සිරිලක පළමු ජනපති විලියම් ගොපල්ලව

එතෙක් මෙතෙක් ලංකාවේ ජනාධිපති ධූරය හොබවනු ලැබූ පිරිස් අතරින් ගෞරවනීයම චරිතය මොකක්ද කියලා කාගෙන් හරි ඇහුවොත් උත්තරය විදිහට ලැබෙන්න ඕන විලියම් ගොපල්ලව කියන නම. හැබැයි අපේ බොහෝ දෙනෙක්ට මෙතුමාගේ නම අද වෙනකොට අමතක වෙලා ගිහිල්ලා තියෙනවා. එතුමා ලංකාවේ විධායක නොවන පළමු ජනාධිපතිවරයා වීමත් ඒකට එක හේතුවක් වෙන්න පුළුවන්. කොහොම වුනත් අපි අද උත්සාහ කරන්නේ ලංකාවේ පළමු ජනාධිපතිවරයා පිළිබඳව කෙටි සටහනකින් ඔබව දැනුවත් කරන්න.

 

1. උපත හා ළමා කාලය

1896 සැප්තැම්බර් මස 17 දා  මාතලේට නොදුරු අලුවිහාරේ දුල්ලෑව මහා වලව්වේදී ටිකිරි බණ්ඩා ගොපල්ලව සහ ටිකිරි කුමාරිහාමි දුල්ලෑවේ යන මව්පිය දෙපළට දාව උපන් විලියම් ගොපල්ලව  කුඩා කල පටන් අතිශය ප්‍රියමනාප දරුවෙක් වුණා. වසර තුනේ දී  ඔහුට පියා අහිමිවූ අතර එතැන් පටන් ඔහුගේ ජීවිතයේ ප්‍රධාන භූමිකාවක් මව විසින් ඉටු කරනු ලැබුවා.

ගමේ පන්සල වූ කපුකොටුව පන්සලේ ලොකු හාමුදුරුවෝ විසින් අකුරු කියවන ලැබූ කුඩා විලියම් ගොපල්ලව, මුල් කාලයේදී අධ්‍යාපනය ලැබුවේ සිය වලව්ව ඉදිරිපිට පිහිටා තිබූ දූල්ලෑව පාසලෙන්. ඉන්පසුව මහනුවර ගැටඹේ ක්‍රිස්තියානි පාසලින් සහ මහනුවර ධර්මරාජ විද්‍යාලයෙත් අධ්‍යාපනය ලැබූ ගොපල්ලව ක්‍රේම්බ්‍රිජ් සීනියර් විභාගය සඳහා පෙනී සිටීමට ශාන්ත අන්තෝනි විද්‍යාලයට ඇතුළත් වුණා.

 

2. ගුරු ජීවිතය

සිය අධ්‍යාපනයෙ නිම කිරීමෙන් පසුව මාතලේ බෞද්ධ පාසලේ ගුරුවරයෙකු ලෙස තම පළමු රැකියාව ආරම්භ කළ ඔහු එම සේවාව සම්පූර්ණයෙන්ම සිදු කළේ නොමිලේයි. එසේම තම පෞද්ගලික වියදමින් පාසලේ පුස්තකාලයක් ආරම්භ කළ එතුමා විසින් බාලදක්ෂ කණ්ඩායමක් ඇති කිරීමටත් ප්‍රමුඛත්වය ගෙන කටයුතු කළා. මේ කාලයේදී එතුමා තම සමාජ සේවා කටයුතු ආරම්භ කිරීමට පටන් ගත්තා. ඒ සඳහා  සමාජ සේවා සංගමයක් පිහිටුවීමට කටයුතු කොට මාතලේ ප්‍රදේශය සඳහා යම් සාධනීය වැඩ කොටසක් ඉටු කිරීමට එතුමා සමත් වුණා.

 

3. නීතිඥ වෘත්තිය සහ දේශපාලනයේ මූලික අදියර 

ගුරුවරයෙකු ලෙස කටයුතු කරන කාලය අතරතුර අතර නීතිඥ විභාගය සඳහා පෙනී සිටි ඔහු නීතිඥයකු බවට පත්වීමෙන් අනතුරුව තම සමාජ සේවා කටයුතු ඉදිරියට ගෙන යෑම සඳහා දේශපාලනයට පිවිසීමට කටයුතු කළා. මාතලේ දකුණු කොටස සඳහා මාතලේ නගර සභාව සඳහා තරග වැදුණු ඔහු පහසු ජයග්‍රහණයක් අත්පත් කරගත්තා. පසුව නගර සභාවේ සභාපති ධූරය පුරප්පාඩු වීමෙන් පසුව එම තනතුර සඳහා ඔහු පත්වුණා. එයත් සමඟම ලංකාවේ ලාබාලතම නගර සභා සභාපතිවරයා වීමේ වාර්තාව ඔහුට හිමිවුණා.

 

4. ජාතික මට්ටමේ දේශපාලනය

1936 දී රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයේදී මාතලේ ආසනය සඳහා ගොපල්ලව මහතා තරඟ කළත් ඔහුගේ ඥාතියෙකු වූ රිචඩ් අලුවිහාරේ මහතාට පරාජයට පත්වුණා. ඉන්පසුව සක්‍රීය දේශපාලනය සමුදුන් ඒ මහතා 1939 දී මහනුවර නාගරික කොමසාරිස් ධූරය සඳහා ඉල්ලුම් කොට එම තනතුරේ වැඩ බාර ගත්තා. පසුව 1951දී කොළඹ නාගරික කොමසාරිස් බවට පත්වුණා. 1958 දී චීනයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස පත්වීම් ලැබූ ගොපල්ලව මහතා ව 1961 දී ඇමරිකා එක්සත් ජනපදයේ තානාපතිවරයා ලෙස පත් කරනු ලැබුවා.

 

5. අග්‍රාණ්ඩුකාර තනතුර

1962 සිදුවූ  හමුදා කුමන්ත්‍රණයේ ප්‍රතිඵලයක් ලෙස එතෙක් ලංකාවේ අග්‍රාණ්ඩුකාර ධුරයේ කටයුතු කළ ඔලිවර් ගුණතිලක මහතාව එම ධූරයෙන් පහ කිරීමට සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය තීරණය කරනු ලැබුවා. ඒ අනුව  එම තනතුර සඳහා විලියම් ගොපල්ලව මහතාව පත් කිරීමට ඇය කටයුතු කළ අතර එතුමාගේ මහත්මා ස්වභාවය දැන සිටි විපක්ෂය පවා එයට විරෝධතාවයන් පළ කළේ නැහැ. 1965 දී ඩඩ්ලි සේනානායක රජය බලයට පත්වුවත් අග්‍රාණ්ඩුකාර තනතුරේ වෙනසක් කිරීමට ඔවුන් සිතුවේ නැහැ.

 

6. සිරිලක පළමු ජනපති 

1970 දී යළි බලයට පත් වූ  සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ප්‍රමුඛ සමගි පෙරමුණු රජය 1972 මැයි 22 වැනිදා ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත් කරනු ලැබුවා. ඒ අනුව ලංකාවේ පළමු ජනාධිපතිවරයා ලෙස විලියම් ගොපල්ලව මහතා පත් කරනු ලැබූ අතර ධුර කාල දෙකක් සඳහා එතුමාගේ සේවා කාලය රජය විසින් දීර්ඝ කරනු ලැබුවා. 1977 බල පෙරළියෙන් පසුව එක්සත් ජාතික පක්ෂ රජය විධායක ජනාධිපති ක්‍රමයක් රට තුළ ආරම්භ කළ අතර  එහි ප්‍රතිඵලය වූයේ විලියම් ගොපල්ලව මහතා විශ්‍රාම ගැනීමයි. නමුත් එතුමාගේ අපක්ෂපාතී සේවාව අගය කළ එක්සත් ජාතික පක්ෂ රජය එතුමා වෙනුවෙන් විශ්‍රාම වැටුපක් ගෙවීමට යෝජනා කරනු ලැබුවා.

දරුවන් හතර දෙනෙකුගේ පියෙකු වූ එතුමාගේ ජීවිතයේ සෙවනැල්ල බඳුවූ සීලවතී ගොපල්ලව ආර්යාව 1978 ඔක්තෝබර් මස 4 වන දා අභාවප්‍රාප්ත වූ අතර 1988 සැප්තැම්බර් මස 17 වන දින විලියම් ගොපල්ලව මහතා මෙලොව හැර ගියා. 

 

එහෙම නම් ඉතින් වෙනදා වගේම මේ ආටිකල් එක ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *