ලංකාවේ සහ ලෝ​කේ එන්න එන්නම දික්කසා​ද වැඩි​වෙන්න හේතු මොනවාද?

දික්කසාද වැඩි එක සමාජයේ පවුල් ප්‍රශ්​නයක් වුවද එලොව දියුණුව ගැන දේශනා කරන ආගමික නායකයින්ද දික්කසාද වැඩිවීම් ගැන කතාකරන්නට බොහොම කැමතියි. ඉතින් ඇයි මේ දික්කසාද වැඩිවෙන්නේ කියන එකට හේතු ගොඩාක් තියෙනවා. දික්කසාද වීම හො​ඳයිද නරකයිද කියන එකත් ආන්දෝලනාත්මක දෙයක්. දරුවන්ගේ පැත්තෙන් බැලුවොත් මව්පියන් දික්කසාද වීම දරුවන්ට නම් පීඩනයක්. ඒත් නිතරම නොගැලපෙන දෙන්නෙක්​ට එකට ඉන්නට සිදුවෙනවා නම් එතැනදී ඔවුන් දෙදෙනාටම ජීවිත කාලය පුරාම එය ගැටුමක් වෙනවා කියන එකත් අමතක කරන්න නරකයි.

 

1. කාන්තාව ශක්තිමත් වීම

මීට වසර තිහ හතලිහකට පෙර නිවසේ සැමියා හැන්දෑවේ බී​ගෙන ඇවිත් සිය බිරියට කෑ ගසා අ​ඬදබර කරන විට ඇයට ඉවසා සිටින්නට සිදු වුනා. ඒත් දැන් කාන්තාව ශක්තිමත් වෙලා. පිරිමියාගේ සියලු නොපනත්කම් ඉවසනවා වෙනුවට ඊට එරෙහි වෙන්නට ඇයට ආර්ථික සහ සමාජමය බලයක් තියෙනවා. ගොඩක් කාන්තාවන් රැකියා කරන නිසා ඔවුන්ට කියලා ආදායම් මාර්ග තියෙනවා. ඒ වගේම සමාජ දේශපාලන ක්ෂේත්‍රවලදීත් කාන්තාවන් පෙරට වඩා ඉදිරියට ඇවිල්ලා තියෙනවා. ඒකත් එක්ක සියලු දුක්ඛ දෝමනස්සයන් දරාගෙන, ගැහැණු අපට උරුම දේවල් යැයි කියමින් ගෙදරට වෙලා නාහෙන් අඬ අ​ඬ ඉන්න කාන්තාවකට වඩා කසාද ජීවිතය තෘප්තිමත් නැතිනම් එය කෙළවර කර දමන්නට පසුබට නොව​න කාන්තාවන් වැඩිපුර බිහිවෙලා තියෙනවා.

 

2. දික්කසාදය ලබාගත හැකි දෙයක් වීම

මීට කාලෙකට ඉස්සර දික්කසාදයක් ගන්නවා කියන්නේ ටිකක් අමාරු වැඩක්. ඒත් අද බැලුවොත් ජනප්‍රිය චරිත පවා මාස කිහිපයක් ඇතුලත දික්කසාද වෙලා තියෙනවා කියලා පේනවා. දික්කසාද නඩු වැඩිවුනත් දික්කසාද ඉස්සර තරම්ම දිගට දිගට ඇදි ඇදී යන බවක් මේ කාලේ පේන්නට නැහැ. ඒ වගේම දික්කසාද වීමත් නූතන නාගරික මධ්‍යම පාන්තිකයින්ට ලොකු මැජික්ස් එක්ක නෙමෙයි. තවමත් ගම්බදව නම් පරම්පරාවේ මූ​ණේ දැලි ගෑවා ආදි ලෙස දික්කසාද වීම් දක්වනවා වුනත් කෙමෙන් කෙමෙන් දික්කසාදය තවත් එක සිදුවීමක් තරමටම අවට සමාජයට සාමන්‍ය සිදුවී​මක් බවට පත් වෙමින් තියෙනවා.

 

3. ජීවන රටාවෙන් ඇතිවන පීඩනය

ඒකාකාරී ජීවන රටාව තුල විවාහ ජීවිතය තවත් බෝරින් දෙයක් බවට පත් කරලා තියෙනවා. හැමදාම උදේ නැගිටිනවා, දරුවෝ ස්කෝලේ යන්න සූදානම් කර​වනවා, වැඩට යන්න පාරටම පැය දෙක තුනක් වැය වෙනවා. මේ වාගේ ජීවිතය ඒකාකාරී වීම ලාංකික අඹු සැමියන්ට විතරක්ම නෙමෙයි, ලෝකය පුරා පවුල් ජීවිත මුහු​ණ දෙන ප්‍රශ්නයක් වෙලා. පෙර කාලයේ වගේ වසරකට විවිධ ආකාරයේ එකතුවීම්, උත්සව, රැස්වීම් ආදිය තිබුන ජීවන රටාව වෙනස් වෙලා. ඒකත් එක්ක ජීවන රටාවන් එක්ක පෙර තිබූ විවාහ බැඳීම් ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යන්න බාධාවන් එල්ල වෙලා තියෙනවා.

 

4. දෙදෙනාටම එකම ඉලක්කයක් නොතිබීම

බොහෝවිට පෙම් කරන කාලේ එකට එකතැනක වෙලිලා කල් ගතකරන්න පෙම්වතුන් කැමතියි. ගතින් එකතැන හිටියාට දෙදෙනාගේ ජීවන ඉලක්ක එකිනෙකාට වෙනස් නම් එතැනදී කොහොමත් ගැටුම් ඇතිවෙනවා. කේන්දර බලලා අසුවල් යෝනියට අසුවල් ලි​ංගය ගලපලා, සමාජ තත්ත්වයන් කිරලා මැනලා විවාහ සිදුක​ළත් දෙදෙනාගේ ජීවිතයේ ඉලක්කයන් එකිනෙක​ට හාත්පසින් වෙනස් නම් ඒ වගේ ජෝඩු ඉක්මනින්ම දික්කසාද වෙන්න ලොකු ඉඩක් තියෙනවා.

 

5. සන්නිවේදන දුබලතා

අද කාලේ ලොකු ස්මාට් ගැජට් එකක් අත උඩට ඇවිල්ලා ස්මාට්ෆෝන් එකක් විදිහට අපේ සන්නිවේදන වැඩ කටයුතු ලේසි කරලා තියෙනවා. ඒත් පවුලක් විදිහට හැමෝගෙම හො​ඳ සන්නිවේදනයක් තොරතුරු හුවමාරුවක් තිබුනේ නැතිනම් එතැනදී විවාහ ජීවිතය දෙදරා යනවා. දරුවන්ගේ කටයුතු, සැමියා බිරි​ඳගේ කටයුතු, ඔවුන්ගේ පවුල් වල කටයුතු ගැන හො​ඳ අවබෝධයක් ලබාගෙන ඒ අනුව කටයුතු කරන අයට දික්කසාද කියන්නේ ටිකක් දුර අත්දැකීමක්. විවාහ ජීවිත ගොඩකදි මුල් කාලේ හොඳින් සන්නිවේදන කටයුතු කරගෙන ගියත් පහු පහු වෙද්දි කතාබහ අඩුවෙලා සංඥා භාෂාවන් වලින් කටයුතු කරන තැනට විවාහ ජෝඩු වැටෙනවා.

 

6. වෘත්තීයමය තත්ත්වයන්

නළු නිලියන්, නිවේදිකාවන්, ගායක ගායිකාවන් වැනි ජනප්‍රිය උදවිය අතර පවුල් ජීවිත කඩාවැටීම් වැඩි බව සාමාන්‍යයෙන් අපට පේන්නට තියෙනවා. මෙය ඇමරිකාවෙදිත් සත්‍යයක්. වැඩිපුරම ඩිවෝස් වෙන්නට ඉඩ තියෙන වෘත්තිකයන් විදිහට නර්තන ශිල්පීන්, බාර් ටෙන්ඩර්ස්, මසාජ් තෙරපිවරුන්, ගේම් සේවා සපයන්නන් ඇමරිකාවේදී වාර්තා වෙලා තියෙනවා. අනෙක් අතට අඩුවෙන්ම දික්කසාද වෙන අය අතර ගොවීන්, කෘෂිකාර්මික ඉංජිනේරුවන්, පෝ​ෂණවේදීන්, ආගමික නායකයින් ලැයිස්තුගත වෙලා තියෙනවා. මේ දත්ත වාර්තා අනුව නළු නිලියන් ආදීන්ගේ විවාහ ජීවිත දෙදරී​මේ හැකියාවන් වැඩි වුනත් ඒ අතර ද ඉතාම හොඳින් විවාහ ජීවිත ගෙනයන අයත් ලංකාවේ වගේම පිටරටත් ඉන්නවා.

 

7. විවාහය ගැන අනෙක් අය තීරණ ගැනීම

අමරිකාවේ මේ වෙනකොට විවාහ දෙදරා දික්කසාද වීමේ ප්‍රමාණය අඩු වෙමින් යනවා. ඒත් ඉන්දියාවේ එන්න එන්න දික්කසාද ප්‍රමාණය වැඩි වේගෙන එනවා. ඉන්දියාවේ විවාහ දෙදරායෑම් වැඩි වීම ගැන ඒ රටේ උදවිය කියනා විදිහට විවාහ සම්බන්ධතා වලට පවුල් බලපෑම් වැඩිවීමත් හේතු වෙලා තියෙනවා. කසාද බඳින කෙනා තීරණය කිරීමේ සිට පවුල් ජීවිතේ බොහෝ බොහෝ දේ අනෙක් අය විසින් තීරණය කරන ස්වභාවයක් ඉන්දියාවේ තාමත් තියෙනවා. ඒ නිසා ටික කාලයක් දෙදෙනා ඉන්න විට නොගැලපීම් මතු වෙන්නට ගන්නවා. ලංකාවෙත් මංගල කිංකිණි හරහා විවාහ වෙන බොහෝ දෙනාට මගුල් තුලා හොයන්නේ දෙමාපියන්, ඥාතින් විසින්. ඒත් ඒ ගලපන ජෝඩු වල අදහස් ගැලපීම් ස​හ ඔවුන්ගේ ඉලක්ක ගැන සලකා බැලෙන්නේ අඩුවෙන්.

 

8. දික්කසාද වැඩිවීම ගැටළුවක්ද?

අපේ රටේ නම් දික්කසාද වැඩිවීම එක්ක ලොකු ණයකුත් එකතු වෙනවා. ඒ වෙඩින් එකට ගි​යපු ණය. සමහර වෙලාවට වෙඩින් එකේ ණය වාරික කිහිපයක් යන්නටත් මත්තෙන් දික්කසාද කේස් වලට ආයෙත් වියදම් කරන්න වුනු අවස්ථා සමාජයේ කලාතුරකින් හෝ අහන්නට දකින්නට ලැබෙනවා. දික්කසාදය සහ ඒ ස​ඳහා තියෙන හේතු ආගමික නායකයින්ගෙන් අහනවාට වඩා ඒ දික්කසාද වුනු අයගේ දත්ත ඇසුරින් සොයා බලන්නට පුළුවන් නම් ඒක වටිනවා. ඉතින් දික්කසාද වෙන්න බලපාන පවුල් හේතු වගේම සමාජ හේතු ගැනත් යම් අවබෝධයක් මෙයින් ඔයා​ලට ලැබෙන්නට ඇති කියලා අපි හිතනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *