මිනිස්සු වුණහම මහන්සි වෙලා වැඩ කරන්න ඕන. එහෙම නේද? වෙන විදියකට කියනවා නම්, මිනිස්සු වුණහම කම්මැලි කමට හැම තිස්සෙම අත්දෙක බැඳගෙන පැත්තකට වෙලා ඉඳලා හරියන්නෙ නෑ. මහන්සි වෙලා, ස්මාට් වෙලා වැඩ කරන්න ඕන. හැබැයි කිසිම දෙයක් ලබාගන්නෙ නැතුව, නිරන්තරයෙන්ම වැඩ කරන්නම මහන්සි වෙන එකත් හරියන්නෙ නෑ, ඒක ජිවිතයක් නෙවෙයි. අන්න ඒ නිසා දැන් ඔය වර්ක්-ලයිෆ් බැලන්ස් එක තියාගන්න විදිය ගැන අපි කියලා තියනවා. හැබැයි දැන් ඔය මහන්සි වෙලා වැඩ කරනවනේ. එහෙම වැඩ කරලා පොඩි විවේකයක් අරගෙන ආයෙමත් මහන්සියෙන් වැඩ කරන්න ගත්තට මදි. එහෙම මහන්සිවෙලා වැඩ කරන්න හොඳ මෝටිවේෂන් එකක් තියෙන්න ඕන. ඒ කියන්නේ හොඳ දිරිගැන්වීමක්. ආන්න ඒ දිරිගැන්වීම ලබාගන්න හොඳම ක්‍රමයක් තමයි, තමන් මහන්සි වෙලා වැඩ කරන විදියට, තමන් මහන්සි වෙලා ඉෂ්ට කරන වැඩ කොටස අනුව තමන්ටම හොඳ තෑග්ගක්, පාරිතෝෂිකයක්, එහෙම නැතිනම් දිරි දීමනාවක් ලබා දෙන එක. ඔෆිස් එකෙන් බලාපොරොත්තු වෙන්න පුලුවන් පාරිතෝෂික ගැන නෙවෙයි අපි මේ කියන්නේ, තමන් විසින් තමන් මහන්සි වුණු එකට තෑග්ගක් විදියට තමන්ටම ලබාදෙන්න පුලුවන් දිරිගැන්වීමේ දීමනා ගැන. ඒක කරන්නේ කොහොමද කියන එක ගැන.
01. ඉෂ්ට කරගත්තු දේට විරුද්ධ තෑග්ගක් එපා
අපි සමහර වෙලාවට අරමුණක් එක්ක අධිෂ්ඨානයෙන් ගමනක් ගිහිල්ලා දෙයක් ඉෂ්ට කරගන්නවා. ඊට පස්සේ අපි ඒ ලබාගත්තු ජයග්‍රහණය වෙනුවෙන් අපිටම තෑග්ගක් දීගන්නවා. හැබැයි අවාසනාවකට වගේ, ඒ තෑග්ග අපි අර අධිෂ්ඨානයෙන් සාර්ථක කරගත්තු අරමුණට සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධයි. උදාහරණයක් ගමු. අපේ අරමුණ වෙන්නේ බර අඩු කර ගැනීම. ඒකට අපි හොඳ ඩයට් ප්ලෑන් එකක් එහෙම අනුගමනය කරලා, ඔන්න මාස තුනකින් අපේ ටාගට් එකට යනවා. දැන් ඒකට තෑග්ගක් විදියට අපිටම අපි දෙන්නේ මොකක්ද? තඩි චොකලට් පෙට්ටියක්! ඒක සාර්ථක තෑග්ගක්ද? නෑ. ඒ චොකලට් පෙට්ටිය සම්පූර්ණයෙන්ම කෑවා කියලා අපේ බර තිබුණු ගාණට වැඩි වෙන එකක් නෑ. හැබැයි සමහර විට, අර ඩයට් ප්ලෑන් එකෙන් අපි නැති කරගත්තු පැණි රස ආශාව ආයෙමත් එන්නත් පුලුවන්. ඒ නැතත්, සංකේතාත්මකව ගත්තත්, ඒක වැරදි තෑග්ගක්. මොකද, ඒක අපේ අරමුණට සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ නිසා. තව උදාහරණයක් ගත්තොත්, සම්පූර්ණයෙන්ම මිනිමලිස්ට්, අවුල් වියවුල් නැති ගෙයක් මේන්ටේන් කරනවා කියන ටාගට් එක ජයග්‍රහණය කිරීම වෙනුවෙන්, තව මොකක් හරි ගෙයි අවකාශය තදබද වෙන දෙයක් තෑග්ගක් විදියට අපි වෙනුවෙන්ම මිලදී ගන්න එක තේරුමක් නෑ.
02. අදාළ නොවෙන තෑග්ගක් එපා
අපි අපිටම තෑග්ගක් දී ගන්නවා නම්, ඒක අපි කරගෙන ආපු අරමුණට, අපේ ටාගට් එකට අදාළ තෑග්ගක් වෙන එක බොහොම හොඳ දෙයක්. ඒක සෘජුවම අපේ කරපු වැඩේට අදාළ වෙන්න පුලුවන්. එහෙම නැතිනම් වක්‍රාකාරයෙන් අදාළ වෙන්නත් පුලුවන්. සරලම උදාහරණයකින් මේක තේරුම් ගමු. ඔන්න අපි අද දවස වෙන් කරනවා අපේ නිදන කාමරය සම්පූර්ණයෙන්ම අස්පස් කරලා පිළිවෙලක් කරන්න. දැන් ඒකට තෑග්ගක් විදියට අපි තෝරගන්නෙ මොකක්ද? අද දවසේ කලින්ම වැඩ ටික ඉවර කරලා, අර අස්පස් කරපු කාමරේ, අලුතින් බෙඩ්ෂීට් දාපු ඇඳේ හොඳ නින්දක් ලබාගන්න එක? ඇත්තටම ඒක හොඳ තෑග්ගක්. තව උදාහරණයක් ගමු. ඔන්න අපි පොතක් ලියන ටාගට් එකක ඉන්නවා. පොත ලියලා ඉවර වුණාට පස්සේ ඕන නම් අපිට පුලුවන් අපි කාලයක් තිස්සේ හොයාගන්න ආසාවෙන් හිටපු වින්ටේජ් ටයිප් රයිටරයක් තෑග්ගක් විදියට අපිටම ලබාදෙන්න. ඒක සෘජුවම අපේ ටාගට් එකට අදාළයිනේ. එහෙම නැතිනම් අපිට පුලුවන් අපි ගන්න බලාගෙන හිටපු ටැටූ එක ඒ වෙනුවෙන් ගන්න. ඒක සෘජුවම පොත ලියපු අරමුණට අදාළ නෑ. හැබැයි ලේඛකයෙක් විදියට අපි නිර්මාණය කරන අපේ ඉමේජ් එකේ බාහිර රූපයට ඒක අදාළ වෙන්න පුලුවන්.
03. අපිට වැඩක් නොවෙන තෑග්ගක් එපා
මෙන්න මේක හොඳින් සිහියේ තියාගන්න ඕන දෙයක්. දැන් හිතන්න අපි හැමෝම ආසයිනේ අපිට කවුරුහරි තෑගි දෙනවට. හැබැයි සමහර වෙලාවට ඔය අනික් අය අපිට දෙන තෑගිත් එක්ක තියෙන ප්‍රශ්නයක් තමයි, ඇත්තටම ඒ තෑග්ග අපිට ප්‍රයෝජනයක් නැති වීම. ඒ කියන්නේ කවුරුහරි අපිට ටී ෂර්ට් එකක් තෑගි දුන්නට වැඩක් නෑ, අපි ටී ෂර්ට් අඳින්නෙ නැතිනම්. අන්න ඒ වගේ. හැබැයි අපි අපිටම තෑග්ගක් ලබාදෙනකොට ඒක අපිට ප්‍රයෝජනවත් නොවෙන්න ඉඩක් නැහැ නේද? ඇයි අපි ගැන අපිට වඩා දන්න කෙනෙක් ඉන්න විදියක් නැහැනේ. ඇත්තටම එහෙම හිතුවට, අපි අපිටම ගන්න දෙයක් වුණත් ප්‍රයෝජනවත් නොවෙන්න ඉඩ තියෙනවා. උදාහරණයක් විදියට ගත්තොත්, අපි සයිකලයක්වත් අපි ගාව නැති කෙනෙක් නම්, අපිටම රයිඩින් ගොග්ල්ස් දෙකක් අරගෙන දීලා වැඩක් නෑ. ඒක ගන්නේ ආසාවට වෙන්න පුලුවන්. හැබැයි පලක් නෑ. එතකොට ගෙදර මලාට එක්සයිස් කරන්නෙ නැති අපිට, ගෙදරට ඇබ් කින්ග් ප්‍රෝ මැෂින් එකක් ගත්තා කියලා වැඩක් නෑ. ගන්නේ ආසාවට වුණත්, ඒකෙන් ප්‍රයෝජනයක් ගන්නෙ නැතිනම් මොකටද අරගෙන? ආන්න ඒ නිසා, තෑග්ගක් තෝරගන්නකොට ඒක කොයි තරම් අපිට ප්‍රායෝගික උපයෝජ්යතාවයක් තියෙනවද කියන එක හිතලා බලන්න.
04. අරමුණට වඩා වැඩි ගාණක තෑග්ගක් එපා
මේ තමන්ටම තෑග්ගක් දෙන කාරණාවෙදී තවත් එකක් මතක තියාගන්න ඕන. තමන් කරන වැඩ ප්‍රමාණය, මහන්සි වෙලා සම්පූර්ණ කරගන්න කාර්ය ප්‍රමාණය බොහෝ දුරට මුදල්මය වටිනාකමකින් තීරණය වෙනවනේ. අපි කියමු මහන්සි වෙලා මාසෙකට රුපියල් තිස්දාහක් හොයන්න පුලුවන් වැඩ කටයුතු ප්‍රමාණයක් ඉෂ්ට කළා කියලා. එතකොට ඒකට රිවෝඩ් එක විදියට අපි තිස්දාහක් වටිනා මොකක් හරි එකක් අරගෙන හරියන්නෙ නෑ. හැබැයි අපි අවුරුද්දම තිස්දාහේ ඒවා දොළහක් හොයන්න වැඩ කරලා, අවුරුද්ද අන්තිමට අපිට රුපියල් පණස් දාහක් වටින දෙයක් රිවෝඩ් එක විදියට තෑගි දී ගත්තට කමක් නෑ. පැහැදිලියිනේ?
05. සරල වෙන තරමට තවත් හොඳයි
අපි උඩින් කිව්වනේ අරමුණට වඩා වැඩියෙන් කොස්ට් වෙන තෑගි ගන්න එපා කියලා. ඒකටම එකතු කරන්න ඕන දෙයක් තමයි, අපි යම් කිසි අරමුණක් ජයගැනීම වෙනුවෙන් අපි විසින් අපිටම ලබාදෙන මේ තෑග්ග වඩාත් සරල වෙන තරමට අපිට හොඳයි කියන එක. එක අතකින් ඒක අපිට මූල්‍යමය වශයෙන් අනවශ්‍ය බරක් වෙන්නෙ නෑ. අනික් කාරණය, අපිට මේ රිවෝඩ් සිස්ටම් එක දිගටම පවත්වාගෙන යන්නත් පුලුවන් එතකොට. උදාහරණයක් විදියට, අපි අවුරුද්දක් මහන්සි වෙලා අපේ ප්ර්රොෆෙෂනල් ටාගට් සාර්ථක කරගැනීම වෙනුවෙන් අපි අපිටම ලබාදෙනවා කෘස් නැවක සංචාරයක්. හැබැයි ඒකට යන වියදම අවුරුද්දේ මහන්සි වෙලා උපයපු ගාණෙන් සැලකිය යුතු ප්‍රමාණයක්. දැන් අපිට පුලුවන් වෙයිද ලබන අවුරුද්දෙත් අපිට මේ විදියටම තෑග්ගක් ලබා දෙන්න? අමාරුයි නේ.
06. අපිවම දිරිගන්වන තෑග්ගක් නම් ඒත් හොඳයි
අපි විසින් ඉෂ්ට කරගන්න අරමුණක්, ජයග්‍රහණයක් වෙනුවෙන් අපිටම තෑග්ගක් ලබා දෙන එකේ මූලික අරමුණ වෙන්නේ අපි ඒ සාර්ථක කර ගත්ත දේට අපිටම “ගුඩ් ජොබ්” කියලා පිටට තට්ටුවක් දාගන්න එක. ඒ වගේම තව තවත් අරමුණු, ජයග්‍රහණ ලබාගන්න අපිවම දිරිගන්වන එක. අන්න ඒ නිසා අපි අපිටම ලබා දෙන තෑග්ග හොඳ දිරිගැන්වීමක් නම් වඩාත් හොඳයි. උදාහරණ වලින් අපි බලමු. අපි ආසයි පොත් කියවන්න. ඔන්න අපි මහන්සි වෙලා පාඩම් කරලා එක්සෑම් එකක් සාර්ථකව පාස් කරගන්නවා. ඒකට තෑග්ග විදියට අපි අපිටම හොඳ පොත් ටිකක් අරගෙන දෙනවා. ඒක අපේ ඉතිරි ඉගෙනුම් කටයුතු වලටත් හොඳ දිරිගැන්වීමක් නෙවෙයිද? එහෙම නැතිනම් අපි අවුරුද්දක් සාර්ථකව රැකියාවේ කටයුතු කරලා රැකියාවේ ඉහළ නැගීම වෙනුවෙන්, අපිටම කියලා තෑග්ගක් විදියට ටැබ් කොම්පියුටරයක් අරගන්නවා. ඒක අපිට රැකියාවේ වැඩකටයුතු පහසු කර ගන්නත් හේතුවක් නම්, අනිවාර්යයෙන්ම ඒක අපිට තව තවත් හොඳින් රැකියා කටයුතු කරන්න දිරිගැන්වීමක් වෙනවා. හා නැද්ද?
07. තෑග්ගත් එක්ක අපිටම පොඩි නෝට් එකකුත් ඇතුළත් කරමුද?
මේක ඉතින් අනිවාර්ය කාරණාවක් නෙවෙයි. හැබැයි හොඳක් වෙන කාරණාවක්. දැන් අපි ඉෂ්ට සිද්ධ කරගත්තු අපේ අරමුණක් වෙනුවෙන් ඔන්න අපිටම තෑග්ගක් තෝරගන්නවා. ඔය තෑග්ග ඉතින් අමුතුවෙන් දෙන්න දෙයක් නැහැනේ. ඒත් ඒ තැග්ගත් එක්ක අපිට පුලුවන් පොඩි නෝට් එකක් අපිටම දීගන්න. දැන් වෙන කෙනෙක්ට අපි තෑග්ගක් දෙනවා නම් අපි නෝට් එකක් ඇතුළත් කරනවනේ. අන්න ඒ වගේ. එතකොට ඒ නෝට් එකේ අපිට ලියන්න පුලුවන් අපි ඉෂ්ට කරගත්තු මේ ජයග්‍රහණය අපිට කොයි තරම් වැදගත්ද කියන එක. ඒකට අපිටම සුබපතන්න පුලුවන්. ඒ වගේම, ඒ ජයග්රහණයෙන් එහාට තියෙන ඊලඟ ජයග්‍රහණය ගැනත් මතක් කරන්න පුලුවන්. ඒ ජයග්‍රහණය කරා වැඩ කරන්න දිරි ගැන්වීමක් කරන්නත් පුලුවන්. ඒක වටිනවා.
ඉතින් අපිට මේ විදියට අපේ ජයග්‍රහණ වෙනුවෙන් මොන වගේ තෑගිද අපිටම දීගන්න පුලුවන්? ඒ ගැන අපි තව දවසක කතා කරමු!
Leave a Reply