සුෂී කන්න ආසයිද? එහෙමනම්, සුෂී ගැන එක්ස්පර්ට් ලෙවල් එකට දැනගෙන ඉමු!

සුෂී කියන්නේ මොනාද හැබෑටම? එහෙම අහනවා නං, මේ ආටිකල් එක ඒ අයට ගැලපෙන්නෙ නෑ. සුෂී කියන්නේ ජපාන ආහාරයක්. ඇත්තටම ජපානෙන් පිට ජනප්‍රියම ජපන් ආහාරය වෙන්නෙත් සුෂී වෙන්න පුලුවන්. සාමාන්‍යයෙන් ජපානේ නම් සුෂී කියන්නේ අපි දිනපතා බතුයි එළවලුයි කනවා වගේ දිනපතා ආහාරයක් නෙවෙයි. ඊට වඩා විශේෂ ආහාරයක්. සුෂී කියන්නේ ප්‍රධාන වශයෙන් මාළු ඇතුළු සීෆුඩ් වලින් සමන්විත, බත් සහ/හෝ අලි පේර, පිපිඥ්ඥා වගේ දේවල් ඇතුළත්, මුහුදු පැළෑටි විශේෂයන්ගෙන් හදපු ආවරණයක් සහිත ආහාර විශාල විවිධත්වයක් සහිත ප්‍රමාණයක් හඳුන්වන නම. සුෂී වලට ගන්න මාළු එහෙම ඇත්තටම අමුවෙන් තමයි යොදාගන්නේ. සමහර වෙලාවට සුෂී වලට විශේෂ විනාකිරි වර්ග වලින් එහෙම පදම් කෙරෙනවා. හරි, සුෂී ගැන කිසිම දෙයක් නොදන්න කෙනෙක්ට අපි සුෂී ගැන සම්පූර්ණ ගයිඩ් එකක් වෙන ආටිකල් එකකින් ලබාදෙන්නම්. අද කතා කරන්න යන්නේ, සුෂී ගැන දන්න, සුෂී වලට ප්‍රිය කරන, ඒත් සුෂී සංස්කෘතිය සම්පූර්ණයෙන්ම නොදන්න කෙනෙක්ට වැදගත් වෙන ටිප්ස් කීපයක් ගැන.

 

01. චොප්ස්ටික් ද ඇඟිලි ද?

සාමාන්‍යයෙන් චීන ආහාර වුණත්, ජපාන ආහාර වුණත් කනකොට ගොඩක් වෙලාවට චොප්ස්ටික් වලින් කන එක අපිට දකින්න පුලුවන් දෙයක්. එතකොට, සුෂී කනවා නම්, ඒත් චොප්ස්ටික් ආට් එක පුරුදු පුහුණු වෙන එක හොඳ දෙයක්. චොප්ස්ටික් වලින් කන්න පුරුදු වෙන්න අමාරු නෑ. විශේෂයෙන්ම සුෂී වගේ දෙයක් කැඩෙන්නෙ නැති වෙන්න, හැලෙන්නෙ නැති වෙන්න චොප්ස්ටික් වලින් අල්ල ගන්න පුලුවන් ටිකක් ප්‍රැක්ටිස් වුණහම. හැබැයි සමහර වෙලාවට චොප්ස්ටික් වලට වඩා සුෂී කනකොට අතින් අරන් කන එක වඩාත් ආස්වාදනීය වෙන්න පුලුවන්. ඒකට හේතුව, සුෂී වල විදිය, ටෙක්ස්චර් එක පවා සුෂී රසවිඳින්න වැදගත් වීම.

 

02. උදව් ගන්න

සමහර වෙලාවට ජපන් ජාතිකයෙක් පවා සුෂී සම්බන්ධ එක්ස්පර්ට් කෙනෙක් නොවෙන්න පුලුවන්. එහෙම එකේ, ජපානෙට දිගින්වත් පළලින්වත් සෘජු සම්බන්ධයක් නැති අපිට සුෂී සම්බන්ධයෙන් ලොකු දැනුමක් නොතිබෙන්න පුලුවනිනේ. ඒකට කමක් නෑ. හැබැයි, අපිට සුෂී කන්න ගියහම ඒ ගැන දන්න කෙනෙක්ගෙන් උදව් ලබාගන්න පුලුවන්. උදාහරණයක් විදියට, ඔන්න අපි සුෂී රෙස්ටුරන්ට් එකකට යනවා. අපි විවිධ සුලභ සුෂී වර්ග ගැන මිසක්, විශේෂිත සුෂී වර්ග ගැන මොකුත් දන්නෙ නෑ. අන්න එතකොට, අපි රෙස්ටුරන්ට් එකේ අපි ගාවට එන වේටර් වරයාගෙන් හරි, චෙෆ් ගෙන් හරි, විවිධ සුෂී වර්ග වල රස කොහොමද, ඒ අය රෙකමන්ඩ් කරන සුෂී වර්ග මොනවද කියලා අහලා බලන එකෙන් කිසිම හානියක් වෙන්නෙ නෑ. ඇත්තර්ටම, ඒකෙන් අපිට වඩාත් හොඳ සුෂී වේලක් රස බලන්න පුලුවන් වෙයි.

 

03. සෝස් එකට දාන්නේ කොහොමද?

දැන් සාමාන්‍යයෙන් සුෂී කනකොට, සෝස් එකේ තවරාගෙන තමයි කන්නේ. හැබැයි මේ සෝස් කියන්නේ අපි සාමාන්‍යයෙන් දන්න විදියේ තක්කාලි සෝස්, මිරිස් සෝස් වගේ උකු සෝස් එකක් නෙවෙයි. ඊට වඩා සෝයි සෝස් වගේ තියෙන ද්‍රාවණයක් තමයි සුෂී වලට සෝස් විදියට ලැබෙන්නේ. අන්න එතකොට, ඔය එක පැත්තක මාළු හෝ සීෆුඩ් කැබැල්ලක් සහ ඊට යටින් බත් මික්ස් එකක් එක්ක හදලා තියෙන නිගිරි (Nigiri) වගේ සුෂී එකක් කනකොට, ඒක සෝස් ඒකෙ තවරාගන්න ඕන විදියක් තියෙනවා. චොප්ස්ටික් වලින් හරි වෙන ක්‍රමයකින් හරි නිගිරි එක අල්ලගන්න ඕන මාළු හෝ සීෆුඩ් තියෙන පැත්ත යටට, සෝස් එකේ තැවරෙන කොටසට හිටින්න. ඊට පස්සේ පරිස්සමෙන් සෝස් තවරාගෙන කන්න තියෙන්නේ. එහෙම නැතුව බත් තියෙන පැත්ත සෝස් එකට දැම්මොත්, සුෂී එක ගැලවිලා සෝස් එකට වැටෙන්න පුලුවන්.

 

04. සෝස් නාන්න එපා

සමහරු සුෂී එක අරගෙන, ඒක සෝයි සෝස් එකේ ඔබලා සම්පූර්ණයෙන්ම පොඟවන්න හදනවා. හැබැයි ඒකෙන් වෙන්නේ, සුෂී එකේ තියෙන මාළු, සීෆුඩ් සහ බත් වල රස මැකිලා සෝයි සෝස් රස වැඩිපුර මතු වෙන එක. අන්න ඒ නිසා, මතක තියාගන්න, සුෂී එකක් අපි සෝස් එකේ පොඟවන්නෙ නෑ. සෝස් ටිකක් තවරගන්නවා විතරයි. ඒ වගේම, සමහරු සුෂී කන්න ගියහම වසාබි සම්පූර්ණයෙන්ම සෝයි සෝස් එකට දාගන්නවා. ඒකත් හරියන්නෙ නෑ. මොකද, චෙෆ් සුෂී එක හදන්නේ අවශ්‍ය ප්‍රමාණෙට වසාබි දාලා. ඊට වඩා වසාබි රස තිබ්බොත් හොඳයි කියලා හිතනවා නම්, වසාබි සෝස් එකට දාන්නෙ නැතුව, වසාබි චුට්ටක් සුෂී එකට දාලා, ඊට පස්සේ සුෂී එක සෝස් එකට දාලා සෝස් තවරගෙන කන්න පුලුවන්.

 

05. එක කටට

සාමාන්‍යයෙන් ඔය නිගිරි වගේ සුෂී එකක් ඒ තරම් ලොකු නෑ. එක කටට කන්න පුලුවන්. හැබැයි අපිට පුංචි කාලේ ඉඳලා කියලා දීලා තියෙන්නේ කෑම කනකොට පොඩි කොටස් විදියට සංවරව කන්න කියලනේ. සංවරව කන එකේ ගැටළුවක් නෑ. හැබැයි නිගිරි හෝ ඒ වගේ සුෂී එකක් කනකොට කෑලි දෙකකට හෝ කීපෙකට කඩාගෙන කන්න යන එකේ ගැටළු කීපයක් තියෙනවා. ප්‍රායෝගික ගැටළුව තමයි, සුෂී එකෙන් එක කටක් කඩාගෙන කන්න ගියහම සුෂී එක ගැලවෙන්න පුලුවන් වීම. දෙවෙනි ගැටළුව තමයි, එහෙම කොටස් වලට කන්න යන එකෙන් සුෂී වල නියම රස නොදැනී යාම. සුෂී එකක් හදන්නේ මාළූ, සීෆුඩ්, බත්, වසාබි වගේ හැම දෙයක්ම හොඳ අනුපාතෙකට රස දැනෙන විදියට. අන්න එතකොට, ඒ රස ඔක්කොම හරි හැටි දැනෙන්න නම්, නිගිරි වගේ සුෂී එකක් කන්න ඕන එක කටට!

 

06. සුෂී ඉක්මන් කොටයි

 

සුෂී කියන්නේ හැකිතාක් නැවුම්ව කන්න අවශ්‍ය කෑමක්. සමහර වෙලාවට සීෆුඩ් එහෙම ෆ්‍රීසර් එකේ තියලා ගන්නවා වෙන්න පුලුවන්. හැබැයි ඒ කොහොම වුණත්, ඒ නිසා සුෂී බාර් එකකට ගියහම පීසා එකක් හරි සබ්මැරීන් එකක් හරි දාලා දෙනවා වගේ විනාඩි දහයෙන් සුෂී ප්ලැටර් එකක් බලාපොරොත්තු වෙන්න බෑ. විශේෂයෙන්ම හරිම සුෂී බාර් එකක චෙෆ් කෙනෙක් සුෂී හදන්නේ ආට් එකක් කරනවා වගේ. ඒ නිසා, සුෂී බාර් එකකට යනවා නම් පොඩ්ඩක් ඉවසීමෙන් ඉන්න ඕන. අවශ්‍ය නම් ඒ වෙලාවේ අපිට සුෂී එක හදන හැටි බලන්න පුලුවන්ද කියලා අහන්න පුලුවන්. ඒකත් වෙනම එන්ජෝයි කරන්න පුලුවන් දෙයක්. ඒ නිසා.

 

07. සුෂී එක්ක බොන්නෙ මොනවද?

සාමාන්‍යයෙන් සාම්ප්‍රදායිකව ජපානේ බොන්න දෙන ඇල්කොහොල් මොනවද? සකේ. අන්න එතකොට, ඇල්කොහොල් තියෙන සුෂී බාර් එකක නම්, සුෂී එක්ක හරියටම සෙට් වෙන්නෙත් සකේ තමයි. හරියටම කිව්වොත් ඩ්‍රයි සකේ. සකේ බොන්නෙ නැති, වයින් වගේ දෙයකට ආස කෙනෙක්ට, එහෙමත් පුලුවන්. හැබැයි ස්වීට් වයින් එකකට වඩා සුෂී එක්ක යන්නේ වඩා වැඩි ඇසිඩිටි එකක් තියෙන සුවෙඤ්ඤොන් බ්ලන්ක් වගේ වයින් වර්ගයක් තමයි. එහෙම ඇල්කොහොල් වලට ආසාවක් නැතිනම්, ජින්ජර් ඒල් වගේ දේකුත් සුෂී එක්ක ගාණට මැච් වෙනවා. ඒ වගේම, ලෙමනේඩ් හරි ලෙමන් ජූස් හරි එහෙමත් සුෂී එක්ක සෙට් වෙනවා.

 

08. සුෂී කියන්නේ සීෆුඩ් විතරක් නෙවෙයි

ගොඩක් වෙලාවට සුෂී රස බලන්න යන කෙනෙක්, සුෂී හදලා තියෙන බත් වලට ඒ තරම් අවධානයක් යොමු කරන්නේ නෑ. හැබැයි සුෂී රස බලන්න යන කෙනෙක් මතක තියාගන්න ඕන කාරණාව තමයි, සුෂී හදනකොට යොදාගන්න බත් වලින් සුෂී එකට එකතුවෙන රස කිසිසේත්ම නොසලකා හරින්න බැහැයි කියන එක. ඒ වගේම, බත් ගාණට සෙට් කරලා සුෂී හදන්නත් ස්පෙෂල් හැකියාවක් ඕන. ඒක සමහර සුෂී චෙෆ්ලා අවුරුදු ගණන් පුරුදු වෙන්නත් ඕන ආට් එකක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *