අද වෙනකොට ලංකාවේ ජනගහණයෙන් අතිශය අඩු ප්‍රතිශතයක් බවට බර්ගර්වරුන් පත් වෙලා තියෙනවා. සිංහල භාෂාව රාජ්‍ය භාෂාව විදිහට ප්‍රකාශයට පත් කිරීමත් එක්ක ඔවුන් බොහෝ දෙනෙක් ලංකාව හැර දාලා විදේශ රටවලට (විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාවට) සංක්‍රමණය වුණා. මේ නිසා ලංකාවේ බොහෝ ක්ෂේත්‍රයන්වලට, සංස්කෘතික විචිත්‍රත්වයට ඇති කළේ පිරවිය නොහැකි හිස් තැනක්. අපි අද ඔබට මතක් කරන්න යන්නේ ලංකාවේ නම බබලවපු බර්ගර්වරු කීප දෙනෙක් පිළිබඳව.
1. ඩන්කන් වයිට්
1948 වර්ෂයේදී පැවති ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී මව්බිමට රිදී පදක්කමක් දිනා දීමට මේ ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයා සමත් වුණා. ඒ මීටර් 400 කඩුළු මතින් දිවීමේ ඉසව්ව සඳහා සහභාගී වෙමින්. මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් ඉගෙනුම ලැබූ ඔහු මලල ක්‍රීඩාව වලින් දැක්වූ දක්ෂතා නිසා ත්‍රිත්ව සිංහයා සම්මානයෙන් පුදනු ලැබුවෙක්. එහෙත් විනය හේතු මත එම සම්මානය ඔහුගෙන් ඉවත් කෙරුණු අතර ඔලිම්පික් ජයග්‍රහණයෙන් පසුව යළිත් ඔහුට එම සම්මානය ලබාදීමට ත්‍රිත්ව විද්‍යාල පාලනාධිකාරිය තීරණය කළා. ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවය කළ ඔහු පසුව ක්‍රීඩා උපදේශකයෙකු සහ දේශකයෙකු ලෙස ද කටයුතු කළා. 1998 වසරේදී ඔහු වෙත දේශමාන්‍ය සම්මානය පිරිනැමීමට ශ්‍රී ලංකා රජය කටයුතු කළා.
2. මොරීන් හින්ගර්ට්
1955 වසරේ දී පැවති මිස් යුනිවර්ස් තරගය සඳහා ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ඇය එහි දෙවැනි ස්ථානය දිනා ගැනීමට සමත් වුණා. ඇය තබා තිබෙන එම වාර්තාව මෙතෙක් කිසිවෙක් බිඳ දමා නැහැ. ඇයගේ මෙම ජයග්‍රහණය ලංකාව පිළිබඳව විශාල කතාබහක් ඇති කිරීමට සමත් වූ අතර පසුව ඇය හොලිවුඩ් නිළියක් බවට පත් වුණා. වර්තමානයේදී ඇය ඇමරිකා එක්සත් ජනපදයෙහි ජීවත් වනවා.
3. රමණී බර්තලමියුස්
1985 වසරේදී මිස් යුනිවර්ස් තරගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළ රමණී බර්තලමියුස් ලංකාව තුළ අතිශය ජනප්‍රිය නිළියක් බවට පත් වුණා. ඇයගේ අකල් මරණය බොහෝ ප්‍රේක්ෂකයන්ව දැඩි ලෙස කම්පනයට ලක් කළ අතර අදටත් ඇය පිළිබඳව ප්‍රේක්ෂකයන් කතාබහ කරනවා.
4. ඩෙස්මන් කෙලී
වර්තමානයේ ඕස්ට්‍රේලියාවේ ජීවත්වන මේ විශිෂ්ට ගායකයාව අද වන විට ලංකාවේ බොහෝ දෙනෙක්ට අමතකව ගොස් තිබෙනවා. කෙසේ නමුත් ජීවිතයේ සන්ධ්‍යා සමය ගත කරන ඔහුට ඕස්ට්‍රේලියාව තුළ පවතින ජනප්‍රියත්වයේ වෙනසක් සිදු වී නැහැ. ඊට හොඳම උදාහරණය වන්නේ මේ වන විට ගීත ගායනා ක්ෂේත්‍රයෙන් ඔහු විශ්‍රාම ගෙන සිටියත් ඔහුට ඇති ඉල්ලුම අඩු නොවීමයි.
5. මයිකල් ඔන්ඩච්චි
1992 වසරේ දී මයිකල් ඔන්ඩච්චි විසින් රචනා කළ “ද ඉන්ග්ලිෂ් පේෂන්ට්” කෘතිය සඳහා බුකර් සම්මානය පිරිනැමුණා. ඔහු විසින් තමන්ට ලැබුණු එම ත්‍යාග මුදල භාවිතා කරමින් ලංකාවේ බ්‍රිතාන්‍ය කවුන්සිලය සමග එක්ව ග්‍රේෂන් භාරය නිර්මාණය කරන ලද්දේ ලංකාවේ ඉංග්‍රීසි ප්‍රබන්ධ රචනය දිරිමත් කිරීම සඳහායි. 2018 වසරේදී බුකර් සම්මාන උළෙලේ 50 වැනි සංවත්සරය සැමරීම වෙනුවෙන් පැවැත්වුණු සම්මාන උළෙලේදී බුකර් සම්මානය හිමි වූ හොඳම නවකතාවට පිරිනැමුණු ගෝල්ඩන් බුකර් සම්මානය ද ඔහු වෙතම පිරිනැමුණා.
6. ජෝර්ජ් කීට්
පසුගියදා කතාබහට ලක්වුණු පැන්ඩෝරා පේපර්ස් හෙළිදරව්වේදී තීරු නඩේසන් සතුව ජෝර්ජ් කීට්ගේ විශාල කලා කෘති ප්‍රමාණයක් තිබූ බව සඳහන් වුණා. ජෝර්ජ් කීට් ලංකාවේ චිත්‍ර කලාව තුළ සුවිශාල වෙනසක් සිදුකළ අතර මේ නිසාම ඔහුගේ චිත්‍ර ඉහළ වටිනාකමින් යුක්ත ඒවා වුණා. බොහෝ දෙනෙක් නොදන්නවා වුණත් ඔහු විශිෂ්ට ගණයේ කවියකුද වූ අතර ඔහු තම කවි පොත් සඳහා ද ඔහුගේම චිත්‍ර එකතු කරනු ලැබුවා.
7. ජැකලයින් ෆර්නැන්ඩස්
වර්තමානයේ ඉන්දියාවේ යොහානී ලබා තිබෙන විශාල ජනප්‍රියත්වයට පෙර ලංකාවේ නම ඉන්දියාව තුළ බැබළවීමට සමත් වුණු නිළියක් විදිහට ජැකලයින්ව හඳුන්වන්න පුළුවන්. මිශ්‍ර ජනවාර්ගික පවුලක උපත ලැබූ ඇය තම මව්බිම කෙරෙහි අප්‍රමාණ ආදරයක් දක්වන තැනැත්තියක් බව බොහෝ අවස්ථාවල පෙන්නුම් කර තිබෙනවා.
එහෙම නම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය පිළිබඳව ඔබේ අදහස් පළ කරන ගමන් මෙය ෂෙයාර් කරන්නටද අමතක කරන්න එපා. මේ ලැයිස්තුවට ඇතුළත් වෙන්න ඕන තව බර්ගර් ජාතිකයෝ ඉන්නවා නම් ඒ අය ගැනත් කමෙන්ට් කරන්න කියලා අපි ඉල්ලනවා.
Leave a Reply