යුධ හමුදා විශේෂ බලකාය ගැන තොරතුරු

අපේ රටේ පසුගිය කාලේ පැවතුණු යුධමය වාතාවරණය එක්ක අපිට ලංකාවේ හමුදාව ගැන එක එක ප්‍රවෘත්ති දැනගන්න ලැබුණා. ඒ අතර එක එක යුධ හමුදා සේනාංක, රෙජිමේන්තු සහ බලකායන් ගැන තොරතුරු බොහෝ විට ජනතාව අතර හුවමාරු වුණා. නොයෙකුත් නම් වලින් හැඳින්වෙන මේ හමුදාවේ එක එක කොටස් ගැන හරි හැටි දැනුමක් බොහෝ අයට නෑ. ඉතින් අපි අද කල්පනා කළා යුධ හමුදාවේ ඉතාම විශේෂ සහ වැදගත් කාර්යභාරයක් ඉෂ්ට කරපු සහ කරන යුධ හමුදා විශේෂ බලකාය ගැන තොරතුරු ටිකක් ඔයාලා එක්ක කතා කරන්න. ගොඩක් අය SF කියල කිව්වම දන්නවා වුණත් හරියටම තොරතුරු දන්නෙ නෑ. ඉතින් අපි අද කතා කරමු මොකක්ද මේ විශේෂ බලකාය එහෙම නැත්නම් SF කියන්නෙ කියලා. 

  • මොකක්ද මේ විශේෂ බලකාය

විශේෂ බලකාය කියන සංකල්පය ලංකාවට විතරක් විශේෂ වෙච්ච සංකල්පයක් නෙමෙයි. ලෝකයේ නොයෙකුත් රටවල් තමන්ගේ සාමාන්‍ය හමුදා ඒකක වලට අමතරව විශේෂ බලකා ඒකක පිහිටුවා ගෙන පවත්වා ගෙන යනවා. විශේෂ බලකායක් කියල කියන්නෙ විශේෂයෙන් පුහුණු කරන ලද, සම්ප්‍රදායික නොවන උපක්‍රම, ශිල්ප ක්‍රම උපයෝගී කරගෙන නොයෙකුත් හමුදා ක්‍රියාකාරකම් වල නිරත වෙන කණ්ඩායමක්. විශේෂයෙන් කුඩා කණ්ඩායම් විදිහට කරන මෙහෙයුම් මේ විශේෂ බලකායන් වල තියෙන ලක්ෂණයක්.  ඒ වගේම සතුරාගේ භූමියේ ඉඳන් ම සමහර වෙලාවට මේ මෙහෙයුම් ක්‍රියාත්මක කරනවා. කාලයක් තිස්සේ ඔත්තු බැලීමෙන් සතුරු ඉලක්ක හඳුනා ගෙන කුඩා කණ්ඩායම් සම්ප්‍රදායික නොවන උපක්‍රම යොදා ගෙන පහර දීම මේ විශේෂ බලකා වල සුවිශේෂී ලක්ෂණයක්.

  • ඉතිහාසය

ලෝකයේ විශේෂ බලකායන් වල මුල් සංකල්පමය තත්වයන් වලට ලොකු ඉතිහාසයක් තියෙනවා. විශේෂයෙන් බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් විදිහට පැවතුනු ඉන්දියාවේ දේශ සිමා වල විශේෂයෙන් පුහුණුව ලබපු කණ්ඩායම් යොදවල තියෙනවා 1846 වගේ කාලේ. ඔය සම කාල වල අනෙක් රටවල් වලත්, විශේෂයෙන් ජපානය, ස්කොට්ලන්තය, බ්‍රිතාන්‍යය, ස්පාඤ්ඤය වගේ රටවල් වල නොයෙකුත් ගැටුම් සහ යුද්ධ වලදී විශේෂයෙන් පුහුණු කරපු කණ්ඩායම් යොදාගෙන තියෙනවා. හැබැයි මූලිකවම විශේෂ බලකා සංකල්පය මතු වෙලා තියෙනවා කියල කියන්නෙ දෙවෙනි ලෝක යුධ කාලේ. නවීන විශේෂ බලකායක් විදිහට පළමුවෙන්ම 1940 දි බ්‍රිතාන්‍යයේ කොමාන්ඩෝ බලකායක් ආරම්භ වෙනවා වින්ස්ටන් චර්චිල් ගේ අනුමැතිය මත. ඒ සතුරු වෙරල තීරයේ මතුවෙන්න පුළුවන් සතුරු ක්‍රියාකාරකම් පාලනය කරන්න. ඒ අනුව 1940 ජූනි 23 වෙනිදා පළවෙනි කොමාන්ඩෝ මෙහෙයුම සිද්ධ වුණා. 

ලංකාවේ විශේෂ බලකායේ ආරම්භය සිද්ධ වෙන්නේ 1988 අවුරුද්දේ ජෙනරාල් ගාමිණී හෙට්ටිආරච්චිගේ අදහසකට අනුවයි. ඒ නිසා එතුමා ලංකාවේ විශේෂ බලකා රෙජිමේන්තුවේ පියා විදිහට සලකනවා. විශේෂ බලකාය විදිහට පටන් ගන්න කලින් Rapid Deployment Force (RDF) නමින් කුඩා කණ්ඩායමක් මේ විශේෂ බලකායේ කාර්යභාරය ඉටු කරමින් හිටියා. පස්සේ තමයි ක්‍රමයෙන් දියුණු වීමත් එක්ක වඩා විධිමත්ව “විශේෂ බලකාය” නමින් එහි පළවෙනි විශේෂ බලකා රෙජිමේන්තුව පිහිටුවන්නේ. 

  • මූලික කාර්යභාරය

විශේෂ බලකායේ කාර්යභාරය කොටස් දෙකකට වර්ග කරන්න පුළුවන්. ඉන් පළවෙනි එක වෙන්නේ බුද්ධි තොරතුරු රැස් කිරීම. අනෙක් එක ප්‍රහාර එල්ල කිරීම. මූලික කොටස් විදිහට ඔය දෙක විතරක් වුනාට ඔය යටතේ තව කාර්යයන් රාශියක් තියෙනවා. බුද්ධි තොරතුරු රැස් කිරීම යටතට සතුරු ක්‍රියාකාරකම් අධ්‍යයනය කිරීම සහ හඳුනා ගැනීම, සතුරු කඳවුරු හඳුනා ගැනීම, ත්‍රස්තවාදී නායකයින් ගැන තොරතුරු රැස් කිරීම, සතුරු අවි ආයුධ සඟවා තිබෙන තැන් සොයාගැනීම වගේ දේවල් උදාහරණ විදිහට දක්වන්න පුළුවන්. ඒ වගේම ප්‍රහාර එල්ල කිරීම යටතට සතුරු නායකයින් ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීම, සතුරු කඳවුරු වලට ප්‍රහාර එල්ල කිරීම, ත්‍රස්ත මර්ධන ක්‍රියාකාරකම්, රහසිගත මෙහෙයුම් වගේ දේවල් දක්වන්න පුළුවන්. 

  • ව්‍යුහය

විශේෂ බලකා රෙජිමේන්තුව සෘජුව යුධ හමුදා මුලස්ථානය යටතේ ක්‍රියාත්මක වෙන ස්වාධීන සැකැස්මක් තියෙන රෙජිමේන්තුවක්. විශේෂ බලකා රෙජිමේන්තු මුලස්ථානය වවුනියාවේ පිහිටා තියෙනවා. ඉතින් සම්පූර්ණ මෙහෙයුම් කටයුතු රෙජිමේන්තු මුලස්ථානය හරහා යුධ හමුදා මුලස්ථානය සමඟ සම්බන්ධීකරණය කෙරෙනවා. යුද්ධ කාලයේදී සම්පූර්ණ විශේෂ බලකා මෙහෙයුම් සහ බුද්ධි අංශ කටයුතු සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම රෙජිමේන්තු මුලස්ථානය හරහා තමයි සිද්ධ වුණේ. විශේෂ බලකා බලසේනාධිපති සෘජුව හමුදාපතිට වාර්තා කරන්නේ. මේ වෙද්දී විශේෂ බලකාය බල ඇණි හතරකින් යුක්ත වෙනවා. 

  1. Combat Rider Squadron
  2. Combat Diving Squadron
  3. Long Range Reconnaissance Patrol (LRRP)
  4. Urban Fighting Squadron 

2009 දි විශේෂ බලකා 5වෙනි රෙජිමේන්තුව පිහිටවූවත් එය 2012 දි විසුරුවා හැර තියෙනවා. ඔන්න ඔය බල ඇණි ගැන අපි පස්සේ විස්තර සහිතව කතා කරමු. 

  • බඳවා ගැනීම සහ පුහුණුව

ශ්‍රී ලංකා විශේෂ බලකාය කියන්නෙ මුළු රටේම ජනතාවගේ වැඩි කැමැත්තක් සහ ගෞරවයක් තියෙන හමුදා කණ්ඩයක්. ඉතින් මුලින් සඳහන් කළා වගේ මේ රෙජිමේන්තුවේ ඉන්නෙ සම්ප්‍රදායික නොවන හමුදා උපක්‍රම වලට අනුව ක්‍රියාත්මක වෙන කොටසක්. ඉතින් ඒ සඳහා නොයෙකුත් විශේෂ හැකියාවන් පුද්ගලයෙක් තුල තියෙන්න අවශ්‍යයි. විශේෂයෙන් දරාගැනීමේ හැකියාව, කායික සහ මානසික ශක්තිය වගේ ගොඩක් විශේෂ ගුණාංග අත්‍යවශ්‍යයි. ඒ නිසාම විශේෂ බලකායට බඳවාගන්න පෙර, අවසන් කරන්න ඉතාම අපහසු පුහුණුවකින් සමත් වෙන්න ඕනේ. ඉතින් මේ පුහුණුව ලෝකයේ හමුදාවන්ගෙන් ජයගන්නට තුන්වෙනියට අපහසු පුහුණුව කියලයි කියන්නෙ. ඉතින් ඒ පුහුණුවෙන් පස්සේ තමයි විශේෂ බලකායට ඇතුලත් වෙන්න හැකියාව තියෙන්නේ. 

  • විශේෂ බලකායේ පරම වීර විභූෂණයෙන් පිදුම් ලැබුවන්

අපි කලින් ලිපියකින් කතා කළා යුධ හමුදාවේ තියෙන පදක්කම් ගැන. ඉතින් ඒ පදක්කම් අතරින් සෙබළෙකුට ලබාගන්න පුළුවන් ඉහලම පදක්කම තමයි පරම වීර විභූෂණ පදක්කම. ඉතින් ලංකාවෙන්ම බොහොම සීමිත පිරිසක් තමයි මේ පදක්කම ලබාගෙන තියෙන්නේ. හරියටම කිව්වොත් සෙබළුන් 31 දෙනෙක් තමයි මේ පදක්කමෙන් පිදුම් ලබලා තියෙන්නේ. ඉතින් ඒ අතර විශේෂ බලකායේ සෙබළුන් පස් දෙනෙක් ඉන්නවා. නම් වශයෙන් කිව්වොත් කර්නල් A F ලෆිර්, කෝප්‍රල් K චන්දන, ලුතිනන් කර්නල් A J L ජයසිංහ, සැරයන් D M S චන්ද්‍රසිරි බණ්ඩාර, මේජර් K A ගමගේ කියන සෙබළුන් තමයි ඒ. 

  • කැපීපෙනෙන සාමාජිකයින්

එදා මෙදාතුර විශේෂ බලකා රෙජිමේන්තු ඉතිහාසය පුරාවට විශේෂ සේවයක් ඉටු කරපු සාමාජිකයින් මතක් කරන එක අපේ යුතුකමක්. ඒ වගේම ඒ අය එදා තමන්ගේ වෘත්තියට එහා සේවයක් කරපු නිසා තමයි අපිට අද සාමය උදාකරගන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඉතින් අපි හැමෝගෙම ගෞරවය ඒ අයට හැමදාම තියෙනවා. පළමුවෙන්ම මතක් කරන්න ඕනේ විශේෂ බලකායේ පියා විදිහට සලකන මේජර් ජෙනරාල් ගාමිණී හෙට්ටිආරච්චි. ඔහු හමුදා සෙබළෙකුට ලබාගන්න පුළුවන් දෙවෙනි ඉහලම පදක්කම වන වීර වික්‍රම විභූෂණ පදක්කමෙන් පිදුම් ලැබුවෙක්. ඔහු 2006 අවුරුද්දේ හමුදා සේවයෙන් විශ්‍රාම ගියා. ඉන් පස්සේ මතක් කරන්න ඕනේ හිටපු හමුදාපති මහේෂ් සේනානායක. ඔහු තමයි විශේෂ බලකායෙන් බිහිවුණු පළවෙනි හමුදාපතිවරයා. ඒ වගේම හිටපු විශේෂ බලකා බලසේනාධිපතිවරුන් වන මේජර් ජෙනරාල් ප්‍රසන්න ද සිල්වා, කර්නල් රාජ් විජයසිරි, මේජර් ජෙනරාල් නිර්මාල් ධර්මරත්න, බ්‍රිගේඩියර් හරේන්ද්‍ර රණසිංහ, බ්‍රිගේඩියර් සුජීව සෙනරත් යාපා කියන නිලධාරිනුත් මතක් කරන්න ඕනේ. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *