කාන්තා ප්‍රධානීන් යටතේ වැඩ කිරීමේ වාසි

කාන්තාවන් කියන්නේ කච කච ගාන ජාතියක්ය. තීරණ ගන්න බැහැය කියලා සමහරුන්ගෙන් චෝදනා තියෙනවා. ඒත් කාන්තාවන් බහුතරයක් අපේ සමාජයේ වැදගත් උසස් තැන්වල ඉතා හොඳින් රාජකාරි කරනවා. ඉතින් කාන්තාවන් එක්ක වැඩ කරනකොට තියෙන වාසි ටිකක් අපි ඔබට කියන්නට හිතුවා.

 

1. බහුකාර්ය හැකියාව

මොළය පිළිබඳව කරන ලද හැදෑරීම් වලින් කාන්තාවන්ගේ මොළය මල්ටිටාස්කින් එහෙමත් නැතිනම් බහුකාර්යයන් වලට සහය දක්වන විදිහට සැකසී තියෙන බව සොයාගෙන තියෙනවා. ඒ හරහා දෙයක් සිතා මතා ලොජිකලි, එහෙමත් නැත්නම් තර්කානුකූලව දැකීමේ හැකියාව කාන්තාවන්ට ඇති බවත් සඳහන්. කාන්තාවකට කොහොමත් චරිත කිහිපයක් නඩත්තු කරන්නට වෙනවා. ආයතනයේ චරිතය වගේම ගෘහණියක්, මවක් සහ ඥාතීන් සමග ගනුදෙනු කරන්නියක් ආදී විවිධ භූමිකාවන් රැසක් ඇයට නඩත්තු කරන්නට වෙනවා. ඒ නිසා ඇයට කාර්යාලයේ කාර්යයන් වලදීත් කාර්යයන් කිහිපයකට එකවර යොමු වීමේ හැකියාවක් තියෙනවා.

 

 

2. කාන්තාවන් හොඳ සන්නිවේදකයින් වීම

දෙයක් ගොඩින් බේරගන්න කාන්තාවන් වඩාත් ගැළපෙනවා. කලහකාරී පසුබිමක වුණත් වැඩක් කූල් ඩවුන් කරගන්න කාන්තාවන් සමත්. අනෙක කවුන්ටරයක කාන්තාවක් ඉන්නවානම් එන්නේ කවුරු වුණත් ටිකක් සද්දේ අඩු කරලා සීලාචාර වෙන්න බලනවා. ඒ නිසා කාන්තා ප්‍රධානීන් සන්නිවේදන හැකියාව අතින් ඉස්තරම් උදවිය වෙනවා. ඒත් නිතර නිතර කතාකරන කාන්තා ප්‍රධානීන්ගේ සන්නිවේදනය වැඩි වීම නම් වෙලාවකට කන්දොස්කිරියාවක්.

 

 

3. අඩු කලකදී දෙයක් ඉගෙනීම 

කාන්තාවන් දෙයකට ඇතුළත් වුණාට පස්සේ ඒක කාගෙන හරි කරන්නට උත්සාහ ගන්නවා. ඒ නිසා අලුත් අලුත් දේවල් මාරු වෙද්දි ඒ හැම දේටම ඉක්මනින් හුරුවෙන්න කාන්තාවන්ට පුදුම හැකියාවක් තියෙනවා. කාන්තාවක් සාමාන්‍යයෙන් ගෙවල්, කාර්යාලය, වැඩට යන ප්‍රවාහන මාධ්‍යය ආදී හැම දේම වෙනස් වෙද්දී ඒ අදාළ පරිසරයට ඉක්මනින්ම හුරු වෙනවා, ඉක්මනින්ම සබඳතාවන් ගොඩනගා ගන්නවා.

 

 

4. මුදල් ගනුදෙනු මැනැවින් ඉටුකිරීම

මුදල් ගනුදෙනු වලදී කාන්තාවන් වඩාත් සැළකිලිමත් වෙනවා. ඔවුන් මූල්‍යමය කටයුතු වලදී සතේට ගණන් බලලා වැරදි හොයන්න, අදාළ ගණන් තබාගන්න ඉතා දක්ෂයි. වියදම් කොපමණ සාධාරණ වුණත් ඒවා ගොනු වල සටහන් වෙන්නේ නැතිනම්, ඒ මූල්‍ය පැතිවල දේවල් හරියට පාලනය වෙන්නේ නැතිනම් කාර්යය අපහසු වෙනවා. පිරිමින් මේ වාර්තා තබාගැනීම, මුදල් කටයුතු ආදිය කළමනාකරණය කරගැනීමේදි ලොකු උනන්දුවක් දක්වන්නෙ නැහැ. ඒත් කාන්තාවන් ඒ කාර්යයන් වඩාත් සාර්ථකව ඉටු කරනවා.

 

 

5. සාධාරණ තීරණ ගැනීමට දක්ෂයින්

මේක පර්යේෂණයකින් සනාථ වූ දෙයක්. මේ කියන්නේ අධ්‍යක්ෂ, විධායක කාර්යය මණ්ඩල වගේ ඉහළ මට්ටමේ අය ගැන. පක්ෂයකට, පැත්තකට සහ ආයතනයේ කොටසකට නැඹුරු නොවී සෑම පාර්ශවයක්ම සමග හොඳ වෘත්තීයමය ගනුදෙනු තියාගෙන තීරණ ගන්න කාන්තාවන් සමත් බව දැක්වෙනවා. එය පරීක්ෂණ වලින් සනාථ වී තිබෙන කාරණාවක්. තීරණ ගැනීම කියනවාටත් වඩා සාධාරණව තීරණ ගැනීම අතින් කාන්තාවන් ඉදිරියෙන් සිටින බව සොයාගෙන තියෙනවා.

 

 

6. ගෙදර ප්‍රශ්න කාර්යාලයට ගෙන ඒම

බහුතර කාන්තාවන් හවසට ස්ට්‍රෙස් එක නැතිවෙන්න සෙට් වෙලා මත්පැන් පානය කරන්නේ නැහැ. ඒත් ඔවුන්ට එක් එක් භූමිකාව අතර වෙනස හොඳින් අවබෝධ කරගන්නට සහජයෙන්ම පුළුවන්. සාමාන්‍යයෙන් හිතවත්කමට කාර්යාලවලදී පවුලේ දේවල් කතා කළාට පවුල් ජීවිතයත් කාර්යාල ජීවිතයත් වෙන්කරගෙන ගත කරන්න කාන්තාවන් වැඩි සමත්කමක් දක්වනවා. ඒ කියන්නේ කාර්යාලය ගෙදර ගෙනියන්නෙත් නැතුව ගෙදර දේවල් කාර්යාලයට ගේන්නෙත් නැතුව ඩීසන්ට් එකේ තැන් දෙකම බැලන්ස් කරගෙන යන්න කාන්තාවන්ට ලොකු හැකියාවක් තියෙනවා.

 

 

7. ඉක්මනින් මිත්‍රශීලී වීම

කාන්තාවන් දෙදෙනෙකු මිත්‍ර වීමට වැඩි වෙලාවක් යන්නේ නැහැ. ඒත් පිරිමින් නම් ඇතැම් වෙලාවකට එක ආසන්නයේ රාජකාරි කළත් එකිනෙකා හඳුනාගන්න සෑහෙන කල් ගන්නවා. ඒ වගේම කාර්යාල වල පාරිභෝගිකයින් සම්බන්ධ කටයුතු, දුරකථන ඇමතුම්, මැසේජ්, ඊමේල් ගනුදෙනු ආදියේදි වඩාත් ඉක්මනින් මිත්‍රශීලී වෙලා කාර්යය වඩාත් වාසිදායක පැත්තට නැඹුරු කරගන්න කාන්තාවන් සමත් වෙනවා.

 

හැම කාන්තාවක්ම එක වගේ නැහැ. වෙනස් වෙනස් මාදිලියේ අය ඉන්නවා. අනික හැම කාන්තා බොස් කෙනෙක්ම දක්ෂත් නැහැ. ඒත් පොදුවේ “කාන්තා බොස්ල නම් හරි යන්නෙ නෑ” කියන මතය නම් දැන් ටිකෙන් ටික දියවෙමින් යන බව කියන්න ඕන.

 

Leave a Reply

Your email address will not be published.