ගෙදර පාටියක් වෙලාවට ලේසියෙන් හදාගන්න පුළුවන් ජග් කොක්ටේල් කීපයක්!

අපි ගෙදරක පාටියක් එහෙම දානකොට බොන්න මොනවහරි එහෙමත් අවශ්‍ය වෙනවනේ. හැබැයි ඉතින් විශේෂයෙන්ම ගෙදර පාටියක් වෙලාවට වෙනම බෝතල් පිටින් තියලා බොන්න සෙට් වෙනවට වඩා හොඳයි, හැමෝටම සෙට් වෙන හොඳ කොක්ටේල් එකක් වගේ සීන් එකක් කරන එක. හැබැයි ඉතින් එහෙම කිවුවහම අපිට ඔලුවට එන්නේ අර හොඳ ලෙවල් එකේ බාර් එකක බාර් අයියා කොක්ටේල් හදන විදියනේ. අනං මනං එක එක විදියේ ෂේකර් වලට දාලා, අමුතු අමුතු ගැජට් බැජට් පාවිච්චි කරලා, කරකවලා, උඩදාලා, දන්න සර්කස් ඔක්කොම දාලනේ එක කොක්ටේල් එකකුත් හදන්නේ. එහෙව් එකේ පාටියක සෙට් එකකට දෙන්න කොහොමදෑ ගෙදර කොක්ටේල් හදන්නේ?

එහෙම කිව්වට සැලෙන්න එපා. ගෙදර හදන්න පුළුවන් ඇල්කොහොල් මිශ්‍ර බීම වර්ග, ඒ කියන්නේ කොක්ටේල් වර්ග තියෙනවා. පහසුවෙන් හදාගන්නත් පුළුවන්. ඕවලට ජග් කොක්ටේල්ස් කියලත් කියනවා, ගෙදර තියෙන ජග්ගුවක වගේ හදාගන්න පුළුවන් නිසා. ඒ නිසා, අපි හිතුවා ඒ විදියේ රෙසිපි කීපයක් ගැන ලියන්න. එතකොට ආයෙ ගෙදර පාටියක් සෙට් වෙන වෙලාවට හිත හිතා ඉන්න දෙයක් නෑ!

 

1. Mojito pitcher

මොහිතෝ ගැන අපි හැමෝම දන්නවනේ. පාටියකට සෙට් වෙන්න හොඳ ක්ලැසික් මොහිතෝ පිචර් එකක් වගේම, ස්ට්‍රෝබෙරි මොහිතෝ වගේ වෙන වෙන රස එකතුකරපු මොහිතෝ එහෙමත් හදන්න පුළුවන්. හදන්නේ මෙහෙමයි.

 

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. ලයිම් දෙහි ගෙඩි 7 ක්
  2. කැට තියෙන සීනි මේස හැඳි 4 ක්
  3. මින්ට් ඉති 4-5 ක්
  4. වයිට් රම් මිලිලීටර් 350
  5. ස්පාර්ක්ලින් වෝටර් මිලිලීටර් 600 ක්

 

හදන ක්‍රමය

 

  • ලෙමන් දෙහි ගෙඩි 6 ක් අරගෙන, එක එක ගෙඩිය ගාණේ කෑලි හයකට කපාගෙන, ලීටර් 2 ක විතර ජග්ගුවකට දාගන්න. ඒකට සීනිත් දාලා, ලී හැන්දක් වගේ එකක් හරි රෝලින් පින් එකක් හරි අරගෙන, ජග්ගුවේ අඩියේ තියෙන දෙහි සහ සීනි ටික හොඳට තලලා, පල්ප් කරගන්න.
  • මින්ට් කොළ ටික කඩලා එක අල්ලකට අරගෙන, ඒක උඩට අනික් අල්ලෙන් ගහලා, ටිකක් කොළ ටික තලාගන්න. දැන් ඒ ටිකත් ජග්ගුවට දාගන්න.
  • ජග්ගුවේ හතරෙන් තුනක් පිරෙන්න අයිස් දාගන්න. දැන් රම් එකතු කරන්න. දිග හැන්දකින් දැන් හොඳට මිශ්‍ර කරන ගමන්, ජග්ගුවේ ඉතුරු ටික පිරෙන්න ස්පාර්ක්ලින් වෝටර් එකතු කරගන්න.
  • ආයෙත් හැඳි ගාලා මිශ්‍ර කරලා, ඉතුරු ලයිම් දෙහි ගෙඩියේ පෙති වීදුරුවේ දාරෙට ගහලා වීදුරු වලට මොහිතෝ එක පුරවගන්න.

 

2. Rumberry Punch

ක්‍රැන්බෙරි යුෂ සහ රම් දාලා රම්බෙරි පන්ච් එකක් හදාගන්නෙ මෙහෙමයි!

 

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. ඩාර්ක් රම් මිලිලීටර් 350 ක්
  2. ක්‍රැන්බෙරි යුෂ ලීටර් 1 ක්
  3. ජින්ජර් ඒල් ලීටර් 1 ක්

 

හදන ක්‍රමය

 

  • මුලින් රම් බෝතලේ ෆ්‍රිජ් එකේ දාලා ටිකක් කූල් කරගන්න.
  • ක්‍රැන්බෙරි සහ ජින්ජර් ඒල් දෙකත් ඒ විදියටම කූල් වෙන්න තියන්න.
  • ඊට පස්සේ ඩාර්ක් රම්, ක්‍රැන්බෙරි සහ ජින්ජර් ඒල් තුනම වීදුරු ජග්ගුවකට හරි, ලොකු බෝල් එකකට හරි දාලා මිශ්‍ර කරගන්න. ඊට පස්සේ පිළිගන්වනකොට, අයිස් දාපු වීදුරු වලට දාලා පිළිගන්වගන්න.

 

3. Long Island Iced Tea

එක එක විදියේ ඇල්කොහොල් වර්ග කීපයක් එකට එකතු කරලා හදපු ලෝන්ග් අයිලන්ඩ් අයිස් ටී එකේ අමුතු කික් එකක් තියෙන්නේ. රස්නේ කාලේ පාටියකට හැමෝටම හරියන්න කොක්ටේල් එකක් විදියටත් මේක හදාගන්න බැරි නෑ. හදන්නෙ මෙහෙමයි!

 

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. වොඩ්කා මිලිලීටර් 50 ක්
  2. ඩ්‍රයි ජින් මිලිලීටර් 50 ක්
  3. ටකීලා මිලිලීටර් 50 ක්
  4. රම් මිලිලීටර් 50 ක්
  5. ට්‍රිපල් සෙක් මිලිලීටර් 50 ක්
  6. නැවුම්ව මිරිකා ගත් ලයිම් දෙහි යුෂ මිලිලීටර් 50-100 ක්
  7. කෝලා මිලිලීටර් 500 ක්
  8. අයිස්
  9. කැබලි කපාගත් ලයිම් දෙහි ගෙඩි දෙකක්

 

හදන ක්‍රමය

 

  • ලොකු ජග්ගුවක් අරගෙන, ඒකට වොඩ්කා, ජින්, ටෙකීලා, රම් සහ ට්‍රිපල් සෙක් ටික දාලා මිශ්‍ර කරගන්න. දැන් ඒකට රස අනුව ලයිම් දෙහි යුෂ දාන්න. ඊට පස්සේ ජග්ගුවෙන් භාගයක් විතර පිරෙන්න අයිස් දාන්න.
  • දැන් ජග්ගුව සීතලයි කියලා දැනෙනකල්ම හැඳිගාමින් මිශ්‍ර කරගන්න. එහෙම හැඳිගාන අතරෙම ටික ටික කෝලා ටික එකතු කරගන්න. ඒකටම කෑලි කපාගත්තු ලයිම් දෙහි ටිකත් දාන්න.
  • පිළිගන්වකොටත් එක් එක් වීදුරුවකට අයිස් කැට දාලා, ඒක උඩින් හදාගත්තු ලෝන්ග් අයිලන්ඩ් අයිස් ටී එක දාගන්න.

 

4. Ginger, Apple & Vanilla Punch

ෆ්‍රෙෂ් ගතියත් එක්ක හොඳ පන්ච් එකකුත් තියෙන ඉඟුරු-ඇපල්-වැනිලා පන්ච් එකක්, හවස් වරුවක එහෙම පාටියකට මරුවට නැගලා යයි. හදාගන්නේ මෙහෙමයි.

 

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. ජින්ජර් බියර් ලීටර් 1 ක්
  2. ශීත කරගත් ඇපල් යුෂ මිලිලීටර් 500 ක්
  3. වැනිලා වොඩ්කා වර්ගයකින් මිලිලීටර් 500 ක්
  4. නැවුම් ලයිම් දෙහි ගෙඩි 2 ක යුෂ
  5. කැබලි කපාගත් ලයිම් දෙහි ගෙඩි 2 ක්
  6. සිහින්ව කපාගත් ඇපල් ගෙඩි 1 ක්
  7. සුද්ධ කර සිහින් කැබලි කරගත් අඟලක පමණ ඉඟුරු කැබැල්ලක්

 

හදන ක්‍රමය

 

  • ලොකු ජග්ගුවක් අරගෙන ඒකට ජින්ජර් බියර්, ඇපල් යුෂ, වැනිලා වොඩ්කා සහ ලයිම් දෙහි යුෂ කියන ඔක්කොම එකතු කරගෙන, හොඳට මිශ්‍ර කරගන්න.
  • ඒකට සිහින්ව කපාගත්තු ඇපල්, ඉඟුරු සහ ලයිම් දෙහි කෑලි ටිකත් එකතු කරගන්න. ඒ ඔක්කොම මිශ්‍ර කරලා, පිළිගන්වන්න කලින් හොඳට අයිස් එකතු කරගන්න.

 

5. Easy Sangria

රස්නේ දවසකට ගැලපෙන, පළතුරු වලට ආස අයට කොහොමත් ගැලපෙන කොක්ටේල් එකක් තමයි සංග්‍රියා කියන්නේ. ගෙදර පාටියකට පහසුවෙන් සංග්‍රියා පිචර් එකක් හදාගන්නේ මෙහෙමයි!

 

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. කැබලි කරගත් දොඩම් ගෙඩි 2 ක්
  2. කැබලි කරගත් පෙයාර්ස් ගෙඩි 2 ක්
  3. කැබලි කරගත් ලෙමන් දෙහි ගෙඩි 2 ක්
  4. ලෙමන් දෙහි ගෙඩි 1 ක යුෂ
  5. ස්ට්‍රෝබෙරි ග්‍රෑම් 200 ක්
  6. කැට ලොකු සීනි මේස හැඳි 3 ක්
  7. කුරුඳු කුඩු තේ හැඳි 1 ක්
  8. රතු වයින් මිලිලීටර් 750 ක බෝතලයක්
  9. ස්පාඤ්ඤ බ්‍රැන්ඩි වර්ගයකින් මිලිලීටර් 100 ක් (නැතිනම් විස්කි හරි රම් හරිත් අවුලක් නෑ)
  10. ස්පාර්ක්ලින් වෝටර් මිලිලීටර් 100 ක්
  11. අයිස්

 

හදන ක්‍රමය:

 

  • කුඩා කැබලි වලට කපාගත් පළතුරු සියල්ලට වීදුරු බෝල් එකකට දාගෙන, ඊට උඩින් සීනි සහ කුරුඳු කුඩු ඉහලා, ඒ ඔක්කොම පළතුරු කැබලි වලට උරාගන්න කල් හොඳින් කලවම් කරගන්න. දැන් මේ බෝල් එක ආවරණය කරලා පැය කීපයක් ශීතකරණයේ තියාගන්න. රැයක් ශීතකරණයේ තියන්න පුළුවන් නම් වඩාත් හොඳයි.
  • දැන් ලොකු ජග්ගුවකට අයිස් පුරවලා, ඒකට අර ශීතකරණයේ තියලා ගත්තු පළතුරු මිශ්‍රණය හැඳි ගාමින් එකතු කරන්න. මතක තියාගන්න, සීනි සම්පූර්ණයෙන්ම දියවෙන්නට අවශ්‍යයි. දැන් ඒකට වයින් සහ බ්‍රැන්ඩි ටික ටික කවලම් කරමින් එකතු කරන්න. දැන් ඒ මතට ස්පාර්ක්ලින් වෝටර් එකතු කරගන්න. සංග්‍රියා කොක්ටේල් එක දැන් පාටියට පිළිගන්වන්න ලෑස්තියි!

 

6. Pimm’s

පිම්ස් කියන්නේ හදාගන්න අතිශයින්ම පහසු කොක්ටේල් එකක් වුණාට, ට්‍රික් එක තියෙන්නේ ඒකට අවශ්‍ය පිම්ස් නම්බර් 1 ජින් ලිකර් එක හොයාගන්න එක. ඒක හොයාගත්තොත්, පාටියකට සෙට් වෙන මරු කොක්ටේල් එකක් තමයි පිම්ස් කියන්නේ!

 

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. පිම්ස් නම්බර් 1 මිලිලීටර් 200 ක්
  2. ලෙමනේඩ් මිලිලීටර් 600 ක්
  3. මින්ට් කිනිති ටිකක්
  4. කපාගත් පිපිඤ්ඤා පෙති කීපයක්
  5. කපාගත් දොඩම් ගෙඩියක්
  6. කපාගත් ස්ට්‍රෝබෙරි ටිකක්

 

හදන ක්‍රමය:

 

  • ජග්ගුවක් අරගෙන, ඒක අයිස් වලින් පුරවගන්න. දැන් ඒක උඩට පිම්ස් නම්බර් 1 සහ ලෙමනේඩ් පුරවන්න. ගෙදර එවෙලේ හදාගත් ලෙමනේඩ් නම් වඩාත් හොඳයි.
  • දැන් ඒක හොඳට කලතා ගනිමින් මිශ්‍ර කරගන්න. දැන් ඒ මතට මින්ට් කොළ, පිපිඤ්ඤා කැබලි, දොඩම් කබලි සහ කපාගත් ස්ට්‍රෝබෙරි කැබලි එකතු කරගන්න.

 

7. Mango & Pineapple Mojito

ගෙදර පාටියකට ක්ලැසික් මොහිතෝ එකක් හදාගන්න හැටි නම් අපි කිව්වනේ. දැන් කියන්න යන්නේ අඹ සහ අන්නාසි රසත් එක්ක මොහිතෝ එකක් හදාගන්න විදිය ගැන තමයි.

 

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. කුඩා කැබලි කරගත් අන්නාසි ග්‍රෑම් 50 ක්
  2. කුඩා කැබලි කරගත් අඹ ග්‍රෑම් 50 ක්
  3. කුඩා කැබලි කරගත් ලයිම් දෙහි ගෙඩි 3 ක්
  4. සිහින් දුඹුරු සීනි මේස හැඳි 2 ක්
  5. මින්ට් කිනිති 2 ක කොළ
  6. වයිට් රම් මිලිලීටර් 150 ක්
  7. පයිනැපල් රම් මිලිලීටර් 200 ක්
  8. ස්පාර්ක්ලින් වෝටර් මිලිලීටර් 600 ක්
  9. අයිස්

 

හදන ක්‍රමය:

 

  • අන්නාසි කැබලි, අඹ කැබලි, ලයිම් දෙහි කැබලි සහ සීනි ඉඩ තියෙන ජග්ගුවකට දාලා, ලී හැන්දකින් හරි රෝලින් පින් එකක අගිස්සකින් හරි හොඳට තලාගනිමින් මිශ්‍ර කරගන්න.
  • දැන් අත්ලක තියලා පොඩ්ඩක් පොඩි කරපු මිංචි කොළ ඒකට දාලා, මිශ්‍ර කරලා, ඊට උඩින් අයිස් දාන්න. දැන් ඒකට වයිට් රම්, පයිනැපල් රම් සහ ස්පාර්ක්ලින් වෝටර් දාන ගමන් හොඳින් මිශ්‍ර කරගන්න.
  • පයිනැපල් රම් හොඳ බ්‍රෑන්ඩ් එකක් හොයාගන්න නැති වුණොත් අවුලක් ගන්න එපා. පයිනැපල් ජූස් එකකින් ටිකක් රස අනුව දාගෙන බලන්න.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *