පැණි එකතු කරලා හදාගන්න පුළුවන් රස කෑම 7ක්

 

නිකන් කන්නත් පුළුවන් රස කෑමක්නෙ පැණි කියන්නෙ. පොල් පැණි, කිතුල් පැණි ඔය මොන පැණියටත් ඒක පොදුයි. ඔන්න ඉතින් පැණි වලින් හදන්න පුළුවන් රසම රස රෙසිපි ටිකක් ගෙනාවා. පැණි බෝතල් ගණන් ගෙනල්ලා ගෙවල් වල තියාගෙන අනේ මේකෙන් මොනාද හදන්න පුළුවන් කියලා හිත හිත හිටපු අය මෙන්න මේ රෙසිපි ට්‍රයි කරලා බලලා රස අපිටත් කියන්න.

 

1. පොල් කේක් 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. පොල් පැණි බොතල් 1/2
  2. ගා ගත් ලොකු පොල් ගෙඩි 1 1/2
  3. සීනි 150g
  4. පාන් පිටි 200g
  5. බේකින් පවුඩර් තේ හැඳි 1 
  6. රටඉඳි 100g
  7. බිත්තර 4
  8. ග්‍රේට්කරගත් දෙහි ලෙලි තේ හැඳි 1 1/2
  9. කරදුමුංගු කුඩු ටිකක් 
  10. කුරුඳු කුඩු තේ හැඳි 1/2
  11. බ්‍රැන්ඩි තේ හැඳි 1 

 

  • පැණි බෝතලෙයෙන් පොඩ්ඩක් අයින් කරලා ඉතිරි පැණි හා සීනි දාලා කලවම් කරන්න. මේකට කරදමුංගු, කුරුඳු කුඩු, ලුණු කුඩු දාලා ගාගත් පොල් ටික දාලා කලවම් කරලා පැණි පොල් එක හදාගන්න. මේක නිවෙන්න තියන්න. 
  • ඊළඟට පාන්පිටි, බේකින් පවුඩර් දාලා හලා ගන්න. බිත්තර බීට් කරන්න. පැණි පොල් එකට පාන්පිටි, බීට් කරගත් බිත්තර, රටඉඳි, දෙහි ලෙලි, බ්‍රැන්ඩි දමා හොඳට මික්ස් කරන්න. සෙල්සියස් 180°ට විනාඩි 40 – 45 ක් විතර බේක් කරගන්න.
  • බේක් කරගත් පසුව උණුවෙන්ම කේක් එකේ තැනින් තැන සිදුරු කරගෙන මුලින්ම අයින් කරගත්තු පැණි ටික කේක් එක උඩින් දාගන්න.

 

2. පැණි වළලු 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. කිතුල් පැණි බොතල් 1 1/2
  2. උඳු ඇට 500g
  3. තෙල් බොතල් 1
  4. කැකුළු හාල් 750g
  5. පොල් ගෙඩි 1 1/2ක කිරි 
  6. ඇඹුල් කෙසෙල් ගෙඩි 2 
  7. පිරිසිදු රෙදි කෑල්ලක් හෝ පයිපින් බෑග් එකක්

 

  • හාල් වතුරේ දමා පැය 12 ක් පමණ පොඟවා ගෙන පිටි කරගන්න. උඳු ඇට ටිකත් පැය 12 ක් පමණ පොඟවලා පොල් කිරි වලින් හොඳින් අඹරා ගන්න. 
  • හාල් පිටි හා අඹරා ගත් උඳු එකට මිශ්‍ර කර මේකට හොඳින් අඹරා ගත් කෙසෙල් මිශ්‍ර කරන්න. ඒ සියල්ල හොඳින් අනලා පැය 3ක් වහලා පිපෙන්න තියන්න. 
  • පැය 3 ට පසුව මිශ්‍රණය අරගෙන නැවත හොඳින් කලවම් කරන්න. මිශ්‍රණය තද වැඩි නම් පමණක් පොල් කිරි දාලා පදම හදා ගන්න. 
  • පැණි ටික මුට්ටියකට දාල යන්තම් රත් කරගන්න. ඊළඟට රෙදි කෑල්ලෙ හෝ පයිපින් බෑග් එකේ පොඩි හිලක් හදලා මිශ්‍රණයෙන් ටිකක් අරන් රත්වුණු තෙල් තාච්චියට රවුමට මිරිකන්න.
  • රන්වන් පැහැයට එද්දී ඒවා අරගෙන පැණි තියෙන මුට්ටියට දාගන්න. හොඳින් පැණි තැවරුණු පසුව වෙනත් භාජනයකට දාගන්න. 

 

3. පැණි ආප්ප 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. පොල් පැණි බෝතල් 1/4
  2. තෙත හාල්පිටි 600g
  3. පොල් වතුර කෝප්ප 1
  4. මිටිකිරි කෝප්ප 1
  5. සීනි 100g
  6. ආප්ප සෝඩා තේ හැඳි 1 /2
  7. ලුණු කුඩු ටිකක් 
  8. දවසක් පරණ පාන් කෑල්ලක් 

 

  • තෙත හාල් පිටි වලට පොල් වතුර හා පාන් කැබැල්ල දමා හොඳින් අනා රැයක් පිපෙන්න තියන්න. පසු දින උදේ පිටි මිශ්‍රණයට මිටිකිරි දාලා ආප්ප සෝඩා, සීනි හා පැණි දාලා එයටම ලුණු කුඩු ස්වල්පයක් දාලා හොඳට කලවම් කරන්න. 
  • රස බලලා සීනි හා පැණි තව එක් කර ගන්න. හොඳින් පදම් කරගත් තාච්චියකට දමා පැණි ආප්ප හදාගන්න. 

 

4. කිරියා 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. කිතුල් පොල් පැණි බොතල් 1
  2. කැකුළු හාල් පිටි 500g
  3. මිටිකිරි කෝප්ප 2
  4. දියකිරි කෝප්ප 1
  5. එනසාල් ඇට කීපයක්
  6. රතු සීනි 200g 
  7. කජු ටිකක් 

 

  • කිතුල් පැණි, රතු සීනි, මිටිකිරි සහ දිය කිරි එකතු කර ලිපේ තියලා හාල් පිටි ටික ටික එකතු කරමින් කැටි නොගැහෙන්න කලවම් කරන්න. එනසාල් ඇට එකතු කරන්න. දැන් දිගටම අඩු ගින්දරේ හැඳි ගාන්න. 
  • මිශ්‍රණය ඝන වෙලා හැඳි ගාන්න අමාරු පදම එනකොට කජු ටික දාලා කලවම් කරගන්න. භාජනයෙන් වෙන් වෙලා ගුලි වෙන පදම එනකොට තෙල් තවරගත්ත තැටියකට දාලා තුනී කර කෑලි කපා ගන්න. 

 

5. පුස්නාම්බු / වණ්ඩු ආප්ප

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. කිතුල් පැණි රස අනුව 
  2. හාල් පිටි කෝප්​ප 1 
  3. පොල් වතුර කෝප්​ප 1 
  4. ආප්ප සෝඩා තේ හැඳි 1/2
  5. සීනි අවශ්‍ය නම් 
  6. ලුණු ටිකක් 
  7. පොල් කිරි කෝප්​ප 1
  8. එනසාල් කුඩු ටිකක් 

 

  • ඉහත සියළුම දේවල් එක් කර ආප්ප පදමට අනාගෙන රැයක් පුරා පිපෙන්න තබන්න. 
  • පහුවදාට කැන්දකොළ හෝ කොස් කොළ වලින් පොඩි ගොටුවක් වගේ හදලා මිශ්‍රණය දාලා ස්ටීමරයක ස්ටීම් කරගන්න. 
  • කැමති කෙනෙක්ට පොඩි ස්ටීල් කප් වල තෙල් ගාලා, මිශ්‍රණය කප් එකෙන් 2/3ක් වගේ වෙන්න වක්කරලා ස්ටීමරයේ තියලා වණ්ඩුව උඩින් පැලෙන තුරු තම්බා ගන්නත් පුළුවන්.

 

6. වැලි තලප

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. පොල්පැණි 300ml
  2. හාල් පිටි 300g
  3. ලුණු ස්වල්පයක් 
  4. සීනි මේස හැඳි 5
  5. තලා ගත් කරදමුංගු ඇට 2
  6. වතුර ටිකක් 

 

  • හාල් පිටි කබලේ බැදගන්න. හාල් පිටි වලට ලුණු ටිකක් දාලා වතුරත් ටික ටික දාලා පොඩි කැට වෙන්න අතින් රවුමට කලවම් කර පිට්ටු කැට ටික හදාගන්න. ඊළඟට පිට්ටු බම්බුවක දාලා ස්ටීම් කරගන්න. 
  • සීනි ටික කැරමල් කරගන්න. ඒකටම පැණි එකතු කරන්න. දැන් පැණි ටික නූලක් වගේ ඇදෙන ගානට උණු වෙනකොට කරදමුංගු කුඩු ටිකත් දාලා පිට්ටු ටික කුඩු කරලා ටික ටික දාල කලවම් කරන්න. 
  • ඊළඟට තැටියකට හෝ කෙසෙල් කොළයකට දාලා තුනී කරලා රස්නෙන් කැට කපාගන්න. 

 

7. පැණි අලුවා 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. කිතුල් පැණි බෝතල් 1/2
  2. බැදපු හාල්පිටි ග්‍රෑම් 300
  3. සීනි මේස හැඳි 3 
  4. කජු ටිකක් 

 

  • තැටියකට බටර් ටිකක් ගා ගන්න. ඒකට බැදගත් පිටි ටිකක් ඉහගන්න. භාජනයක් ලිපේ තියලා ඒකට පැණි හා සීනි දාලා විනාඩි පහක් විතර උණු කර ගන්න. ඊළඟට ලිප ඕෆ් කරන්න. 
  • දැන් කජු ටික කබලේ බැදගන්න. පිටි ටික නිවෙන්න තියපු පැණි මිශ්‍රණයට එකතු කරලා හොඳට කලවම් කරන්න. 
  • දැන් මේක පිටි තවරා ගත් තැටියට දාලා, උඩින් පිටි ඉහලා එය තුනී කරලා, කෑලි ලකුණු කරගෙන ටිකක් නිවුනට පස්සෙ කෑලි කපාගන්න. 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *