ලෝකය විස්මයට පත් කළ ඉන්දීය සිංහාසන

රාජ්‍යත්වයේ එක් සංකේතයක් විදිහට සිංහාසනය සලකන්න පුළුවන්. මහනුවර රාජධානි සමයේ සිංහාසනය අද වෙනකොට අපේ කෞතුකාගාරයේ දකින්න ලැබෙනවා. ඒ වගේම සීගිරිය, පොලොන්නරුව රාජ සභා මණ්ඩපය වගේ තැන්වලදී ගලින් කරපු සිංහාසන දකින්න ලැබෙනවා. අද කතා කරන්න යන්නේ අපේ අසල්වැසි ඉන්දියාවේ විවිධ රාජ්‍ය වල පැවැති සිංහාසන පිළිබඳව.

 

1. මොණර සිංහාසනය 

මෝගල් අධිරාජ්‍ය ෂාජහාන් විසින් නිර්මාණය කරන ලද තටු විදහාගත් මොණරෙකුගේ හැඩය ගත් මෙම සුප්‍රකට සිංහාසනය සඳහා ටාජ් මහල සඳහා වැය කළ මුදල මෙන් දෙගුණයක් වැයවූ බව කියවෙනවා. මේ සඳහා කිලෝ ග්‍රෑම් 1150කට ආසන්න ප්‍රමාණයක රත්තරන් සහ කිලෝ ග්‍රෑම් 230ක් පමණ බර විවිධ වර්ගයේ මැණික් භාවිතා කර තිබෙනවා. දිල්ලිය ආක්‍රමණය කළ නදීර් ෂා විසින් මෙම සිංහාසනය පර්සියාවට ගෙන ගොස්, කොටස්වලට වෙන් කර නවතම  මොණර සිංහාසනයක් තැනීමට කටයුතු කර තිබෙනවා. වර්තමානයේ එය ඉරානයේ මහ බැංකුවේ වත්කමක් ලෙස  සංරක්ෂණය වනවා.

 

2. මයිසූරයේ ස්වර්ණමය සිංහාසනය

වර්තමානය වන විට මයිසූර් රාජ මාළිගාවේ ප්‍රධාන රාජසභා මණ්ඩපයේ තබා ඇති මෙම අනර්ඝ නිර්මාණය ලීයෙන් තනා, ඇත් දළවලින් සහ රත්රන් වලින් අලංකාර කොට තිබෙනවා. මෙම සිංහාසනය වටා විවිධ ජනප්‍රවාද ගෙතී ඇති අතර එක් ජනප්‍රවාදයකට අනුව මහා භාරතයේ එන පාණ්ඩව රජ දරුවන්ගේ සිංහාසනය මෙයයි. සියවස් ගණනාවක් පුරා සඟවා තැබූ මෙම සිංහාසනය විජයනගර් අධිරාජ්‍යයේ සමාරම්භකයා වන පළමුවැනි හරිහර වෙත ලැබී තිබෙනවා.

 

3. ටක්ට් – ඊ – නිශාන්

හයිද්‍රාබාදයේ නිසාම්වරුන් විසින් භාවිතා කළ සිංහාසනය අදටත් චෞමහල්ලා මාළිගය තුළ දකින්නට ලැබෙනවා. සාමාන්‍යයෙන් මිල අධික ආභරණ පැළඳීමට රුචිකත්වයක් දැක්වූ නිසාම්වරුන්ගේ සිංහාසනය සරල එකක් වීම එක්තරා දුරකට පුදුමයකට කරුණක්. කිරිගරුඬින් පමණක් නිමවා ඇති මෙම සිංහාසනය අලංකාර කිරීමට මැණික් හෝ රත්රන් භාවිතා කොට නැහැ.

 

4. රන්ජිත් සිං මහරාජාවරයාගේ සිංහාසනය 

සීක් අධිරාජ්‍යයේ අනභිභවනීය පාලකයා වූ රන්ජිත් සිං මහරාජාගේ  සිංහාසනය අද වන විට දකින්නට ඇත්තේ එංගලන්තයේ වික්ටෝරියා සහ ඇල්බර්ට් කෞතුකාගාරයේදීයි. රංජිත් සිංගේ පාලන කාලයෙන් පසුව පංජාබය ආක්‍රමණය කළ ඉංග්‍රීසීන් කොහිනූර් දියමන්තිය ඇතුළුව පංජාබ රජවරුන්ගේ සියළු වස්තුව කොල්ලකනු ලැබුවා. ඇතැම් ආභරණ ආදිය වෙන්දේසියේ දැමීමට ඔවුන් කටයුතු කළත්, සිංහාසනයේ තිබූ විශිෂ්ටත්වය නිසා එය එංගලන්තයට යැවීමට ඔවුන් තීරණය කරනු ලැබුවා.

 

5. ටක්ට් – ඊ – ජහන්ගීර්

ජහන්ගීර් අධිරාජයා විසින් භාවිතා කරනු ලැබූ සිංහාසනය රතු බලකොටුවේ දකින්නට ලැබෙනවා. සාමාන්‍යයෙන් සිංහාසනයක් කියූ සැනින් අපට මතක් වන්නේ රත්රන් සහ මුතු මැණික් වලින් අලංකාර කරනු ලැබූ ආසනයක්. නමුත් මෙම සිංහාසනය ගලින් කරන ලද ලෑල්ලක් වැනි ආසනයක්. මුල් කාලයේදී අලහබාද් නගරයේ ස්ථාපනය කර තිබූ මෙම සිංහාසනය මෝගල් අධිරාජ්‍යයේ අගනුවර අග්‍රාවට මාරු වීමෙන් පසුව  යමුනා ගඟට මුහුණලා සිටින පරිදි ප්‍රතිස්ථාපනය කරනු ලැබුවා. මෙම සිංහාසනයේ කොටා ඇති ලිපියක් අනුව  එය වටා සීනු හැටක් එල්ලා තිබී ඇති අතර ඕනෑම අයෙක්ට එම සීනු හැඬවීම මගින් රාජ සභාවෙන් යුක්තිය ඉටුකරගැනීමේ හැකියාව ලැබී තිබෙනවා.

 

6. ව්‍යාඝ්‍ර සිංහාසනය 

මයිසෝරයේ ටීපු සුල්තාන්වරයාගේ අෂ්ටාස්‍රයක හැඩයගත්  සිංහාසනයේ තිබූ අලංකාරත්වය පිළිබඳව සමකාලීන වාර්තාවල ඉතා ඉහළින් වර්ණනාවට පාත්‍ර වනවා. ලීයෙන් කර තිබූ මේ සිංහාසනය රත්තරන් සහ විවිධ මැණික් ආදියෙන් අලංකාර කොට තිබී ඇති බව මේ වාර්තා තවදුරටත් සඳහන් කරනවා. බ්‍රිතාන්‍යයන් සමඟ සිදුවූ සටන්වලින් ලද පරාජයෙන් පසුව එම සොල්දාදුවන් ටීපු සුල්තාන්වරයා ගේ රජ මාළිගාව කොල්ලකෑම ආරම්භ කරනු ලැබුවා. ඔවුන් විසින් මෙම කලා නිර්මාණය කොටස් කොට විකුණා දමා තිබෙනවා.

 

7. ට්‍රැවන්කෝරයේ ඇත් දළ සිංහාසනය 

ඇත් දළ වෙළඳාම ට්‍රැවන්කෝරයට ආදායම ගෙන එන ප්‍රධාන මාර්ගයක් බවට පත්ව තිබුණා. මේ නිසාම මර්තණ්ඩ වර්මා රජ විසින් ඇත් දළ සිංහාසනයක් තම පරිහරණය සඳහා නිර්මාණය කරනු ලැබුවා. එම සිංහාසනය නිර්මාණය කිරීම සඳහා යුරෝපා තාක්ෂණය භාවිත කෙරුණත් බාහිර අලංකාරය සඳහා සමකාලීන සහ සාම්ප්‍රදායික ඉන්දීය කලා නිර්මාණ භාවිතා කෙරුණා. කෙසේ වෙතත් 1851 දී වර්මා විසින් එම සිංහාසනය වික්ටෝරියා රැජිනට ත්‍යාගයක් ලෙස පිරිනැමීමට කටයුතු කළා. මේ නිසා අද දක්වාම මෙම සිංහාසනය බ්‍රිතාන්‍ය රජ පවුලේ උරුමයක්ව පවතිනවා.

 

එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ආටිකල් එක ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *