ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය ලබා ගන්නේ 1955 දෙසැම්බර් මස 14 වැනිදා. නිදහස ලබන අවස්ථාවේදීම ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීමට උත්සාහ කළත් එවකට සෝවියට් රුසියාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර පැවැති සීතල යුද්ධයේ අතුරු ප්‍රතිඵලයක් විදිහට ශ්‍රී ලංකාවේ සාමාජිකත්වය ලබා ගැනීමට සෝවියට් දේශය දිගින් දිගටම බාධා සිදු කරනු ලැබුවා. ඊට එක් හේතුවක් විදිහට ඔවුන් දැක්වූයේ ශ්‍රී ලංකාවට ඩොමීනියන් තත්ත්වය ලැබුණත් තවදුරටත් බ්‍රිතාන්‍ය යුද කඳවුරු ලංකාවේ පවත්වාගෙන යාම නිසා ශ්‍රී ලංකාව පූර්ණ වශයෙන් ස්වාධීන රාජ්‍යයක් යයි පිළිගැනීමට ඔවුන්ට අපහසු බවයි. කෙසේ වෙතත් ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතාගේ සහ රනිල් වික්‍රමසිංහ මහතාගේ පියාණන් වූ එස්මන්ඩ් වික්‍රමසිංහ මහතාගේ දැඩි කැපවීම මත ශ්‍රී ලංකාවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීමට අවස්ථාව ලැබුණා. අපි අද කතා කරන්න යන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට සම්බන්ධ වෙලා ලෝකය පුරා ශ්‍රී ලංකාවේ නම බබළවපු ශ්‍රී ලාංකිකයෝ කීපදෙනෙක් ගැන.
1. ඇන්ඩෘ ජේම්ස් ජෝසෆ්
ජෝසෆ් මහතා ප්‍රධාන වශයෙන්ම තමන්ගේ දායකත්වය ලබා දුන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයට. රටවල් කීපයක එක්සත් ජාතීන්ගේ නේවාසික නියෝජිතයා විදිහට එතුමා කටයුතු කළා. ඊට අමතරව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනටත් එතුමා තමන්ගේ දායකත්වය ලබා දුන්නා. 1958 දී එක්සත් ජාතීන්ගේ සංවිධානයට එකතු වුණු ඒ මහතා 1990 දී විශ්‍රාම යන තෙක් එම සංවිධානය සමග රැඳී සිටියා.
2. ශ්‍රීමත් ක්ලෝඩ් ස්ටැන්ලි කොරයා
මෙරට බිහිවුණු විශිෂ්ට දේශපාලනඥයෙක් වුණු ස්ටැන්ලි කොරයා මහතා ගැන අද අපේ රට තුළ නම් වැඩිපුර කතාබහට ලක්වෙන්නේ නැහැ. නමුත් එතුමා විශිෂ්ට රාජ්‍ය තාන්ත්‍රිකයෙක් විදිහට ලංකාවට වගේම එක්සත් ජාතීන්ගේ සංවිධානයටත් සේවය කළා. එක්සත් රාජධානිය සහ ඇමෙරිකා එක්සත් ජනපදයෙහි පළමු තානාපතිවරයා වීමේ භාග්‍යයද එතුමාට ලැබුණා. එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ ආරක්ෂක මණ්ඩලයේ සභාපතිවරයා බවට පත් වූ පළමු ශ්‍රී ලාංකිකයා වන්නේ ද එතුමායි.
3. රාජේන්ද්‍ර කුමාරස්වාමි
UNDP ලෙස හැඳින්වෙන එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සමග අත්වැල් බැඳගත් රාජේන්ද්‍ර කුමාරස්වාමි මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා ආසියා ශාන්තිකර කලාපයට සුවිශේෂී මෙහෙයක් ඉටු කරනු ලැබුවා. බොහෝ තුන්වැනි ලෝකයේ රටවල් වල දිළිඳුබව පිටුදැකීමේ ව්‍යාපාර ක්‍රියාත්මක කරමින් ජනතාව දුගී බවින් මුදවාලීමට එතුමා කටයුතු කළා.
4. ආචාර්ය නෙවිල් කනකරත්න
1961 වසරේ දී එවකට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා වූ ඩෑග් හැමර්ෂල් මහතා ගුවන් අනතුරකින් මියගියා. මෙම ගුවන් අනතුර පිටුපස සී. අයි.ඒ කුමන්ත්‍රණයක් තිබූ බවටත් අද දක්වාම ඇතැම් පාර්ශව විශ්වාස කරනවා. මෙම ගුවන් ගමන සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයට සම්බන්ධ ශ්‍රී ලාංකිකයෙකු එක්වීමට නියමිතව තිබුණත් නොවැළැක්විය හැකි හේතුවක් නිසා ඔහුට එම ගුවන් ගමනට සහභාගී වීමට නොහැකි වුණා. එසේ දෛවෝපගත ලෙස එම මාරක ගුවන් ගමනට සහභාගී නොවූ පුද්ගලයා වන්නේ ආචාර්ය නෙවිල් කනකරත්නයි. ඔහු එක්සත් ජාතීන්ගේ ලේකම් කාර්යාලයේ නීති උපදේශකවරයෙකු ලෙස සේවය කළා.
5. ආචාර්ය නන්දසිරි ජසෙන්තුලියන
සෝවියට් රුසියාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර පැවැති අභ්‍යවකාශය ජය ගැනීමේ යුද්ධය නිසා අභ්‍යවකාශය මිනිස් වර්ගයාට එරෙහිව ඉදිරියේදී භාවිතා වනු ඇද්ද? යන ප්‍රශ්නය ලෝකය තුළ ඇති වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස එක්සත් ජාතීන්ගේ අභ්‍යවකාශ කටයුතු පිළිබඳව කාර්යාලයක් ස්ථාපිත වුණා. එහි නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා ලෙස ආචාර්ය ජසෙන්තුලියන කටයුතු කළ අතර ඔහු අභ්‍යවකාශය සාමකාමීව සහ මිනිස් වර්ගයාගේ ප්‍රගමනය වෙනුවෙන් පමණක් භාවිතා කළ යුතු බවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයන් අතර මතයක් ස්ථාපිත කිරීමට සුවිශාල වැඩ කොටසක් ඉටු කරනු ලැබුවා.
6. හැමිල්ටන් ෂර්ලි අමරසිංහ
බොහෝදෙනා විශ්වාස කළේ ෂර්ලි අමරසිංහ මහතා ශ්‍රී ලංකාවෙන් බිහිවුණු පළමු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් වරයා බවට පත්වනු ඇතැයි කියාය. එතුමා ඒ තරම්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ ජනප්‍රිය චරිතයක් වුණා. සාගර නීතිය පිළිබඳව ජාත්‍යන්තර සම්මුතීන් ගොඩනැගීම සහ එම සම්මුතීන් තවත් ශක්තිමත් කිරීමට අමරසිංහ මහතා වැඩි වැඩ කොටසක් ඉටු කළා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩලයේ සභාපතිවරයා බවට පත්වූ පළමු ශ්‍රී ලාංකිකයා වීමේ ගෞරවයද එතුමාට හිමි වුණා.
7. ලක්ෂ්මන් කදිරගාමර් මහතා
මෙරට බිහිවූ විශිෂ්ටතම රාජ්‍ය තාන්ත්‍රිකයා විදිහට අවිවාදයෙන්ම සැලකෙන්නේ ලක්ෂ්මන් කදිරගාමර් මහතායි. ජාත්‍යන්තර බුද්ධිමය දේපළ නීතිය තවදුරටත් පුළුල් කිරීමට එතුමා තමන්ගේ දායකත්වය ලබා දුන්නා. ඒ සඳහා එතුමන් තුළ පැවැති බුද්ධිමය දේපළ පිළිබඳව විශිෂ්ට දැක්ම සහ ඥාන සම්භාරය එක් හේතුවක් වුණා. පසු කාලයක දී එතුමා ශ්‍රී ලංකාවේ බුද්ධිමය දේපළ නීතිය ශක්තිමත් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ තමන් ලැබූ අත්දැකීම්ද භාවිතා කරනු ලැබුවා.
මේ ලිපිය සඳහා අපි ඇතුළත් කළේ එක්සත් ජාතීන්ගේ සංවිධානය බැබළවූ ශ්‍රී ලාංකිකයන් හත් දෙනෙක්ගේ නම් පමණයි. ඔබෙන් ලිපියට ලැබෙන ප්‍රතිචාර මත අපි ඉදිරියට එවැනි විශිෂ්ටයන් ගැන තොරතුරු ඔබ වෙත ගෙන එන්න කැමතියි. ඒ ගැන ඔබේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එකේ පළ කරන ගමන් මේ ආටිකල් එක ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.
Leave a Reply