හොඳ සමාජයක් හැදෙන්න මාධ්‍ය වලට ලොකු මෙහෙවරක් කරන්න පුළුවන්. අපේ රටේ නම් විශ්ලේෂණාත්මක මාධ්‍යවේදීන් නොමැති තරම්. අපේ මාධ්‍යවල බොහෝවිට දේශපාලකයින්, නිලධාරීන් කියන මතුපිට කරුණු පමණක් වාර්තා කරනවා. ඒ කරුණු වල ඇත්ත නැත්ත, ඒ දේවල් ගැන සොයා බැලීමක් වෙන්නේ නැති තරම්. ලීක්ස් කියන්නේ මාධ්‍ය වලට හොඳ ඉල්ලමක්. ඒ හරහා නව මානවල තොරතුරු සොයා යන්න, ඒවා මහජනයාට දෙන්න මාධ්‍යවේදීන්ට අවස්ථාව හම්බ වෙනවා. ඒ විදිහට අමරිකාවේ සිද්ද වෙච්චි ලොකු ලොකු එළිදරව් කිරීම් සිදු කළ ලීක්ස් මොනාද කියල අපි ටිකක් සොයා බලමු.
1. විකිලීක්ස් ලොග්ස්
විකිලීක්ස් හරහා ඉන්ටනෙට් මූලික වූ විශාල රහස් දත්ත ප්‍රමාණයක් ලෝකයට එළිදරව් කළා. ඒ අතර අමරිකාව ඉරාකේදී කළ කී දෑ ඇතුළත් දත්ත ගොනු 391,832ක් අන්තර්ජාලයට මුදා හැරලා තිබුනා. ඒ වගේම තවත් ගොනු 77,000ක් හරහා අමරිකාව ඇෆ්ඝනිස්තාන යුද්ධයේදී කළ කී දෑ එළිදරව් කරන්නට විකිලීක්ස් කටයුතු කළා. විකිලීක්ස් නිර්මාතෘ ජුලියන් අසාන්ජ්, ගාඩියන්, නිව්යෝක් ටයිම්ස් හරහා ඒ දත්ත ලෝකයට ඉදිරිපත් කළා. ඉරාකයේදී සිදුවුණු ඇමරිකානු මෙහෙයුම් මගින් සිවිල් වැසියන් 15,000ක් පමණ මියගිය බවට අසාන්ජ් විසින් ලීක් කළ තොරතුරු වල තිබුනා. අමරිකාව ත්‍රස්තවාදීන් ඉලක්ක කරගෙන යුද්ධ කරනවායැයි කීවත් සාමාන්‍ය ජනයාත් ඉලක්ක කර ප්‍රහාර එල්ල කළ බව විකිලීක්ස් හරහා ලෝකයා දැනගත්තා.
2. වෝටර්ගේට් සිදුවීම
රිචඩ් නික්සන් ඇමරිකාවේ ප්‍රබල ජනාධිපතිවරයෙක්. රුසියාව චීනය සහ එවකට පැවති වියට්නාමය ගැනත් අමරිකානු මැදිහත්වීම් හොඳ පැත්තට කෙළවර කරන්න තරම් ජනපති නික්සන් දක්ෂයෙකු වුනා. ඒත් දෙවන වර ඔහු ජනපති පුටුවට පත්වෙන්න කරපු යටිකූට්ටු නූල්සුත්තර වැඩ දෙවනි ධූර කාලයේ මැදදි එළිදරව් වුනා. ඒත් එක්ක කොච්චර ප්‍රබල පුටුවක හිටියත් නික්සන් ට ඒ ඇමරිකානු ජනාධිපති පුටුව දාල යන්න සිද්ද වුනා. මේකට මැදිහත් වුන මාධ්‍යවේදීන් ලෙස බොබ් වුඩ්වර්ඩ් සහ කාල් බර්න්ස්ටයින් ඉතිහාසගත වෙනවා.
3. 1971 පෙන්ටගන් පේපර්ස්
නිව්යෝක් ටයිම්ස් හරහා එළිදරව් වුන මේ පෙන්ටගන් පේපර්ස් වල එවකට පැවති වියට්නාම යුද්ධයේ සැබෑ ස්වරූපය ගැන එළිදරව් වුනා. ඒ හරහා අමරිකානු හමුදාව කාම්බෝජයේ සහ උතුරු වියට්නාමයේ වෙරළ තීරවලට කරපු බෝම්බ හෙලීම් ගැන විස්තර තිබුනා. මේ තොරතුරු එළිදරව් කළේ ඇමරිකානු මිලිටරි ඇනලිස්ට් කෙනෙක් වුන ඩැනියෙල් එල්ස්බර්ග් විසින්. පිටු 4,100ක් අධ්‍යයනය කරලා කරපු මේ හෙළිදරව් නිසා මේ මාධ්‍යවේදියාට රහසිගත තොරතුරු එළිදරව් කිරීම නිසා නඩු හබ වලට පැටලෙන්නත් වුනා. ඒත් නීතියේ තර්ක විතර්ග රාශියක් මැද ඒ නඩු කටයුතු වලින් මාධ්‍යවේදියාව ගැලවුනා.
4. ප්ලම්ගේට්
2003 දී ඉරාකය ආක්‍රමය කරන්න අමරිකාව හේතු විදිහට දුන්නේ ඉරාකය සතුව රසායනික සහ පරමාණුක අවි තියනවාය කියන කාරණාව. ඒ හරහා ඉරාකය බොහොම නරක රටක් වෙන්න හැකිය කියලා අමරිකාව ලෝකයම බය කරා. ඒ වෙලාවෙ ඉරාකයට පරමාණු අවි හදන්න ඕනි කරන යුරේනියම් බටහිර අප්‍රිකාවේ නයිජර් වලින් යෙලෝ කේක් විදිහට එනවා කියලා ඇමරිකාව කිව්වා. ඒත් ඒවා ගල්පැලෙන බොරුය කියලා ඒ කාලේ එළිදරව් වුනා. මේ එළිදරව්ව කළේ රොබර්ට් නොවාක් කියන මාධ්‍යවේදියෙක්.
5. අපාචේ හෙලිකොප්ටර් වෙඩිතැබීම
2007 දි ඉරාකයේ රොයිටර් ඡායාරූප ශිල්පියෙක් සහ සිවිල් වැසියන් පිරිසක් වෙඩිතැබීමකින් ඝාතනය වුනා. ඒ ගැන ඉරාකයේ සිටි අමරිකානු හමුදා වලට චෝදනා එල්ල වුනත් ඒ චෝදනා ප්‍රතික්ශේප වුනා. මාධ්‍යවේදී සංවිධාන ඒ සදහා යුක්තිය ඉල්ලුවා. ඒත් අමරිකානු හමුදා මේ සිද්ධිය පිළිගත්තේ නැහැ. මේ වෙඩිතියන ආකාරය කෙලින්ම විකිලීක්ස් වල වීඩියෝ විදිහට ප්‍රචාරය වුනා. ඒ වෙඩිතැබීම කෙලින්ම සාමාන්‍ය වැසියන් ඉලක්ක කර සිදුකර තිබෙන බව වීඩියෝවේ පැහැදිලිවම පේන්න තිබුනා. මේ කාරණාව නිසා අමරිකානු බුද්ධි අංශ සාමාජිකයින් සොයා බලලා සිද්ධිය එළිදරව් කරපු අයට දඬුවම් කරන්නත් කටයුතු කරලා තිබුනා. ඒත් විකිලීක්ස් ඒ අය වෙනුවෙන් පෙනී සිටියා.
6. සාරා පේලින්ගේ ඊමේල්
සාරා පේලින් කියන්නේ අමරිකාවේ උපජනාධිපති අපේක්ෂිකාවක්. 2008 සැප්තැම්බර් වලදී සාරා පේලින්ගේ යාහූ ඊමේල් එකේ පාස්වර්ඩ් විකිලීක්ස් වල ගියා. ඒ හරහා අන්තර්ජාලයේ සිටි ලොකු පිරිසකට සාරා පේලින්ගේ පුද්ගලික පොටෝ බලන්න සහ ඊමේල් කියවන්නට ලැබුනා. ඒ වගේම දේශපාලනික තොරතුරුත් සාරා පේලින්ගේ ඊමේල් වල තිබිලා සොයාගෙන තිබුනා. මේ තොරතුරු හැක් කළ පුද්ගලයා විදිහට 22 හැවිරිදි ඩේවිඩ් කර්නෙල්ව අත් අඩංගුවට ගත්තා. ඔහුට මාස 21ක සිරදඬුවම් හිමි වුනා.
7. එඩ්වඩ් ස්නෝඩන්ගේ එළිදරව්ව
මෑත කාලේ සිද්ද වුන ආන්දෝලනාත්මක සිද්ධියක් තමයි එඩ්වඩ් ස්නෝඩන්ගේ එළිදරව්ව. අමරිකාවේ ජාතික ආරක්ෂක ඒජන්සියේ කොන්ත්‍රාත් පදනම මත තාක්ෂණික සේවකයෙක් විදිහට වැඩ කළ ස්නෝඩන්, ඒ හරහා ගිය තොරතුරු ලෝකයට හෙළි කළා. පොදු මිනිස්සුන්ගේ තොරතුරු ඒ අයගේ අනු දැනුමක් නැතිව අමරිකානු ආරක්ෂක අංශ විසින් හසුරුවන හැටි ගැන හොඳ එළිදරව්වක් ස්නෝඩන් කළා. ප්‍රිසම් කියන වැඩසටහන හරහා ගූගල්, ඇපල් සහ ෆේස්බුක් වැනි ජාලවලින් මිනිසුන්ගේ දත්ත ලබාගෙන ඒවායෙන් තොරතුරු ගන්නා බව ස්නෝඩන් ලෝකයට කිව්වා. ඉන් පසු ලෝකය තුළ අන්තර්ජාලයේ දී මිනිස්සුන්ගේ පුද්ගලිකත්වය ආරක්ෂා කිරීම ගැන වැඩිපුර කතා බහ ඇති වුනා.
චීන රටේ රජයට විරුද්ධව මොකුත් කියන්න බැහැ. කොටින්ම රජය හෝ ජනාධිපති විවේචනය කරලා අන්තරජාලයේවත් යමක් පළකරන්න චීන්නුන්ට බැහැ. ඒත් අමරිකාව එහෙම නැහැ. අමරිකාවේ මාධ්‍ය වලට සමාජය තුළ හොඳ තැනක් තියෙනවා. අමරිකානු ඉතිහාසයේ සිද්ද වුණු සමහර වැරදි දේවල් ලෝකයට එළිදරව් කළෙත් අමරිකානුවන් විසින්මයි. දියුණු ජාතියක් විදිහට දශක ගණනාවක් පුරා ලෝකයේ වැජඹෙන්න අමරිකාවෙ විටින් විට ලීක් වුන තොරතුරුත්, ඒ තොරතුරු නොබියව පළකළ මාධ්‍ය සහ මාධ්‍යවේදීනුත් ලොකු ගැම්මක් වෙන්නට ඇති.
Leave a Reply