අළුත ඉපදුන පුංචි බබාලා නිතර අඬන හේතු

කුළුඳුලේ අලුත් බබෙක් ඉපදෙනවා කියන්නෙ ඒක ඒ බබාට වගේම බබාගෙ අම්මට, තාත්තටත් අලුත් උපතක්. මොකද එයාල මුල්වරට අම්මෙක් තාත්තෙක් වෙන්නෙ ඒ බබාගෙ උපතත් එක්කනේ. ඉතින් බබා වගේම ඒ අම්මා තාත්තත් මේ ලෝකෙට අලුත් කියල කිව්වට වරදක් නැහැ. බබා මේ ලෝකේ ජීවත්වෙන හැටි ඉගෙනගන්නව වගේම අම්මයි තාත්තයිත් හැම තප්පරේකම උත්සාහ කරන්නෙ බබාට හොඳම දෙමව්පියෝ වෙන හැටි ඉගෙන ගන්න. ඉතින් මේ කාලසීමාව මේ හැමෝටම අසීරු කාලසීමාවක්. දෙගොල්ලෝ තේරුම් ගන්න උත්සාහ කරන කාලසීමාවක්. 

මෙතැනදී ලොකුම ප්‍රශ්නය ඇතිවෙන්නෙ පුංචි බබා අඬන එකත් එක්ක. මොකද බබා එයාට අවශ්‍ය හැම දෙයක්ම ප්‍රකාශ කරන්නෙ මේ අඬන එකෙන්. බබා අඬන හරිම හේතුව හොයාගෙන බබාව පහසුවෙන් තියන එක මුල් කාලේ දෙමව්පියන්ට පුංචි අභියෝගයක්. ඒ නිසාම අපි හිතුවා අළුත ඉපදුන පුංචි බබාලා නිතරම අඬන හේතු ගැන ටිකක් කතා කරන්න. 

 

1. කොලික්

කොලික් තත්වය කියල කියන්නෙ අළුත උපන් බබෙකුට මුල් මාස තුනක වගේ කාලය තුල ඇතිවෙන්න පුළුවන් උදරයේ අපහසු තත්වයක්. මේ තත්වය මූලිකවම ඇතිවෙන්නෙ කිරි බිව්වට පස්සේ නිසි ආකාරයට ගුඩුස් නොයැවීමෙන්. ඒ විදිහට බඩේ වාතය රැඳුනහම ඒක පුංචි බබාට අපහසුයි. බබාගෙ අවයව නිසිලෙස වර්ධනය වෙලා නැති නිසා ඉබේම ගුඩුස් පිටවෙන්නෙත් නැහැ. ඉතින් මේ අපහසුතාවයට බබා නොනවත්වා අඬන්න ගන්නවා.  හුඟක්ම මේ තත්වය දකින්න පුළුවන් හවස හයෙන් විතර පස්සෙයි. ඒ වෙලාව පහුවුනහම බබා නොනවත්වා අඬනවානම් කොලික් තත්වයක් කියලා සැකකරන්න පුළුවන්. මේ තත්වයට වෛද්‍ය උපදෙස් ලබාගන්න අවශ්‍යයි. බබාගේ අපහසුතාවය මඟහැරෙන්න ප්‍රතිකාර වෛද්‍යවරයා ලබාදෙනවා.

 

2. බඩගින්න

මේක තමා බබාලා අඬන හේතුව විදිහට අපි හැමවෙලාවෙම දකින හේතුව. ඉතින් ඒ නිසාම බබෙක් අඬපු ගමන් අතට අරන් කිරි දෙන්න තමයි අම්මල හුඟක් උත්සාහ කරන්නේ. හැබැයි ඇත්තටම බඩගින්න කියන්නෙ බබාලා අඬන එක හේතුවක් විතරයි. මේක ලෙහෙසියෙන්ම හඳුනාගන්න පුළුවන්. බබා අඬන ගමන් කට අරිමින්, දිව එලියට දමමින්, අත් මිට මොලවමින්, මිට මෙලවූ අත කටේ දමමින්, හැරෙන්න පුළුවන් බබෙක්නම් හැරෙමින් කිරි හොයනවානම් ඒ බඩගින්නේ ලක්ෂණ. ඒක හරියට හඳුනාගෙන බඩගින්නට අඬන වෙලාවට විතරක්ම කිරි දුන්නම හොඳටම ඇති. 

 

3. කිළුටු නැපි

බබාලා අඬන ප්‍රධානම වගේම, අපි හුඟක් දෙනෙක් දන්නා හේතුවක් තමයි නැපි මාරුකරන වෙලාව. නැපි එකේ මුත්‍රා හෝ මලපහ කරගන්න හැම වෙලාවකම පුංචි බබාලා කරන්නෙ කෑගහලා අඬන එක. මොකද ඒ තෙත ගතිය එයාලට අපහසුයිනේ. ඉතින් මේ හේතුවනම් පහසුවෙන්ම අඳුන ගන්න පුළුවන්. හඳුනාගෙන බබාව පිරිසිඳු කරලා නැපි මාරුකරන එක තමයි මේක නවත්තන්න පුළුවන් එකම ක්‍රමය.

ඒ වගේම නිතරම නැපි තෙමාගෙන නැගිටලා බබාගේ නින්ද කැඩෙන එක වලක්වන්න නම් ඩයපර්ස් භාවිතා කරන්නත් පුළුවන්. මොකද අලුත් පුංචි බබාලා දවසේ වැඩි වෙලාවක් නිදියන්න අවශ්‍යමයි. නිසි වෙලාවට ඩයපර් මාරු කිරීමෙන් වගේම මලපහ කල සැණින් ඩයපර් මාරු කිරීමෙන් වෙනත් ගැටළු ඇතිවෙන එක වලක්වා ගන්න පුළුවන්. 

 

4. වෙහෙස

කලිනුත් කිව්ව වගේ අළුත උපන් පුංචි බබාලා දවසේ පැය 24න් පැය 18ක්වත් හොඳ නින්දක් ලබාගන්න ඕන. එහෙම හරි නින්දක් නොලැබුනාම බබා වෙහෙසට පත්වෙනවා. එහෙම වෙහෙස වුනාමත් පුංචි බබාල කරන්නේ අඬන එක. මොකද එයාල අපහසුතාවය පෙන්වන්න වෙන ක්‍රමයක් දන්නෙ නැහැනේ. ඉතින් කලින් කියපු එක හේතුවක්වත් නැතුව පුංචි බබා අඬනවා නම්, බබාට වෙහෙස බව, නින්ද මදිවූ බව තේරෙනව නම් බබාට පහසුවක් ඇතිවෙන්න සුව නින්දක් ලබාදෙන්න අවශ්‍යයි. 

කලින් කිව්ව වගේ බබාගේ නින්ද කැඩෙන්නේ නැතිවෙන්න ඩයපර් භාවිතය, වටපිටාවේ ශබ්ද අවම කිරීම වගේ දේවල් උත්සාහ කරන්න පුළුවන්. 

 

5. සීතල හෝ රස්නය

අවට පරිසරයේ සීතල හෝ රස්නය අපිට වඩා පුංචි බබාට දැනෙන්න පුළුවන්. එයාලගෙ සම සංවේදී වැඩියිනේ. ඉතින් බබාලා අඬන හේතු අතර තවත් ලොකු හේතුවක් තමයි අධික සීතල හෝ රස්නය. බබාව හොඳින් ඔතලා උණුසුම් කිරීම හෝ රස්නේ වැඩි බව දැනෙනවානම් වැඩි ඇඳුම් ලිහිල් කිරීම, වාතාශ්‍රය ලැබෙන්න සැලැස්වීම වගේ ක්‍රම උත්සාහ කරන්න පුළුවන්. 

 

6. වෙනත් අපහසුතා

ශරීරයේ තියෙන වෙනත් අපහසුතාවයන් වලදීත් බබාලා අඬනවා. ඒ කියන්නෙ බඩේ අමාරුවක්, උණ ගතිය, කනේ කැක්කුමක් වගේ විවිධ අපහසුතා පුංචි බබාලටත් ඇතිවෙන්න පුළුවන්නේ. ඒත් බබා අඬන හරිම හේතුව හොයාගන්න අපිට අපහසුයි. බබා අපහසුවෙන් ඉන්නවා බලාගෙන ඉන්නත් බැරි නිසා එහෙම වෙලාවක කරන්න පුළුවන් හොඳම දේ තමයි හොඳ වෛද්‍යවරයෙකුට බබාව පෙන්නන එක. වෛද්‍යවරුන්ට අත්දැකීම් වලින් වගේම පරීක්ෂණ වලින් හරියටම බබාට දැනෙන අපහසුතාවය තේරුම් අරන් ප්‍රතිකාර කරන්න පුළුවන්.

 

7. උණුසුම අවශ්‍ය වීම

මේකත් අපි වැඩිය නොහිතුවාට පුංචි බබාලා අඬන හේතුවක්. බබා දවසින් දවස ලොකුවෙලා මාසයක් විතර ගතවෙනකොට බබාට අවට පරිසරය, අම්මා තාත්තා ගැන පුංචි අවබෝධයක් ලැබෙනවනේ. ඉතින් එතකොට එයාත් ආස වෙනව අම්මගේ හෝ ළඟම භාරකාරයාගේ උණුසුමේ ඉන්න. ඉතින් නිදියලා, ඇඳඋඩම ඉඳලා ඇතිවුනාමත් බබා අඬන්න පුළුවන්. ඒ අඬන්නේ මෙන්න මේ ආදරණිය හේතුවට. ඒ වෙලාවට ඉතින් කරන්න තියෙන්නෙ පුංචි පැටියව අතට අරගෙන ටිකක් හුරතල් කරල ආදරය දක්වන එක. ඒ වෙලාවට තමයි පුංචි පැටව් කට උල්කරමින්, ඇස් ලොකු කරමින් තමන් ළඟින් ඉන්න කෙනාව අඳුනාගන්න උත්සාහ කරන්නෙ. මේ වැඩේ බබාගෙයි දෙමව්පියන්ගෙයි සම්බන්ධතාවය ගොඩනගාගන්නත් ලොකු උදව්වක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *