ගැබිණියකට කෑම වේලක් දෙනකොට ඔයාලත් මේව හිතනවද?

ගර්භණියකට කෑම වේලක් දෙන්න අපි කොයි කවුරුත් ආසයි. මොකද කෑමකට ආසාවෙන් ඉන්න කෙනෙක්ට කෑම වේලක් දෙන එක වෙනම සතුටක්, ඒ වගේම පිනක් හැටියටයි සලකන්නෙ. පුංචි පැටියෙක් කුස දරන් ඉන්න කාන්තාවකගෙ පෝ​ෂණ අවශ්‍යතාවය ඉහළයි. ඒත් මුල් කාර්තුවේදි බොහොමයක් ගැබිණියන්ට කෑමට ප්‍රියක් නෑ වමනය, කලාන්තය වගේ අපහසුතා නිසා. මේ නිසාම ගැබිණියකට කෑම වේලක් දෙනකොට සාමාන්‍ය කෙනෙක්ට දෙන කෑමකට වඩා අපිට හිතන්න දේවල් තියෙනවා. අද අපි කතා කරන්න හිතුවෙ ඒ ගැන.

 

1. මොනවද දෙන්නෙ?

අපේ හිතුමනාපෙට නම් උයන එක හරි යන වැඩක් නෙවෙයි. විශේෂයෙන් උයල දෙන්න ඕන කියල හිතාගෙන ව්‍යංජන හතර පහක් එක්ක ලොකූ බත් මුලක් බැඳල අරන් ගියාට වැඩක් නෑ එයා කන්න ආස නැත්නම්. ගැබිණියකට කෑමක් දෙන්න කලින් කන්න ආස මොනවද කියල අහන්න. ආස දෙයක් හදල දෙන්න. අපි කොච්චර විශේෂ කෑමක් උයන් ගියත් වැඩක් නෑ එයා කන්න ආස සම්බෝලයි බතුයි නම්. ඒ නිසා කැමැත්ත අහල උයන එක වැදගත්.

 

2. ආසාත්මිකතා ගැන සැලකිලිමත් වෙන්න

අපි එක එක්කෙනාගෙ ශරීර ස්වභාවයන් විවිධාකාරයි. හතු, අන්නසි වගේ දේවල් සහ සමහර මස් මාළු පවා සමහර අයට ආසාත්මිකතා නැත්නම් ඇලර්ජිස් ​ඇති කරනව. ඇතැම්විට සමහර ආසාත්මිකතා ගර්භණී සමයේදී ඇතිවෙන හෝමෝන වෙනස්කම් නිසා ඇති වෙනව. මේ නිසා ගර්භණියකට ආහාර වේලක් දෙන්න කලින් ඇයට ඇති ආසාත්මිකතා ගැන අසා දැනුවත් වෙන්න. 

 

3. වැඩි දෙනෙක් නොදන්නා නොදිය යුතු දේවල්

මෝර මාළු, කෙළවල්ලො (ටූනා), මැකරල් වගේ මාළු වර්ග වල රසදිය අඩංගු වෙන නිසා ගර්භණී කාන්තාවන්ට, කිරි දෙන මව්වරුන්ට විතරක් නෙවෙයි ගැබ් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයටත් සුදුසු නැහැයි කියනව. ඒ වගේම ලංකාවෙ නම් බාගෙට පිසූ බිත්තරත් ගැබිණියන්ට සුදුසු නෑ. විදෙස් රට වල නම් වි​ෂබීජ විනාශ වෙන්න පිරිසිදු කරපු බිත්තර වෙලඳපොළේ තියෙන නිසා සැල්මොනෙල්ලා බැක්ටීරියාවෙන් ඇති වෙන ආසාදනයන් ගැන අවදානමක් නෑ. හොඳින් තැම්බූ බිත්තර මිසක බාගෙට තැම්බූ, බාගෙට බැදගත් බිත්තර ගැබිණි කෙනෙක්ට දෙන්න සුදුසු නෑ.

 

4. මුල් කාර්තුවේ ආහාර ලබාදීමේදී මේ ගැනත් හිතන්න

සාමාන්‍යයෙන් නම් මුල් කාර්තුවේ එහෙම නැත්නම් මුල් මාස තුනේදි පිටින් කෑම ගැබිණියක් නොක​න තරම්. ඒත් එහෙම කෙනෙක් කෑමක් ඉල්ලුවොත් මෙන්න මේ දේවල් ගැන චුට්ටක් සැලකිලිමත් වෙන්න. දැන් වෛද්‍ය විද්‍යාව අනුව නම් දොස්තරල කියන්නෙ අමු ගස්ලබු, අමු අන්නසි ඇර වෙන මොනා කෑවත් අගුණයක් නෑ කියල. ඒත් අතීතයේ ඉඳන් අපේ අම්මල අත්තම්මල මුල් කාර්තුවේ ගැබිණියකට තහනම් කරපු කෑම ටිකක් තියෙනව. දොස්තර කොහොම කිව්වත් ගෙදර ඉන්න අම්මගෙ අණට පිටින් කෑම දෙන එක අවදානම් නිසා විනාකිරි අඩංගු කෑම, කෙසෙල්මුව, ඉස්සො/ දැල්ලො වගේ උෂ්ණාධික කෑම නොදෙනවා නම් හොඳයි.

 

5. පිරිසිදුකම ගැනත් සැලකිලිමත් වෙන්න

ගැබිණි කෙනෙක්ට බත් එකක් දෙනකොට සාමාන්‍යයෙන් කෙනෙක්ට දෙනවටත් වඩා පොඩ්ඩක් පිරිසිදුකම ගැන හිතන්න වෙනව. සලාදයක් එහෙම හදනව නම් ඒ එළවළු කපන්න ගන්න ලෑල්ල සහ පිහිය හොඳින් සෝදල ගන්න. සුදුළූණු, මස් මාළු කපපු ලෑල්ලක් නම් නිකන් වතුරෙන් නොසෝදා සබන් දාලම සෝදන්න වෙනව. සාමාන්‍ය කෙනෙක්ට වඩා පොඩි පිළී ගඳක් පවා වැඩිපුර දැනෙන අවදියක් ගර්භණී සමය. 

 

6. බත් එක ඔතන කොට මේ ගැනත් හිතන්න

කෙසෙල් කොළේක එතුවත් ලන්ච් ශීට් එකේ එතුවත් හොදි වර්ග වෙන වෙනම කොළවල ඔතල බත් මුලට තියන්න. අපි අහන වෙලාවට ආසයි කියල මොන ජාති කිව්වත් කන්න ගන්න වෙලාවට ඇයට සමහර දේවල් අප්පිරිය වෙන්න හෝ කන්න නොහිතෙන්න පුළුවන්. හෝමෝන වෙනස්කම් නිසා කෑමට තියෙන රුචි අරුචිකම් නිතරම එහෙ මෙහෙ වෙනව. වෙනම ව්‍යාංජන බෙදල දුන්නොත් කන්න අකමැති දෙයක් අයින් කරල කන්න ඇයට පුළුවන්. ඒ වගෙමා බත් එක එක ගොඩේ බෙදල තියෙද්දි එපා වෙන්න තියෙන ඉඩ වැඩි නිසා මෙහෙම වෙනම දෙන එක ප්‍රියමනාපයි.

 

7. එයාට විතරද දො​ළදුක?

ඉස්සර වගේ හත් අට දෙනා එක ගෙදරක ඉන්න පවුල් දැන් නැති තරම්නෙ. බොහෝවිට ඉන්නෙ නෝනයි මහත්තයයි. මේ නිසා ගැබිණියට කෑම එකක් ගෙනියනකොට මහත්තයටත් එක්ක බත් එකක් ගෙනියන්න අමතක කරන්න එපා. දෙන්නෙක් විතරක් ඉන්න ගෙදරකට එක්කෙනෙක්ට බත් එකක් ලැබෙනව කියල කලින් දැනුම් දුන්නම අනිත් කෙනාට කඩෙන් කන්න වෙනවා හෝ එයාට වෙනම උයන්න අර ගැබිණියට සිද්ධවෙනව. මේ නිසා දෙන්නටමත් එක්කයි කෑම ගේන්නෙ කියල කලින්ම කියන්න. දො​ළදුක් එන්නෙ නෝනලට විතරක් නෙවෙයිලු 😉

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *