ආදර සම්බන්ධයක් කියන්නේ පොතක පාඩම් කරලා ඒ විධියටම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක විවිධ පුද්ගලයන් අනුව, ඒ දෙදෙනාගේ ගැලපීම අනුව වෙනස්ම විධියකටයි සිදු වෙන්නේ…කියලා හිතුවොත් ඒක සුරංගනා කතා පොත්වල තිබුණු ලව් වලට විතරක් ගැලපේවි. ඔය කවුරු කිව්වත් අපි හරි වෙනස්, අපේ කතාව වෙනස් කියලා ඔය හැම එකක්ම එක විධියමයි. හැබැයි පිටට පෙන්වන විධිය චුට්ටක් වෙනස් වෙන්න පුළුවන්. කොහොම හරි, අපි බලමු ඔහොම ලස්සනට යන ලව් එකක් ඒ දෙන්නාගේම වැරදි නිසා අවුල් යන්න බලපාන්න පුළුවන් සිතුවිලි මොනවාද කියලා.
1. එයා මට ආදරේද දන්නේ නෑ

Source – Pxhere.com
චුවිංගම් එකක් ටිකක් වෙලා හපද්දි අපිට දැනෙන්නේ කොහොමද? කටට දාගත්ත ගමන් මාර රසයි. ටිකක් හපද්දි රහ අඩු වෙනවා. ඊට පස්සෙ රබර් කෑල්ල හප හපා ඉන්නවා. වැඩි වෙලා නොගිහින් ඒකත් එපා වෙනවා. ලව් එකත් ඔය වගේ. මුලින් පටන් ගත්ත ආතල් එකම පහු කාලෙදිත් බලාපොරොත්තු වෙන්න ගියාම ප්‍රශ්න වැඩි වෙනවා. මුල් කාලයේ ගොඩාක් ළඟින් ඉඳලා පහු කාලයක් වෙද්දි වගකීම් වැඩිවීම්, අනෙකුත් ප්‍රශ්න ආදිය නිසා දෙන්නාට ළඟින් එන්න තියෙන කාලය අඩු වුණාම දෙන්නාගෙන් එක්කෙනෙක්ට හරි “මෙයා මේ මාත් එක්ක ඉන්නේ නැත්තේ මාව එපාවෙලාද?” කියලා හිතුණොත් ඒක යන්න පුළුවන් දුර සහ ඒකෙන් ඇති වෙන්න පුළුවන් නරක ප්‍රතිඵල මෙතෙකැයි කියන්නට බැහැ. වෙලාව අඩුවීමට හේතුව ජීවිතේ අනෙකුත් වගකීම් බව තේරුම් ගන්න. එයත් එක්ක ඒ ගැන කතා කරන්න. තනියෙන් හිතලා තීරණ ගන්නවත්, නොකියා තීන්දුවලට එළඹෙන්නත් එපා. “ඔයා මට ආදරේද?” කියලා නිතර නිතර අහන්න යන්නත් එපා.
2. එයාට මම හිතන දේ තේරෙන්නේ නෑනේ

Source – trashlab
ඔව් ඉතින්. පරචිත්ථවිජාණන ඥාණය තියෙන කෙනෙක් බැන්දා නම් ඒක කරගන්න තිබුණා. එතකොට ඉතින් බමුණෙක් එක්ක කැලේ ඉන්න තමයි වෙන්නේ. අපි මොන මොන හීන ලෝකවල ජීවත් වුණත් පෘථිවිය කියන ලෝකයේ තියෙන ප්‍රධානම සන්නිවේදන මාධ්‍යය, අදහස් හුවමාරු කරගැනීමේ ක්‍රමවේදය කතාබහ කිරීමයි. ඉස්සර කාලෙට වඩා දැන් තවත් ලේසියි මැසේජ් තියෙන නිසා. හිතේ මොනා හරි බලාපොරොත්තුවක් තියාගෙන ඒක අරයාට තේරේවිද දන්නෑ කියලා දුක් වෙවී ඉන්නවා වෙනුවට ලැජ්ජයි නම් අඩු තරමේ ඒක වටින් ගොඩින් හරි තේරෙන විධියටවත් එයාට කියන්න. වහන්සේට එහෙම තේරෙන්නෙත් නැත්නම් ඉතින් කෙලින්ම කියන්නත් වෙන වෙලාවල් තියෙන්න පුළුවන්. හැබැයි තේරිලා නොතේරෙනවා වගේ ඉන්නෙත් ඒක කරන්න තියෙන අපහසුකමක් නිසා වෙන්න ඇති. ඒක එහෙමද කියලාත් කෙලින්, ෂේප් එකේ අහන්න. මොකද ඔය තමන් එක්ක ජීවිත කාලෙම ඉන්න කෙනානේ. එයා එක්ක නොකිය හිතේ තියාගෙන විඳව විඳව ඉන්නේ මොකටද?
3. ඕනවට වඩා හිතන එක

Source – talkroute.com
“මම ඔයා ගැනමයි දවස තිස්සේම හිතන්නේ” කියලා හිටං එයා මේ වෙලාවෙ ඔෆිස් එකේ කාත් එක්ක හරි කයියක් ගහගෙන ඇති, බස් එකේ එද්දිත් චැට දාගෙන එන්න කෙනෙක් ඉන්නවද දන්නෙ නෑ, එයා ළඟින් වෙනස් සුවඳක් ආවේ වෙන කෙනෙක් ළඟ හිටපු නිසාද, ෂර්ට් එකේ කෙස් ගහක්වත් නැත්තේ තට්ටෙ තියෙන කෙනෙක් එක්ක යාළු වෙලාවත්ද කියලා දාහක් විකාර හිතෙනවා නම් අපරාධ පරීක්ෂණය කරන්න FBI එකට බැඳෙන එකයි හොඳ. ආදරයේ ප්‍රධානම පුරුක තමයි විශ්වාසය කියන්නේ. ඔබ දෙන්නා අතර විශ්වාසය චුට්ටක් හරි අඩු බව දැනගත්තොත් වටේ පිටේ ඕන තරම් අය ඉන්නවා ඒකට පිදුරු දාලා ‘බල්ලා පිදුරු කන්නෙත් නෑ කන ගොනාට දෙන්නෙත් නෑ’ නාඩගම නටන්න. ඉතින් ඔය පිට ඉන්න අයට තමන්ගෙ ලව් එකට ආවඩන්න ඉඩ දෙන්නේ නැතුව, මොනාහරි අනවශ්‍ය සැකයක් ආවොත් හරි වෙනත් කෙනෙක් විශබීජයක් දාලා හිතන්න සැලැස්සුවොත් හරි බුද්ධිමත්ව, සූක්ෂ්මව කටයුතු කරන්න අමතක කරන්න එපා. මොකද, බොරු චෝදනාවක් කරලා එයාගෙ හිත රිද්දුවොත් නරක කෙනෙක් නම් කොහොමත් බැණුම් අහනවනේ කියලා ඒ වැරැද්ද කරයි. හොඳ කෙනෙක් නම් ඔයාට ඒ කියපු වචනෙට සමාවක් තමන්ටම දීගන්න කවදාවත් බැරි වේවි. හීනෙන් දැක්ක එකකට එයත් එක්ක ඇත්තට හම්බුණාම තරහා හිතිලා තියෙනවාද?
4. බලාපොරොත්තු අඩු කරගන්න

Source – videoblocks.com
අද එයා එද්දි මට තෑග්ගක් ගේනවා නම් හොඳයි, ඒ තෑග්ග මේ තරම් ලොකු එකක් නම් මරු, ඒ තෑග්ග එක්ක හඳේ කෑල්ලකුත් තිබ්බා නම් ෂෝක් කියලා ජීවිතේට වෙන්නේ නැති බලාපොරොත්තු හිතේ පොදි බැඳගෙන ඉඳලා අර මනුස්සයා අත් දෙක වන වන එද්දි අන්තිමට වෙන්නේ බුම්මගෙන දුක් විඳින්නයි. එයා මොකක්ද මේ වුණේ කියලාවත් දන්නේ නැතුව ඊට පස්සේ වෙනමම මොකක් හරි හිතාගෙන ලව් එක දෙල් කරගන්නවා. ඒ නිසා නොවෙන දේවල් ගැන හිතලා අනාගතේ ගැන හීන මවලා හීන ලෝකෙක ජීවත් වෙලා දුක් විඳිනවට වඩා පොළොවෙ පය ගහලා ඉඳගෙන මේ තියෙන දේවල් ගැන කල්පනාවෙන් ජීවත් වෙන එකයි හොඳ. එතකොට හදිසියේම හම්බවෙන තෑගි, සිද්ධ වෙන සිද්ධි ගැන සිරාවටම සතුටු වෙන්න, පුදුම වෙන්න පුළුවන්. එහෙම නැතුව මෙහෙම කරයි කියලා හිතාගෙන ඉඳලා ඒක එහෙමම වුණාම කිසි ගතියක් නෑ. ඇයි ඉතින් හිතාගෙනම හිටියානේ. එතකොට ඉතින් ජීවිතේ හරියට නවකතාවක් වගේ. කලින්ම ලියපු දෙයක් ආයෙ කියවනවා වගේ. එහෙම නැතුව ඔබේ කතාවට ඉබේ ලියවෙන්න ඉඩ දෙන්න.
5. සංසන්දනය කරන්න යන්න එපා

Source – Womanshealth.com
අහවල් කපල් එක මෙහෙමයි, අනේ එයාලා නම් අරෙහෙ යනවා මෙහෙ යනවා, අපි තමයි මොනවත් නැත්තේ කියලා වගේම මගේ කලින් කෙනා නම් මෙහෙමයි මෙයා එහෙම නෑ වගේ කියලා එක එක අය එක්ක තමන්ගේ බැඳීම සංසන්දනය කරන්න යන්න එපා. ලෝකය විවිධාකාරයි, මිනිස්සු ගෝලාකාරයි කියලා ධාතුසේන රජ්ජුරුවො නෙළුම් පොකුණෙදි කියපු කතාව සිහිපත් කරගෙන තියෙන දේවල් වලින් ජීවිතය විඳින්න. මෙහෙම හිතන්නකෝ. ඔන්න කෙනෙක් ඉන්නවා එයා අන්නාසි කන්න ආස නැහැ. ඒ නිසා එයා අන්නාසි දාපු ෆෘට් සැලඩ් එක්ක දෙන රසම රස අයිස්ක්‍රීම් දන්සැලට නොයා ඊට එහා පැත්තේ රටකජු දන්සලට ගිහින් පොඩි, රහ නැති ගොට්ටක් ගන්නවා. ඕක බලාගෙන ඉන්න අපි, අපිත් එක්ක එයාව සංසන්දනය කරනවා. රස ෆෘට් සැලඩ් එක නොකා රටකජු හපන එකා මෝඩයෙක් කියලා හිතනවා. ඒත් ඒ කෙනාට එහෙම දැනෙනවාද? නෑ. එයා බොහොම සතුටෙන් ඒ රටකජු ගොට්ට කන්නේ. ඉතින් ඔයත් ඔය හම්බවුණ, අතේ තියෙන රටකජු ගොට්ට ආසාවෙන් කන්න. දුර තියෙන, නොලැබුණ හෝ දැන් නැති ෆෘට් සැලඩ් එකට වඩා ළඟ තියෙන එකේ පොතු හැපුණත් සැපයි. මොකද අන්තිමට බඩගිනි නිවලා හිතට සැනසීම දුන්නේ ඒක විතරයි.
Cover Image Source – madailylife.com / blogoftheworld.com
Leave a Reply