කොරෝනා කාලේ ඉඟි බිඟි පෙම් කෙළි කරන්නේ මෙහෙමයි!

ඉස්කෝලෙ කාලෙදී නිතර සබන් යොදා අත් සෝදමු කිව්වට ඇත්‍තටම අපි හිතුවද මේ ලෙවල් එකෙං අත් හෝදන්න වෙයි කියලා. දැං ඉතින් සුපර් මාර්කට් එකට යනකොට අත් හෝදන්න ඕන. සුපර් මාර්කට් එකෙන් එලියට එනකොට සැනිටයිසර් වලින් අත් හෝදන්න ඕන. එතනින් ඇඳුම් කඩේට ගියත් ආයෙ අත් හෝදන්න ඕන. ඔන්න ඔහොම තමයි ජීවිතේ දැන් කාලේ. සමහරු කියනවා අත් හෝදලම අල්ලෙ රේඛාත් ගෙවිල කියලා. හැබැයි ඒ වුණාට අත් සේදීම අනිවාර්යයි. 

ඒ විතරක් නං මදැයි. මළාට කෙල්ලෙක්ගේ කොල්ලෙක්ගේ මූණෙන් කොයි වගේද කියලා හොයාගන්න බෑ. ඇයි මාස්ක් දාලනේ. දැන් ලිප්ස්ටික් වැඩකුත් නෑ, බියර්ඩ් ගෘමින් වැඩකුත් නෑ. ඉතින් අපි ඇස් දෙකයි, නළලයි, කන් දෙකයි දිහා බලලා හිතින් හිතාගන්න ඕන මූණේ හැඩතල. මාස්ක් එක ගැලෙව්වහම සමහර වෙලාවට අපිටම අපේ ඉමැජිනේෂන් එක ගැන ලැජ්ජා හිතෙන විදියේ මූණු වෙන්නත් පුළුවන් තියෙන්නේ!

ඉතින් මේ පිස්සුවෙන් අත් සෝදන, මාස්ක් එකෙන් මූණ වහගෙන යන, සමාජ දුරස්ථකරණය රූල් එකක් වෙච්ච කොරෝනා තියෙන අලුත් ලෝකේ කොහොමද කෙල්ලෙක් කොල්ලෙක් එක්ක ෆ්ලර්ට් කරන්නේ? ඒ කියන්නේ ඔය පෙම් කෙළි වලට කලින් එන ඉඟි බිඟි පාලා දැලේ දාගන්න වැඩේ ගැන. ඒ ගැන ටිප්ස් කීපයක් තමයි මේ!

 

1. ස්කෑනින්!

ඇත්තටම මේක ෆ්ලර්ට් කරන්න පටන් ගන්න කලින්ම තියෙන්න ඕන හැකියාවක්. ඒ කියන්නේ ස්කෑන් කරලා බලන්න ඕන කෙනාව. දැන් කාලේ මේ ස්කෑනින් කරන සීන් එක ටිකක් අමාරුයි. ඇයි හැමෝම මාස්ක් දාලනේ. කමක් නෑ. මූණේ පේන කොටස ස්කෑන් කරලා බලමු අපි කැමති වෙන විදියේ කෙනෙක්ද කියලා. ඒ එක්කම කරුණාකරලා වම් අතේ ඇඟිලි එහෙමත් ස්කෑන් කරලා බලන්න කසාද බැඳපු කෙනෙක්ද කියලා.

 

2. අයි කොන්ටැක්ට්!

අයි කොන්ටැක්ට් කියලා කියන්නේ ඔය ඇසට ඇස හමුවුණා කියලා සිංදු වලින් එහෙමත් කියන සීන් එක තමා. ඇත්තම කතාව තමයි, මේ මාස්ක් දාලා ඉන්න කාලේ ඔය ඇහැට ඇහැ දෙන සීන් එක වඩාත් ලේසියි කියන එක. හැබැයි ඉතින් අයි කොන්ටැක්ට් එකෙන් පටන් ගන්නකොට ඒකේ සාස්තරේ හරියට දැනගෙන ඉන්නත් ඕන. ඒක මෙහෙමයි. මුලින් අපි කැමතියි කියලා පෙන්නන්න එයාගේ ඇස් දිහා බලනවා. තත්පර තුනක් විතර අයි කොන්ටැක්ට් එක තියාගෙන ඉන්න ඕන. මොකද ඊට වැඩි වුණොත් එයා අපහසුතාවයට පත් වෙයි. ඊට අඩු වුණොත් අපි අවධානය දෙනවා කියලා පේන්නෙ නැති වෙයි.

හැබැයි අපි එහෙම බලනකොට එයාත් අපි දිහා එහෙම අවධානයෙන් බලන්නෙ නැති වෙන්න පුළුවන්. කමක් නෑ. තව පාරක් ට්‍රයි කරන්න. ඒත් බැරි වුනොත් තුන්වෙනි පාරටත් ට්‍රයි කරන්න. එහෙමත් බැරි වුණොත් කරුණාකරලා වැඩේ නවත්තලා දාන්න. එයා අපිට ඉන්ටරෙස්ට් නෑ!

 

3. හිනාවෙමු!

මොකක් කිව්වා? මාස්ක් දාගෙන හිනාවෙන්න? නැහැ, ඇත්තටම කියන්නේ. අයි කොන්ටැක්ට් එකෙන් වැඩේ පොසිටිව් නං හිනාවක් දාන්න. මාස්ක් එකෙන් හිනාව පේන්නෙ නෑ තමයි. හැබැයි පුතා මාස්ක් එක දාගෙන හිටියත්, අපි ජෙනුයින්ලි හිනාවෙන කොට අපේ මූණම හිනාවෙනවා. ඇසුත් හිනාවෙනවා. හොඳ හිනාවක් එක්ක අපේ සම්පූර්ණ බොඩි ලැන්ග්වේජ් එකම වෙනස් වෙනවා. ආන්න එතකොට ඒ පැත්තේ කෙනාට හොඳ ප්‍රසන්න හැඟීමක් දැනේවි.

 

4. හලෝ!

හිනාවෙනුත් පොසිටිව් නං ඉතින් හිතින් රබන් ගහගහ ඉඳලා හරියන්නෙ නෑ. ගිහින් කතා කරන්න වෙනවා. මෙව්වා නං කොරෝනා කාලෙට විතරක් විශේෂ දේවල් නෙවෙයි. ඕන නං සිම්පල් හලෝ එකකින් පටන් ගන්න පුළුවන්. කෙලින්ම හලෝ කියන්න ෂුවර් නෑ වගේද? එහෙමනම් ඉතින් දෙන්නා ඉන්න තැන අනුව පොඩි පහේ ලයින් එකකින් පටන් ගන්න පුළුවන්. “අද සෑහෙන සෙනඟ නේද?” වගේ එකක් වුණත් කමක් නෑ. ඕන නං “අදත් කොරෝනා කේසස් පන්සීයක් නේද?” වගේ කාලීන කතන්දරයක් ඇදගන්නත් පුළුවන්! හැබැයි ඉතින් “ගෝලීය උෂ්ණත්වය ඉහළ යනවා නේද?” වගේ ලයින් නම් අතඅරින්න එපා. අර බැල්මෙනුයි හිනාවෙනුයි දාගත්තු ලකුණු ටික කැපෙන පොටක් ඒ!

 

5. ඔයා හරිම ජොලි අනේ!

දැන් තාමත් දෙන්නා මාස්ක් ගලවන ලෙවල් එකට ඇවිල්ලා නැහැනේ. අන්න ඒ නිසා බැල්මෙන් සහ කතාවෙන් තමයි ගොඩදාගන්න වෙන්නෙ වැඩේ. කතාවට හාස්‍ය රසයත් ගේන්න පුළුවන් නම් මරේ මරු. ඇයි? කාන්තාවෝ කැමතියි කියනවනේ හොඳ හාස්‍ය රසයක් තියෙන පිරිමින්ට. අන්න ඒ නිසා, ඔය ලයිට් ටෝක් එක අස්සෙම පොඩි ජෝක් එකක් එහෙම කළාට කමක් නෑ. හැබැයි මේ කියන්නේ අර සයන්ස් ජෝක්, මැත්ස් ජෝක්, ඉන්ජිනියරින් ජෝක් වගේ එක කොටසකට විතරක් තේරෙන ජෝක්ස් නෙවෙයි. ඒ වගේම ඩබල් මීනින්, සෙක්ස් ජෝක්ස් එහෙමත් නෙවෙයි. “ඔන්න මං විහිළු කතාවක් කියන්නං” කියලා පටන් ගන්න ජෝක්සුත් නෙවෙයි. තමන්ගේ කතාබහ මැද්දෙම මික්ස් කරන්න පුළුවන් සරල හිනා යන කෑල්ලක්.

 

6. විවෘතයි, කෙයාරින්ග්!

ඇත්තටම මුණගැහුණු පොඩි කාලේ ඇතුළතදී වුනත් බොහොම විවෘතව කතා කරන, හැසිරෙන කෙනෙක්ට කාන්තාවක් ආකර්ෂණය වෙන්න තියෙන ඉඩ වැඩියි. හැබැයි මේ විවෘත කම කියන්නේ පුද්ගලිකත්වයට කෙලින්ම අත දාන එක නෙවෙයි. අව්‍යාජව කතාබහ කරන එක, ඇඹරෙන්නේ නැතුව දෙයක් කියන්න පුලුවන් එක වගේ දේවල්. ඇත්තටම එහෙම විවෘත වෙනකොට දෙන්නටම අපහසුතාවයකින් තොරව කතාබහ කරන්නත් පුළුවන්.

 

ඒ වගේම තමයි කෙයාරින්ග් කියන එක. ඒ කියන්නේ මේ හම්බුවෙලා විනාඩි පහක් ඇතුළතදී “ඔයා දවල්ට කෑවද” කියලා අහන එක නෙවෙයි. හැබැයි ඉතාම සුළු දේවලින් මේ කෙයාරින් කියන එක පෙන්නන්න පුළුවන්. උදාහරණයක් විදියට අපි හිතමු අපි ඉන්නේ සුපර් මාර්කට් එකේ බිල් ගෙවන පෝලිමේ කියලා. එතකොට අපිට ඕන නම් පුළුවන් එයාගේ බඩු කූඩේ උස්සලා අරන් කවුන්ටර් එකෙන් තියන්න. බොහොම සරල දෙයක්. හැබැයි ඒකෙන් කෙයාරින් කියන එක කියවෙනවා.

 

7. ඇටෙන්ෂන්!

මේකත් ඇත්තටම හරියට කරන්න නම් හොඳ ප්‍රැක්ටිස් එකක් ඕන, හැබැයි ඕනම මනුස්සයෙක් දැනගෙන ඉන්න ඕන එකක්. ඒ තමයි කෙනෙක්ට ඇටෙන්ෂන් දෙන ආට් එක. කොහොමද මේ ඇටෙන්ෂන් දෙන සීන් එක කරන්නේ? කියන දේවල් අහගෙන ඉන්න එක? ඔව් ඒක හරි. හැබැයි අතරින් පතර ප්‍රශ්නයක් අහන්නත් ඕන. හැබැයි ඕනවට වඩා ඇටෙන්ෂන් දෙන්න යනකොට ගෑණු ළමයෙක්ට ඒක අපහසුවක් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම අපි මුණගැහුණු ගමන්ම නම් ඒක ඩීල් බ්‍රේක් කරන සීන් එකක්. අන්න ඒ නිසා, හොඳම දේ තමයි, අපි අලුතින් සෙට් වුණු මචන් ෆිට් එකක් එක්ක කතාබහ කරනකොට, හැසිරෙන කොට අවධානය දෙන්නෙ කොහොමද, ආන්න ඒ විදියට එයාටත් අවධානය දෙන එක.

 

8. ටච් එකත් වැදගත්!

මෙන්න මේක ඉතාම හොඳ ඉෆෙක්ට් එකක් තියෙන, හැබැයි බොහොම පරිස්සමෙන් කරන්න ඕන දෙයක්. හැබැයි මේ ටච් ලෙවල් එකට එන්න නම් නිකම්ම මුලින් කතා බහ කරපු මට්ටමෙන් එහාට යන්න ඕන. ඒ කියන්නේ අනික් පැත්තේ කෙනා අපි ගැන පැහැදිලිවම උනන්දුවක් පෙන්නන ලෙවල් එකේ ඉන්න ඕන. අන්න එහෙම ලෙවල් එකක ඉන්නකොට, අතට මිත්‍රශීලී සහ සැහැල්ලු ලෙවල් එකෙන් තට්ටුවක් දාන එක වගේ දෙයක් අවුලක් නෑ. හැබැයි ඒක කොන්ටෙක්ස්ට් එකට අදාළ වෙන්නත් ඕන. උදාහරණයක් විදියට එයා ජෝක් එකක් කළොත්, අපිට හිනා වෙන ගමන් “අනේ මෙහ්” කියලා අතට සැහැල්ලු තට්ටුවක් දාන්න පුළුවන්. අනික මතක තියාගන්න, මේ ෆ්ලර්ටින් මුල් කාලේ ටච් කරන එක අතට විතරක් සීමා කරන එක නුවණට හුරුයි. එහෙම නැතුව තට්ටු දාන්න ගියොත් සෙරෙප්පුවෙන් තමයි කන්න වෙන්නේ!

 

බලනකොට මේ ටිප්ස් කොරෝනා ලෝකෙට විතරක් නෙවෙයි, කොරෝනා තුරන් වුණු ලෝකෙක වුණත් ෆ්ලර්ටින්ග් වලට වැදගත් වෙනවා නෙහ්? හා නැද්ද?

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *