථිර අදායමක් 

බිස්නස් එකක් හෝ රැකියාවක් කියන ඕනම දේකින් අපි මූලිකවම බලාපොරොත්තු වෙන්නෙ ආදායමනේ. ඉතින් සාපේක්ෂව බැලුවහම මේ කාරණයේදී බිස්නස් එකකට වඩා රැකියාවක ආදායම ස්ථිරයි. බිස්නස් එකක් කරද්දි ලැබෙන ලාභය රැකියාවක මාසික වැටුපට වඩා වැඩිවෙන්න පුළුවන් හුඟක් වෙලාවට. ඒත් බිස්නස් කියන්නෙ හැමදාම ලාභ ලැබෙන දේවල්ම නෙමෙයි. ලාභ වගේම පාඩුත් බලාපොරොත්තු වෙන්නම ඕන. හැබැයි ඉතින් රැකියාවක ඒ අවදානම නැහැ. ආයතනයට පාඩුයි කියල වැඩකරන මිනිස්සුන්ගේ පඩි නොගෙවා ඉන්නෙ නැහැනේ. ඒ නිසා බය නැතුව මාසෙ ආදායමෙන් කරන වැඩ ටික කල් ඇතුවම ප්ලෑන් කරල තියාගන්න පුළුවන්.

 

2. ආපදා කාලවලදී පවා නොවෙනස් ආදායමක්

අනිත් ලොකුම වාසිය තමයි අපි මේ ගත කරනව වගේ අසීරු කාලවලදී ලැබෙන වාසිය. ඒ කියන්නෙ මෙන්න මෙහෙමයි. දැන් මේ කොරෝනා කියන වසංගතය ලෝකය පුරාම පැතිරීමත් එක්ක ලෝකේ රටවල් වල එදිනෙදා කටයුතු එහෙම් පිටින්ම අඩාල වෙලානෙ. ඒ වගේම ලෝකය පුරාම ව්‍යාපාර හුඟක් මේ බලපෑමට ලක්වෙලා. ඉතින් තමන්ගේම කියල බිස්නස් එකක් කරගෙන ජීවත් උන හුඟක් අයට එදාවේලවත් නැති තරමට අසරණ වෙනව අපි හැමෝම දැක්ක මේ කාලෙදි. ඒත් රැකියාවන් කරපු හුඟක් අයට සුපුරුදු පරිදි වැටුප් ලැබුණා. පොඩි පොඩි අඩුවීම් උනත් එදිනෙදා ජීවිතේට ලොකු බලපෑමක් නොවෙන්න මාසික ආදායම එයාලගෙ අතට ලැබුණා. 

මේ වගේම තමයි තමන්ට පෞද්ගලිකව කරදරයක් වුන වෙලාවක උනත්. ඒ කියන්නෙ හදිසි අනතුරක්, එක්කෝ ලෙඩක් වගේ දෙයක් වෙලා මාසයක් දෙකක් එකතැන ඉන්න උනත් රැකියාවක නිවාඩු අනුමත කරවගෙන වැටුප හෝ අඩුමගානෙ වැටුපෙන් කොටසක් හරි ගන්න පුළුවන් කමක් තියෙනවා. ඒත් බිස්නස් නම් ඉතින් ආයේ දෙපයින් නැගිටලා තමන්ම පටන් ගන්නකං ආදායමක් නැහැනේ.

 

3. හිතේ නිදහස

ඔක්කොටම වඩා ඉහළයිනෙ මේ හිතේ නිදහස. අපි කාට උනත් වැඩියෙන්ම වටින්නෙත් ඒකනේ. හැබැයි ඉතින් බිස්නස් එකක් කරනකොට මේ හිතේ නිදහසනම් තියෙන්නෙ හුඟක් ඈතක. උදේ වැඩට ගිහිල්ල හවසට ගෙදර ඇවිල්ල, නාල, කාල සැහැල්ලුවෙන් ඉන්නව වගේ නැහැ. නින්දට ගියත් හිතේ තියෙන්නෙ බිස්නස් එකේ වැඩ ගැනයි. හෙට වෙන දේවල් ගැන, අද උන දේවල් ගැන නින්දට යනකන්ම හිතන්න ඕන. එහෙම නැතුව සැපට නින්ද ගියෝතින් හෙට එළිවෙද්දි මොනව වෙලා තියෙයිද දන්නෙ නැහැනේ. ඒ නිසා හිතේ නිදහස ගැන හිතන කෙනෙක්ටනම් බිස්නස් වලට වඩා හරියටම හරියන්නෙ පාඩුවෙ කරගෙන ඉන්න පුළුවන් රැකියාවක් තමයි.

 

4. සුදුසුකම් වලට වටිනාකමක්

තමන්ගෙ බිස්නස් එකක් කරනව කියන්නෙ මොන මට්ටමේ සුදුසුකමක්, ඒ කිව්වෙ ඉහළටම ඉගනගෙන ආචාර්ය උපාධියක් අරගෙන තිබුනත් ඉතින් මුල ඉඳල කට්ට කන්න ඕන. ඩ්‍රයිවර්ගෙ, ක්ලීනර්ගෙ වැඩේ ඉඳලා CEO ගෙ වැඩේ වෙනකන්ම අවශ්‍ය අවස්ථාවකදී තමන්ටම කරගන්න පුළුවන් වෙන්න ඕන. බිස්නස් එක ගොඩදාගන්න ඕනම කට්ටක් කන්න පුළුවන් වෙන්න ඕන. ඉතින් එහෙම අකමැති අයටත් හරිම අමාරුයි බිස්නස් එක්ක වෙනුවෙන් කැපවෙන්න. එයාලට හරියන්නෙ සුදුසුකමට ගැලපෙන රැකියාවක් තමයි. ඒ ඒ සුදුසුකම් වලට ගැලපෙන අදාළ වැඩේ විතරක් කරල වැටුප අරන් ගෙදර එන්න පුළුවන්නේ එතකොට

 

5. වැඩිදුර අධ්‍යාපනය

බිස්නස් එකක් කරනකොට ඉගෙන ගන්න බැහැ කියලනම් නෙමෙයි මේ කියන්නෙ. ඔය දෙකම ලස්සනට බැලන්ස් කරගෙන ඉන්න අය ඕනතරම් මේ සමාජයේ ඉන්නව. ඒත් බිස්නස් එකක් කරද්දී ඉගෙනගන්න ඕන කියන උවමනාව දැනෙනවා අඩුයි. ඒකට කැප කරන්න ලැබෙන කාලයත් අඩුයි. එතකොට මුළු කාලයම, මහන්සියම වෙන් වෙන්නේ බිස්නස් එකේ එක අඩියක් හරි උඩට යන්න. හැබැයි රැකියාවක් කරනකොට මේක සම්පූර්ණයෙන්ම වෙනස්. මොකද ඉගෙන ගන්න තරමට තමයි රැකියාවේ ඉහලට ගිහිල්ල වැඩි ආදායමක් ලබාගන්න පුළුවන් වෙන්නෙ. ඒ නිසා ඒ ගැන ඇතිවෙන උනන්දුව වැඩියි. අධ්‍යාපනය කියන්නෙ ජීවිතේට ලොකු වටිනාකමක් නිසා රැකියාවකින් ලැබෙන මේ වාසියඉනම් මිල කරන්න බැරි තරම්.

 

6. සමාජ ඇසුර 

සමාජ ඇසුර කියන්නෙ කොයි දේ කළත් ලැබෙන දෙයක් තමයි. මොකද බිස්නස් එකක් කළත් එලියට පහලියට බැහැල මිනිස්සු එක්ක ගනුදෙනු කරන්න වෙනවනේ. සාපේක්ෂව රැකියාවකටත් වඩා එදිනෙදා මුණගැහෙන මිනිස්සු ප්‍රමාණය සංඛ්‍යාත්මකව වැඩිවෙන්න පුළුවන් ව්‍යාපාරයක් කරනකොට. හැබැයි මේ කියන්න යන්නෙ ඒ ආශ්‍රය කරන්න ලැබෙන පිරිස ගැනයි. බිස්නස් එකකදී මුණගැහෙන මිනිස්සුන්ට වඩා professionals ලා, ඒ කියන්නෙ වෘත්තීය මට්ටමේ මිනිස්සු දැන හඳුනාගන්න තියෙන ඉඩකඩ වැඩියි රැකියාවක් කරන කෙනෙකුට. වෘත්තීය මට්ටමේ පිරිස ආශ්‍රය කරනකොට ජීවිතේට එක එක වටිනාකම් එකතු කරගන්න, ඔවුන්ගෙන් පාඩම් ඉගෙන ගන්න පුළුවන් නිසා මේකත් ලොකු වාසියක්.

 

7. පිළිගැනීම

බිස්නස් එකක් පිළිගන්නා තත්ත්වයට එන්නනම් ඉතින් හොඳ ලාභ ලබන, ටිකක් හරි ප්‍රසිද්ධ එකක් වෙන්නම ඕන. නැත්තම් බිස්නස් කිව්වම වැඩිදෙනෙක් ගණන් ගන්නෙම නැති තරම්. හැබැයි රැකියාවක් කරන කෙනෙකුට සාපේක්ෂව සමාජයේ ලැබෙන පිළිගැනීම වැඩියි. ඔන්න ඕකත් ලොකුම හේතුවක් තරුණ තරුණියෝ බිස්නස් කරන්න නොහිතා රැකියා හොයන්න පෙළඹෙන්න. මොකද සමාජයෙන් ලැබෙන පිළිගැනීම අපේ මානසික අවශ්‍යතාවල ඉහළින්ම තියෙන දෙයක්නේ.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *