අලුත් අවුරුද්දෙ හැදෙනවමයි කියල හිතන අය අත අරින්න ඕන නරක පුරුදු

2020 අවුරුද්දත් හිතාගන්නත් බැරි තරම් වේගයෙන් ගෙවිල ගිහිල්ල ඔන්න 2021 අවුරුද්දත් පටන් ගන්නයි යන්නෙ. ආපස්සට හැරිල බැලුවම පුදුමයිත් එක්ක නේද? කොහොමින් හරි ගෙවුණු අවුරුද්දෙ ජීවිතේට හොඳ දේවල්, නරක දේවල් කලවමේ සිද්ධ වෙලා ඇති. අමතක නොවෙන පාඩම් එහෙමත් ඉගෙන ගෙන ඇති. අවුරුද්දක් ගෙවෙන වෙලාවේ ආපස්සට හැරිල ඒ අවුරුද්දේ මතක ආවර්ජනය කරන එකත් හරි ලස්සන වැඩක්. ඇයි ඒ විතරක්ද? ලබන්න තියෙන අලුත් අවුරුද්දට මාස්ටර් ප්ලෑන්ස් ගහන එක. ඒකත් ලස්සනම ලස්සන වැඩක්. හැබැයි ඉතින් ප්ලෑන් ගැහුවටම මදි හැමදාම වගේ ජනවාරි දෙවෙනිදායින් පස්සෙ ප්ලෑන් ඔක්කොම අමතක වෙලා පරණ ක්‍රමේටම වැඩ කරගෙන යනවනම්. ඔය ගහන ප්ලෑන් හිතන හැටියෙන්ම සාර්ථක නොවෙන්න ප්‍රධානම හේතු තමයි මේන්න මේ වගේ අත ඇරගන්න බැරි සමහර නරක පුරුදු. ඒ මොනවද බලලා අලුත් අවුරුද්දෙවත් ඔය පුරුදු අත ඇරගෙන වෙනස් වෙන්න ට්‍රයි එකක් දෙමුකෝ එහෙනම්

 

 

1. කම්මැලිකම

 

හුඟ දෙනෙකුගේ ජීවිතේ දියුණුවට තියෙන ලොකුම බාධාව තමයි මේ අසීමිත කම්මැලිකම. සමහරු අඩුම තරමේ දියුණුවීමක් ගැන හිතන්න පවා කම්මැලී. ඉතින් කොහෙද ප්ලෑන් හදලා ඒවා ක්‍රියාත්මක කරන්නෙ. ජීවිතේ වෙනස් කරගන්න, ජීවිතේ දිනන්න හිතන් ඉන්න ඕනම කෙනෙක් අත ඇරගන්නම ඕන නරකම පුරුද්දක් තමයි මේ කම්මැලිකම. කරන වැඩක් උද්‍යෝගයෙන් කරන්න, පටන් ගත්තු වැඩේ එක පිම්මට ඉවර කරන්න, ආයෙත් ඒ ගැම්මෙන්ම තවත් වැඩක් පටන් ගන්න තරම් ජවයක් ඇඟේ නැත්තම් ජීවිතේ දිනන්නනම් ටිකක් අමාරුයි පුතෝ

 

 

2. වැඩ කල් දැමීම

මේක ඇවිල්ලා කලින් කියපු කම්මැලිකමේම ප්‍රතිඵලයක් විදිහට ඇතිවෙන්න පුළුවන්. හැබැයි ඒ විතරක්ම නෙමෙයි, තමන් ගැන ඕනවට වඩා විශ්වාසය නිසා, එක්කො ඒ වැඩේ තමන්ට කරගන්න බැරිවෙයි කියලා තමන් ගැන ඇති අවිශ්වාසය නිසා වගේ විවිධ කාරණා නිසා කෙනෙක් මේ වැඩ කල් දැමීමේ නරක වැඩේ කරන්න පුළුවන්. මේකෙ නරකම කොටස ඒක නෙමෙයි. ඔය වැඩ කල්දාන හුඟක් දෙනා ඒ කල් දැමීම කරන්නේ ඒකෙන් නරක ප්‍රතිවිපාක ඇතිවෙන බව ඉන්තේරුවෙන්ම දැනගෙනයි. මේ නරක පුරුද්ද නැති කර නොගත්තොත්නම් නම් මේ අලුත් අවුරුද්දෙත් දියුණුව බොහෝ ඈතයි.

 

 

3. අපිළිවෙල මුදල් පාලනය

අලුත් අවුරුද්දේ හැදෙනවා, වෙනස් වෙනවා, දියුණු වෙනවා කියන්නෙ මුදල් අතින්ම නෙමෙයි තමයි. හැබැයි ගිය අවුරුද්දට සාපේක්​ෂව මුදල් අතින් දියුණුවක් ලබන්න, වැඩි ඉතිරියක් හෝ ආයෝජනයක් කරන්න බැරිනම් ඒක අනිවාර්‍යෙන්ම දියුණුව කෙසේ වෙතත් පරිහානියේ ලක්ෂණයක්. ඒ නිසා අවුරුද්දෙ මු​ල ඉඳන්ම තමන්ගෙ අතට ලැබෙන මුදල් පිළිවෙලට පාලනය කරන්න ඕන. මාසෙ පඩිය බැලන්ස් කරන් ගේම ගහන හැටි කලින් අපි කතා ක​ළත් මතක ඇතිනේ. අන්න එහෙම ආදායම් වියදම් හරියට ප්ලෑන් කරලා අතට එන සල්ලි පාලනය කරන්න අවුරුද්දෙ මුල ඉඳන්ම හිතට ගන්න ඕන

මාසේ පඩිය ඉතුරු කරගන්නේ කොහොමද? මෙන්න ඒකට උපදෙස්

 

 

4. ඩිජිටල් ඇබ්බැහිය

මේකනම් හුඟ දෙනෙකුගේ පරිහානියේ උඩින්ම තියෙන නරක පුරුද්දක්. තාක්ෂණය දියුණු වෙනවත් එක්කම අපි යාවත්කාලීන වෙලා ඒවගේ උපරිම ප්‍රයෝජන ගන්න ඕන කියන එකනම් සහතික ඇත්ත. හැබැයි ඒ තාක්ෂණයටම අපේ කාලය නිකරුණේ කාල දාල දියුණුවට බාධා කරනවනම් අපි තාක්ෂණයේ වහලුන් වෙනවනෙ. ඒ නිසා ඩිජිටල් උපකරණ භාවිතය අවබෝධයෙන් කරන්න ඕන. කම්පියුටර් ගේම්ස්, ෆේස්බුක්, වට්සැප් වයිබර් චැට් කියන දේවල් වලට අපේ වටිනා කාලය නිකරුණේ කාල දාන්නනම් දෙන්නම එපා.  

 

 

5. අහල පහල කුණු

අනුන්ගේ කුණු හොය හොයා ඉන්න එකෙන් තමන්ගේ දියුණුවට බාධා වෙනව කියල නිකමටවත් හිතිල තියෙනවද? නැත්තම් ඔන්න අද ඉඳන්වත් හිතන්න ගන්න. එහෙම වෙනව තමයි. ඒවට වැයවෙන කාලය, මනසේ නිදහස කියන දේවල් ඊට වඩා බොහෝම ප්‍රයෝජනවත් වැඩ වලට යොදවන්න පුළුවන්. ඒ ඔක්කෝටම වඩා අනුන්ගේ කුණු හොය හොයා ඉන්න නරක මනුස්සයෙක් කියල හංවඩු නොගැහී හොඳ මනුස්සයෙක් විදිහට සමාජයේ ජීවත් වෙන්න පුළුවන්. ඒකත් එක්තරා විදිහක වෙනසක්, දියුණුවක් තමයි... 

 

 

6. වි​ෂ යාළු මාළුවෝ

අනවශ්‍ය යාළුවෝ ජීවිතෙන් ඈත් කරන්න. යාළුවො වගේ මූනිච්චාවට ඉන්න, හැමදාම ජීවිතේට විස පොවන අය කව්ද කියලා අළුත් අවුරුද්ද ලබන්න කලින්ම තේරුම් ගන්න. එයාලව ජීවිතෙන් අයින්ම කරලා දාන්න. ඔයාට අවංකවම හිතවත් හොඳම යාළුවො එක්කෙනෙක් හිටියත් ඇති ජීවිතේට. එක්කෙනෙක්වත් නැතත් කමක් නෑ අනවශ්‍ය යාළුවො ලංකරගෙන ඉන්නවට වඩා. ඒ නිසා දෙපාරක් නොහිතා අනවශ්‍ය හැමෝම ලිස්ට් එකෙන් කපලම දාන්න

 

 

7. හොඳ හිත

ටිකක් පුදුම හිතෙනව නේද එහෙම කිව්වම. හිත හොඳ කම කොහොමද ඇත්තටම නරක පුරුද්දක් වෙන්නෙ? අහල තියෙනවද අර හිත හොඳ ගෑණි හැමදාම බඩින් කියලා 😂 ඒ කියන්නේ හිත හොඳ කමත් වෙලාවකට නරකට හිටින්න පුළුවන්. ඒ අපේ හිත හොඳ කමින් වැරදි ප්‍රයෝජන ගන්න සමාජේ මිනිස්සු දෙපාරක් නොහිතන නිසා. ඒ නිසා ඔක්කෝටම කලින් ඕන දේටයි එපා දේටයි හිත උණුවෙන එක වෙනස් කරගන්න ඕන. හොඳ හිත අවශ්‍ය වෙලාවට අවශ්‍ය පුද්ගලයින්ට විතරක්ම පෙන්නන්න තියාගන්න.

ඉතින් ඔය කාරණා ඔළුගෙඩියේ ගැඹුරුම තැනකට දාගෙන අලුත් අවුරුද්දේ බලන් ඉන්න අයට ඇඬෙන සයිස් එකට හැදෙන්න පුළුවන් වෙන්න කියල අපි ලෝභ නැතුව ප්‍රාර්ථනා කරනව ඔන්න. එහෙනම් ඉදිරියට ලබන්නාවූ 2020 අලුත් අවුරුද්ද හැමෝටම සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *