බුෆේ කියන්නෙ මොනවද කියල දන්නවනේ? බුෆේ කියන්නේ අපිම ගිහින් අපිම බෙදාගෙන අපිම කන සිස්ටම් එකට, ඔය මගුල් ගෙවල් වල එහෙම තියෙන්නේ බුෆේ තමයි. ඔව් දැන් මේසෙට ඉඳගත්තත් අපිම බෙදාගෙන අපිම කෑමක් තමයි තියෙන්නේ. හැබැයි ඒක බුෆේ නෙවෙයි. බුෆේ එකකදී අපි ගිහින් තියෙන දේවල් බලලා බෙදාගෙන මේසෙට ගිහින් කන සීන් එකක් තමයි තියෙන්නේ. ඇත්තටම දැන් මගුල් ගෙවල් වල නම් තියෙන්නෙම බුෆේ තමයි.
එතකොට කොහොමද බුෆේ එකකට ගිහින් කන්නේ? සාමාන්‍යයෙන් අපි දකින්නේ ආයෙ දෙන්නං ජම්බෝ කියලා බුෆේ එකට ගිහිල්ලා තියෙන හැම ජාතියෙන්ම කොත ගහගෙන ඇවිල්ලා ඇදලා අරින කට්ටියනේ. බුෆේ එකට ගිහින් තමන්ට වුවමනා තරම් කන එකේ අවුලක් නෑ. හැබැයි ඉතින් පොඩ්ඩක් මැනර්ස් කාරියත් තියෙන්න ඕනනේ. මේ කියන්න යන්නේ බුෆේ එකට ගිහින් කන්න ගන්නකොට තියෙන්න ඕන මැනර්ස් සහ කරන්න ඕන දේවල් ගැන තමයි.
1. පෝලිමේ සාමයෙන්!
මේක ඉතින් බුෆේ වලටම කියලා අදාළ නෑ. ජාතියක් විදියට අපි ගොඩක් දෙනෙක්ට පෝලිම් වල ඉන්න දන්නෙ නැහැනේ. ඉතින් එක්කෝ කුලප්පු වෙච්ච බීෆ් වගේ ඉස්සරහා එකාවත් පෙරළගෙන ගිහිල්ලා බුෆේ එකේ බඩු ඉවර වෙයි කියලා බෙදාගෙන බෙදාගෙන යනවා. ආන්න ප්‍රශ්නේ. ඔක්කොටම කලින් ඉවසීම ප්‍රගුණ කරන්න ඕනෑ. ඒ වගේම, ඉස්සරහා මනුස්සයා මොකක් හරි බෙදාගන්නකොට, ඊට එහා පැත්තේ ඩිෂ් එකෙන් කවුරුවත් බෙදාගන්නෙ නැතිනම් ටක් ගාලා ගිහින් ඉස්සරහා එකාව ඕවර්ටේක් කරලා එහා පැත්තෙ ඩිෂ් එකෙන් බෙදාගන්න යන්නත් එපා. පෝලිමේ තමන්ට හිමි තැන ඉවසිල්ලෙන් ඉඳන්, එන එන විදියට පිළිවෙලට බෙදාගෙන යන්න ඕන.
2. කලින් බලලා තෝරගමු!
මේක ඇත්තටම ඔය බුෆේ වලින් කන්න යන ගොඩක් අය නොදන්න සහ නොකරන වැඩක්. දැන් ගොඩක් වෙලාවට බුෆේ වල කෑම ටයිප් දෙකක් හෝ කීපයක් තියෙන්න පුළුවන්. උදාහරණයක් විදියට ඉතාලියන් සහ ශ්‍රී ලංකන්. එතකොට පාස්තා එක්ක පොල්සම්බෝල කන්න බැහැනේ. හැබැයි ගොඩක් දෙනෙක් කරන්නෙත් ඒක තමයි. අපි දැකල තියෙනවනේ පෝලිමේ ගිහින් සුදු බත් එක්ක නූඩ්ල්සුත් බෙදාගෙන, ඒ පිටටම ෆ්‍රයිඩ් රයිස් ටිකකුත් බෙදාගෙන, පාස්තා හැන්දකුත් දාගෙන තියෙන ඔක්කොම කරි ටිකත් බෙදාගෙන යන කට්ටිය. එහෙම කන්න පුළුවන්ද කියන එක පුද්ගලානුබද්ධ ප්‍රශ්නයක් වුනත්, එහෙම කන එකේ කිසි තේරුමක් නෑ.
ආන්න ඒ නිසා මුලින් කරන්න ඕන බුෆේ පෝලිමට එකතු වෙන්න කලින් බුෆේ එකේ කොණක ඉඳන් නරඹගෙන නරඹගෙන යන එක. ඉන්පස්සේ තීරණය කරන්න ඕන මොනවද කන්නේ, මොනවද නොකන්නේ කියලා. තව එකක්, ඕන නම් මුලින් ශ්‍රී ලංකන් කෑම කාලා, දෙවෙනි වටේට ඉතාලියන් කන්නත් පුළුවන්. ඒකත් අවුලක් නෑ. ඒ ගැන වැඩි විස්තර ඊලඟ කාරණයෙන්.
3. කොත ගහලා ඕකේද?
මේක ඉතින් ඔය මගුල් ගෙවල් බුෆේ වල එහෙම අපි අනිවාර්යයෙන්ම දකින දෙයක්. පිඟානේ ආයෙ කුකුල් අණ්ඩක් ගහන්න ඉඩ නැති වෙන්න එක එක කෑම ජාති කොත ගහලා, ඊට උඩින් මස් කෑලි තියලා, ආයෙ සර්කස් කාරයා ලණුව දිගේ යනව වගේ පරිස්සමෙන් තමයි පිඟාන මේසෙට ගෙනියන්න වෙන්නේ. ඒක ඇත්තටම දකින්න වුනත් ප්‍රිය දර්ශනයක් නෙවෙයි. දැන් සමහරු ඉන්නවා ඔය කෑම එකම ගෙඩි පිටින් ගිලදාන්න හැකියාව තියෙන. හැබැයි ඒක නෙවෙයි පොයින්ට් එක. බුෆේ එකෙන් බෙදාගන්න කොට ලෝක විනාසේ කියලා හිතාගෙන තියෙන තරම් ඔක්කොම බෙදාගන්නෙ නැතුව, සාමාන්‍යයෙන් මනුස්සයෙක් කන ප්‍රමාණෙට බෙදාගන්න එක. ඊට පස්සේ ආයෙත් බුෆේ එකට ගිහින් බෙදාගෙන ආවට කමක් නැද්ද? තමන්ට ඒ කාපු ටික කොහෙත්ම ප්‍රමාණවත් නැති නම් බුෆේ එකට ආයෙ ගියාට කමක් නෑ. හැබැයි සාමාන්‍ය චාරිත්‍රය වෙන්නේ මේන් කෝස් එක එක පාරින් බෙදාගන්න එක. හැබැයි අර උඩින් කියපු විදියට කොත ගහලා බැලන්ස් කරං එනවට වඩා, දෙපාරක් ගිහින් බෙදාගන්න එක ඕකේ. ඕන නම් අර උඩින් කියපු විදියට පළවෙනි පාර එක ආහාර වර්ගයක් අනුභව කරලා දෙවෙනි වටේ වෙනත් ආහාර වර්ගයක් එක්ක බැට් කරන්න පුළුවන්.
4. බත් උඩට සැලඩ්, ඒ උඩට කට්ලට්, ඒ උඩට කෝල්ඩ් කට්!
ගොඩක් වෙලාවට ඔය බුෆේ එකක තියෙන එක එක සෙක්ෂන් ගැන සමහර අයට දැනුමක් නෑ. දැන් එක පැත්තක සැලඩ් බාර් එකක් තියෙනවා. ඒකේ විවිධ සැලඩ් වර්ග, ඒවලට ඩ්‍රෙසින්, කෝල්ඩ් කට් මීට් -ඒ කිව්වේ සීත කරපු ප්‍රොසෙස්ඩ් මස් මාලු වර්ග- වගේ දේවල් තියෙනවා. එතකොට බත් එක්ක සැලඩ් බෙදාගන්නෙ නෑ. මුලින් සැලඩ් පිඟානකට සැලඩ්, කෝල්ඩ් කට් මීට්ස් වගේ දේවල් බෙදාගෙන වැඩේ පටන් ගන්න පුළුවන්. සමහර වෙලාවට ඊට කලින් සුප් එකකුත් සෙට් වෙන්න පුළුවන්. එතකොට සුප් එක බීලා ඉවර කරලා සැලඩ් බාර් එකට යන්නේ. සැලඩ් ප්ලේට් එක ඉවර කරලා ආයෙ බුෆේ එකට ගිහින් මේන් කෝස් එක බෙදාගන්නේ. ආන්න එහෙම කළාට පස්සේ ඔන්න ඩිසර්ට් වලට යන්න පුළුවන්. ඩිසර්ට් වලදිත් අර උඩින් කියපු ක්‍රමවේදය මතක තියාගන්න ඕන.
ඒ වගේම, මේ එක එක කෑම එකට වෙන වෙනම ප්ලේට් පාවිච්චි කරන්න ඕන. බත් කන ප්ලේට් එකේ සැලඩ් කන්නෙ නෑ!
5. පිරිසිදුව, හරි විදියට!
මේකත් බුෆේ වලදී ගොඩක් දෙනෙක් කරන නරක දෙයක්. ඒ තමයි හරි විදියට පිරිසිදුවට බුෆේ එකෙන් කෑම බෙදා නොගන්න එක. එක්කෝ චිකන් එකෙන් බෙදාගෙන හැන්ද භාජනේම තියලා එනවා. එක්කෝ හොදි එකට අත අරිනවා. එහෙම නෙවෙයි. සාමාන්‍යයෙන් බුෆේ එකක හැම ඩිෂ් එකක් ඉස්සරහින්ම හැන්ද හරි ටොන්ග් එක හරි තියන්න පොඩි පීරිසියක් හරි ඒ වගේ අයිටම් එකක් හරි තියලා තියෙනවා. එතකොට තමන් බෙදාගෙන, පිටිපස්සෙන් එන එකාට ලේසි වෙන්න කියලා හැන්ද ඩිෂ් එකේම තියලා එන්න එපා.
ඊලඟට කිසිම දෙයක් අතින් බෙදාගන්න යන්න එපා. ඒ කියන්නේ, හරි බුෆේ එකක නම් කට්ලට් එකක් ගන්න වුනත්, සැලඩ් බෙදාගන්න වුනත් ටොන්ග් එකක් දීලා තියෙනවා. ඒක පාවිච්චි කරනවා මිසක් අතින් බෙදාගන්න යන්න එපා.
තුන්වෙනුව, හදිසි වෙලා, මේසේ හොදි ඉහිරවාගෙන කෑම බෙදාගන්න එපා. හැකිතාක් දුරට පිළිවෙලට සහ පිරිසිදුවට තමයි බෙදාගන්න ඕන.
6. අහලා බලං!
සාමාන්‍යයෙන් ඉහළම පන්නයේ බුෆේ එකක හැම කෑම ජාතියක්ම ඉස්සරහින් ලියපු නෝට් එකක් තියලා තියෙනවා, ඒ කෑම එක මොකද්ද කියන එක. අන්න එතකොට අපි දන්නවා මොකද්ද මේ කෑම වර්ගේ කියලා. එහෙම නැති නම් සාමාන්‍යයෙන් බුෆේ එකත් එක්ක බුෆේ ආරක්ෂක වගේ මහත්තයෙක් ඉන්නවා. ඕන නම් කෑම වර්ග අඳුනගන්න එයාගේ උදවු ගන්නත් පුළුවන්. ඔය දෙකම නැතිනම් ඉතින් ෂුවර් නැති කෑම බෙදානොගත්තට කමක් නෑ. බෙදාගෙන කාලා බලලා ඉතුරු කළත් කමක් නෑ. හැබැයි එතනදී කාලා බලන්න එපා. ඒක ඊලඟට අපි කියනවා. ඒ වගේම තමයි, ඉස්සරහ ඉන්න හාදයගෙන් මේ මොනවද කියලා අහලා බලන එකත් ටිකක් හරි මදි. ඒකට හේතු දෙකක් තියෙනවා. එකක් තමයි ඒක බුෆේ එකෙන් කෑම ගන්න යන අනික් කෙනාට කරදරයක් වෙන්න පුළුවන් වීම. දෙවෙනි කාරණේ තමයි, ඒ මනුස්සයත් තාම බෙදාගන්නවා මිසක් කාලා බලලා නැති වීම.
7. පෝලිමේ යන ගමන් පොඩි බයිට් එකක්?
ඔව්, මෙන්න මේකත් කරන උන්දැලා සෑහෙන්න ඉන්නවා. බුෆේ එකේ පෝලිමේ යන ගමන් පොඩි මස් කෑල්ලක් කටේ දාගන්නවා. කට්ලට් එකක් බහ් ගාලා ගිලිනවා. පපඩමක් හපනවා. අන්න ඒක වස කැතයි. බුෆේ එකේ යනකොට මොනම හේතුවකටවත් -ඒ කියන්නේ මේ කෑම මොනවද කියලා බලන්නවත්- තමන්ගේ පිඟානේ තියෙන කෑම හෝ බුෆේ මේසේ තියෙන කෑම කාලා බලන්න බෑ. අපි කලින් කියලා තියෙනවනේ අතින් අල්ලන්නවත් එපා කියලා. අනික අපේ අතින් කෑම එකක් අල්ලනවා හෝ කනවා කියන්නේ, ඊලඟට බෙදාගන්න අයිටම් එකේ හැන්ද අපි අල්ලන්නෙත් ඒ අතින් කියන එක. එතකොට පස්සෙන් එන මනුස්සයා ඒ තෙල්, ඉඳුල් ගෑවූණු හැන්ද අල්ලලා කෑම බෙදාගන්න ඕන. අන්න ඒ නිසා ඒ කැත වැඩේ කිසිසේත්ම කරන්න එපා.
ඇත්තටම මේවා පිළිපදින්න මහ අමාරු දේවල් නෙවෙයිනේ. මතක තියාගන්න. අපි කන්නේ බඩ පිරෙන්න සහ ජීවත් වෙන්න තමයි. හැබැයි ඒ කන එකත් ආට් එකත්. බුෆේ එකකින් කනවා කියන්නෙත් ආට් එකක්. අන්න ඒ නිසා හරි විදියට බුෆේ එකෙන් කනවා නම්, උපරිමයෙන් ඒක රසවිඳින්න පුළුවන්. ඒක නිකම්ම බඩ පුරවගන්නවට වඩා එහා ගියපු තෘප්තියක්.
Leave a Reply