පබ්ලික් ටොයිලට් එකකට යනකොට තියෙන්න ඕන මැනර්ස් මේවා තමයි!

දැන් ඔය වැසිකිළියකට යනවා කියන එක අපි හැමෝටම අත්‍යවශ්‍ය කාරණයක්නෙ. ඒ කියන්නේ, ශරීර කෘත්‍යය කරන එක අපි හැමෝගෙම දිනපතා අවශ්‍යතාවයක් නිසා. දැන් සමහරු ඔය ශරීර කෘත්‍යය කරන එකට වැසිකිළි පාවිච්චි නොකර, එළිපහළිය, කැළේ, මුහුදු වෙරළ වගේ සොබාවික තැන් පාවිච්චි කරපු කාලෙකුත් තිබ්බා. හැබැයි මේ වෙනකොට එහෙම වෙනවා අඩුයි. මොකද, ඒක ඒ අවට ඉන්න හැමෝගෙම ශාරීරික සෞඛ්‍යයට හොඳ නෑ.

 

දැන් ලංකාව ගත්තොත් ගොඩාක් දුරට ගෙවල් වල වැසිකිළි පහසුකම් තියෙනවා. ශරීර කෘත්‍යය කරන්න බැද්දට රිංගන එක දැන් ඉතාම අඩුවෙන් සිද්ධ වෙන්නේ. එතකොට අපිට අතරමඟකදී එහෙම ශරීර කෘත්‍යය කරන්න ඕනෑකමක් ඇතිවුණොත් මොකද කරන්නේ? එක්කෝ අපි ඒ වෙනුවෙන්ම හදපු පොදු වැසිකිළියකට යනවා. එහෙම නැතිනම්, ඔය සුපර් මාකට් එකක හරි රෙස්ටුරන්ට් එකක හරි තියෙන පොදු වැසිකිළියකට යන්නත් පුලුවන්. ඒකත් සමහරු කරනවා.

 

දැන් එහෙම පොදු වැසිකිළියකට යනකොට, විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන කාරණා තියෙනවා. දැන් සාමාන්‍යයෙන් ගෙදර දොරේ ටොයිලට් එකේදී, එතකොට ඔෆිස් එකේ ටොයිලට් එකේදී එහෙමත් පිළිපදින එක යෝග්‍ය මැනර්ස් ගැන අපි කලිනුත් කථා කරලා තියෙනවා. එතකොට පොදු වැසිකිළි ගත්තහම විශේෂයෙන් පිළිපදින්න ඕන මැනර්ස් තියෙනවද? විශේෂයෙන්ම ඔව්. ආන්න ඒ ගැන තමයි අපි අද කථා කරන්න යන්නේ.

 

01. පබ්ලික් ටොයිලට් එක කැත නොකර වැඩේ කරගෙන එමු

සාමාන්‍යයෙන් ගෙදර ටොයිලට් එක අපි ගොඩක් දෙනෙක් හැකිතාක් පිරිසිදුවට තියාගෙන ඉන්න උත්සාහ කරනවනේ. ඉස්සර නම් පබ්ලික් ටොයිලට් එකක් ගත්තහම අපිට හොඳ අයිඩියා එකක් නෙවෙයි තියෙන්නේ. ලොකුවට පිරිසිදු වෙන්නෙ නැති නිසා අපිරිසිදු, ගඳ ගහන තැනක් තමයි ඉස්සර පබ්ලික් ටොයිලට් එකක් කිව්වහම ඔළුවට එන්නේ. කොහොම වුණත් දැන් තත්වය වෙනස්. දැන් පබ්ලික් ටොයිලට් වල තත්වය ඉහළින් පවත්වා ගන්න, නිරන්තරයෙන් පිරිසිදු කරන්න උනන්දුවක් තියෙන නිසා, දැන් පබ්ලික් ටොයිලට් පිරිසිදුයි. හැබැයි ඉතින් පබ්ලික් ටොයිලට් එකක් කියන්නේ තමන්ගේ තැනක් නෙවෙයි, පොදු තැනක් කියන අදහස නිසා, සමහරු පබ්ලික් ටොයිලට් එකක් පිරිසිදුව තියාගන්න තමන්ගෙන් වෙන්න ඕන දේවල් ගැන ඒ තරම් හිතන්නෙ නෑ. උදාහරණයක් විදියට ගත්තොත්, ගෙදර ටොයිලට් එකේ බිම ටොයිලට් පේපර්ස් කෑලි බෑලි දැම්මොත්, ඒවා පිරිසිදු කරන්නත් ඕන තමන් නිසා, ගොඩක් අය එහෙම කරන්නෙ නෑ. හැබැයි පබ්ලික් ටොයිලට් එකක් පිරිසිදු කරන්න අය ඉන්න නිසා, සමහරු ටොයිලට් පේපර්ස් සහ තවත් කැළි කසළ එහේ මෙහේ හලනවා. අනවශ්‍ය විදියට වතුර හලනවා. ආන්න ඒක නොකර ඉන්න එක අත්‍යවශ්‍යයි.

 

02. බලිකුරුටු අඳින්නෙ නැතුව වැඩේ කරගෙන එමු

මෙන්න මේක එක කාලයකදී පබ්ලික් ටොයිලට් වල අතිශයින්ම කරදරකාරී පුරුද්දක් වෙලා තිබුණු දෙයක්. ඒ තමයි, පබ්ලික් ටොයිලට් එකේ බිත්ති වල අරෙහෙ මෙහේ බලිකුරුටු අඳින එක. ගොඩක් වෙලාවට මේ විදියට පබ්ලික් ටොයිලට් බිත්ති වල මිනිස්සු කුරුටු ගාන්නේ කුණුහරුප රූප සහ කුණුහරුප වචන. ඒ අතරේ සමහරු එක එක ෆෝන් නම්බර්ස්, එක එක නම් එහෙමත් ලියනවා. මෙන්න මේක අතිශයින්ම කැත පුරුද්දක්. අන්න ඒ නිසා, හරි මැනර්ස් තියෙන මනුස්සයෙක් පබ්ලික් ටොයිලට් එකකට ගියහම තමන් ගියපු ශරීර කෘත්‍යය වැඩේ කරගෙන එන එක තමයි කරන්න ඕන.

 

03. ක්‍රවුඩ් වෙන්නෙ නැතුව වැඩේ කරගෙන එමු

සාමාන්‍යයෙන් පබ්ලික් ටොයිලට් එකක් කියන්නේ මිනිස්සු ගැවසෙන තැනක්නේ. විශේෂයෙන්ම ඔය අගනුවරක එහෙම තියෙන පබ්ලික් ටොයිලට් එකක් ගත්තොත්, නිරන්තරයෙන්ම මිනිස්සු ගැවසෙනවා. අන්න ඒ නිසා, පබ්ලික් ටොයිලට් එකක් තදබද නොවී තියාගන්න එකත් අපි කරන්න ඕන දෙයක්. අපිට ඉන්නම බැරි තරම් හදිසි අවශ්‍යතාවයක් තියෙනවා නම් කොහොම හරි පබ්ලික් ටොයිලට් එකේ තැනක් සෙට් කරගන්න එක වෙනම දෙයක්. එහෙම නැතිනම් පොඩ්ඩක් ඇතුළේ ඉන්න කීප දෙනෙක් එළියට එනකල් අපිට ඉන්න පුලුවන්. ඒ වගේම, සාමාන්‍යයෙන් ගොඩක් සෙනඟ පබ්ලික් ටොයිලට් එකේ නැතිනම්, අපි හැකිතාක් ඇතුළේ ඉන්න අයගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරන්න ඕන. උදාහරණයක් විදියට ගත්තොත්, කවුරුහරි එක ස්ටෝල් එකක් ඇතුළේ ඉන්නවා නම්, අනික් ස්ටෝල් හිස් නම්, අපි කෙලින්ම යාබද ස්ටෝල් එක ඇතුළට යන්නෙ නැතුව, අතරමැද ස්ටෝල් එකක් හිස්ව තියලා ඊලඟ ස්ටෝල් එකට යන්න ඕන. අර පිරිමි අයට මුත්‍රා කරන්න තියෙන යුරීනල් පාවිච්චි කරනකොටත් එහෙම තමයි. ඒ ගැන විස්තරාත්මකව අපි ඊලඟ පොයින්ට් එකෙන් කියනවා.

 

04. යුරීනල් එකේදී හරි විදියට වැඩේ කරගෙන එමු

මේ කියන්නේ පිරිමි අයට මුත්‍රා කරන්නම විශේෂයෙන් හදලා තියෙන අර පටු බේසම් වගේ ඒවා සම්බන්ධයෙන්. යුරීනල් කියන්නේ. දැන් එකක් තමයි, යුරීනල් එකක් තෝරගන්නකොට වුණත්, පබ්ලික් ටොයිලට් එක ඇතුළේ ගොඩක් සෙනඟ නැතිනම් ලඟ ලඟ යුරීනල් තෝරගන්නෙ නැතුව, එක්කෙනෙක් වැඩේ කරමින් ඉන්නවා නම්, එයාට එහා පැත්තේ එකට යන්නෙ නැතුව, එකක් ඇරලා ඊලඟ යුරීනල් එකට යන එක. ඒ වගේම, යුරීනල් එකක මුත්‍රා කරමින් ඉන්නකොට තමන්ගේ පාඩුවේ තමන්ගේ වැඩේ කරන එක ඉතාම වැදගත්. එහෙම නැතුව එහා පැත්තේ මනුස්සයා කරන වැඩේ බලන එක, එහෙම නැතිනම් එහා පැත්තේ මනුස්සයාගේ ලිංගේන්ද්‍රිය දිහා බලන එක වගේ දේවල් කිසිසේත්ම නොකළ යුතුයි. කොටින්ම කියනවා නම්, අනික් මනුස්සයා අපහසුතාවයට පත් වෙන කිසිම දෙයක් නොකළ යුතුයි.

 

05. කයිය නොගහා, ඉක්මනින් වැඩේ කරගෙන එමු

පබ්ලික් ටොයිලට් එකක් කියන්නේ පොදුවේ හැමෝටම යන්න එන්න තියෙන, හැමෝටම නිදහස තියෙන්න ඕන තැනක්. ආන්න ඒ නිසා, අපි මුලින්ම හිතට ගන්න ඕන, පබ්ලික් ටොයිලට් එකට ගිහින් කැරකි කැරකී, ලතැවි ලතැවී ඉන්නෙ නැතුව, හැකිතාක් කඩිසරව තමන්ගේ වැඩේ කරගෙන, හොඳින් පිරිසිදු වෙලා, අත් එහෙමත් පිරිසිදු කරගෙන එළියට එන්න. දැන් අපි කියමු යාළුවෝ කීප දෙනෙක් පබ්ලික් ටොයිලට් එක ඇතුළට ගියා කියලා. යාළුවන්ට ආයෙ කථා කර කර ඉන්න ඕන තරම් දේවල් තියෙනවා තමයි. හැබැයි එහෙම කියලා පබ්ලික් ටොයිලට් එකක් ඇතුළේ කයිය ගහ ගහා ඉන්න එකෙන් වෙන්නේ අනික් මිනිස්සුන්ටත් කරදරයක් වෙන එක. ඒ වගේම, පබ්ලික් ටොයිලට් එක ඇතුළ අනවශ්‍ය විදියට තදබද වෙන එක. දැන් අපි කියමු පබ්ලික් ටොයිලට් එකට ගිහින් ඉන්න වෙලාවක අඳුනන මනුස්සයෙක්ව දකිනවා කියලා. එතකොට මොකද කරන්නේ? පොඩ්ඩක් ඔළුව වනන්න, ඒ කියන්නේ නොඩ් එකක් දෙන්න. නැතිනම් හිනාවක් දාලා ඔළුව වනන්න. ඒ හොඳටම ඇති. එහෙම නැතුව “අඩෝ දැක්ක කල්” කියාගෙන ලඟට යන්න, එහෙම ගිහින් කයියට සෙට් වෙන්න හරියන තැන පබ්ලික් ටොයිලට් එක නෙවෙයි. කතා කරන්න අත්‍යවශ්‍ය වුවමනාවක් තියෙනවා නම්, තමන්ගේ වැඩේ කරගෙන පබ්ලික් ටොයිලට් එකෙන් එළියට ගිහින්, එයා එළියට එනකල් ඉන්න. ඊට පස්සේ තමන්ගේ කයිය ගහගන්න පුලුවන්.

 

06. සෙක්ෂුවල් ඇඩ්වාන්ටේජ් නොගෙන වැඩේ කරගෙන එමු

මෙන්න මේක ටිකක් සංවේදී, හැබැයි කථා කළ යුතුම කාරණයක්. හේතුව, තාමත් සමහර පබ්ලික් ටොයිලට් වල මේ ප්‍රශ්නය තියෙන නිසා. ඇත්තටම අහන්න ලැබෙන විදියට ගොඩක් දුරට පිරිමින්ට වෙන් වුණු පොදු වැසිකිළි අවකාශයන් තුළ වැඩියෙන්ම දකින්න ලැබෙන ප්‍රශ්නයක්. ඒ තමයි සමරිසි නැඹුරුතාවයන් තියෙන සමහරු, පිරිමින්ට වෙන් වුණු පොදු වැසිකිළි තුළ, එහෙම සමරිසි සම්බන්ධතාවයකට යන්න කිසිදු වුවමනාවක් නැති අයගේ පවා ඇඟට එන්න හදන එක. සමහර විට බලහත්කාරයෙන් දේවල් පවා සිද්ධ වෙනවා. මෙන්න මේක ලිංගික අතවරයක්, ලිංගික හිරිහැරයක් කියන එක මතක තියාගන්න. තමන්ට පාට්නර් කෙනෙක් හොයාගන්න වෙනත් තැන් තියෙනවා. එහෙම තැනකදී මිසක්, පබ්ලික් ටොයිලට් එකකදී සෙක්ස් පාට්නර්ස්ලා හොයන්න යන එක නොකර ඉන්න අවශ්‍යයි. එහෙම නොකර, පබ්ලික් ටොයිලට් එකකට ගිහින් තමන්ගේ ශරීර කෘත්‍යය කර්තව්‍යය කරගෙන එන එක තමයි හරි විදිය.

 

07. සල්ලි ගෙවලා වැඩේ කරගෙන එමු

මේක ටිකක් පුද්ගලානුබද්ධ කාරණාවක්. සාමාන්‍යයෙන් දැන් තියෙන ඔය සුපර් ක්ලීන් එකට තියාගෙන ඉන්න පබ්ලික් ටොයිලට් වලට ගිහින් තමන්ගේ වැඩේ කරගෙන එන්න යම් මුදලක් අය කරනවා. ඒ පබ්ලික් ටොයිලට් නිරන්තරයෙන්ම පිරිසිදුව නඩත්තු කරගෙන පවත්වාගෙන යෑම ගැන හිතනකොට, එහෙම මුදලක් අය කරන එක ගැන අපිට මොකුත් කියන්න බෑ. එහෙම අවස්ථාවකදී අපි ඒ මුදල ගෙවලා අපේ වැඩේ කරගෙන එන එක තමයි හොඳ දේ. ඒ හැරෙන්න, ඔය සුපර් මාර්කට්ස්, රෙස්ටුරන්ට් වගේ තැන්වලත් පබ්ලික් ටොයිලට් තියෙනවා. හැබැයි ඒ තැන්වල පබ්ලික් ටොයිලට් පහසුකම් වෙන් වෙලා තියෙන්නේ කස්ටමර්ස්ලට තමයි. එහෙම අවස්ථාවකදී ඒ තැනකින් පොඩි දෙයක් හරි මිලදී ගෙන ඒ ඒ තැන් වල පබ්ලික් ටොයිලට් පහසුකම් පාවිච්චි කරන්න පුලුවන්.

 

දැන් ඔහොම කිව්වට, හදිසි අවස්ථා එන්න පුලුවන්. ඒ කියන්නේ හිරකරගෙන ඉන්න බැරි ශරීර කෘත්‍යය අවශ්‍යතාවයකුත් තියෙන, හැබැයි අතේ සල්ලිත් නැති අවස්ථා. එහෙම අවස්ථාවකදී ඒ අදාළ තැනකට අවශ්‍යතාවය කියලා ගිහින් එන්න පුලුවන්. එහෙම අවස්ථාවකදී “සල්ලි නැතිනම් යන්න දෙන්න බෑ” කියලා කවුරුත් කියන එකක් නෑ!  

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *