ටිකක් වැඩිපුර ලැබෙන්න ගත්තාම අපේ අය පටන් ගන්න මෝස්තර වැඩ 7ක්

Spending Fashions

මුදල් වලට අමතරව ගුණ ධර්ම, මනුස්සකම, යාළුවෝ, මිනිස්සු ජීවිතේ උපයාගත් විට තමයි ජීවිතය ලස්සන වෙන්නේ. ඒත් ජීවිතයක් හැඩට ලස්සනට ගෙනියන්න නම් අනික් සෑම සියලු දේ වගේම මුදලුත් එක්තරා පමණකට තිබෙන්නට ඕනි. රට ගිහින් හෝ වෙනත් ක්‍රමයකින් ඉක්මනින් පොහොසත් වෙන්න අපේ සමාජයෙ සමහර අයට වාසනාව ලැබෙනවා. නැත්නම් රැකියාවේ උසස්වීම් ලැබිලා, වෙනත් ආදායම් මාර්ග විවර වෙලා එකපාර පෝසත් වෙන අයත් ඉන්නවා. ඉතිං මේ එකපාර සල්ලි ටිකක් අතගාද්දි අපේ අය ජීවිතේ වෙනස් කරගන්නේ කොහොමද කියලා අපි ටිකක් සොයා බැලුවා.

 

1. ලොකු ගෙයක් හදනවා

Spending Fashions

Source – youtube.com

ඇඳුම්, ආහාර, නිවාස කියන තුන ජීවිතයට අත්‍යාවශ්‍යයි. නිවෙසක් හදාගැනීම බොහෝ දෙනාට යාන්තම් ඉගෙනගන්නා වයසේ පටන් තිබෙන හීනයක්. සල්ලි ලැබෙන්න ගත්තාම සමහර අය ගෙවල් රූපවාහිනියේ සිනමාවේ දකිනවා වගේ විශාල මන්දිර බවට පත් කරගන්නට උත්සාහ කරනවා. මුදල් වැඩිමනක් තිබේනම් ගෙවල් සෑදීම කිසිම ගැටළුවක් නැහැ. එහෙත් ආදායම ස්වල්පයක් වැඩිවෙත්ම හදන්න ගන්න මේ ගෙවල් නිසා ඇතැමුන්ට ගෙටම මුළු ජීවිතයම යටත් කරන්න වෙලා තිබෙනවා. කොරියාවේ ගිහින් විශාල මුදලක් හොයාගත් බොහෝ දෙනා කරන වැඩක් තමයි විශාල ගෙයක් හැදීම. ඉතාලි ගියපු අයත් ඇතැම්විට පිරිසම ඉතාලියේ සිටියත්, ලංකාවෙ සුවිසාල ගෙයක් ඉදිකරන අවස්ථා තිබෙනවා.

 

2. රථයක් ගන්නවා

Spending Fashions

Source – eaglehonda.com

රථ ගායත් සල්ලි එක්ක අපේ ඇඟට කඩාවදින එක්තරා ව්‍යාධියක්. කොළඹ නම් සාමාන්‍ය දවසක 60ට යන්නත් අමාරුයි. ඒත් ඉතිං මිලියන ගාණක් දීලා ඇතැමුන් ගන්නේ වේගෙන් යන්න පුලුවන් නමගිය වාහන. පඩියක් වැඩිවෙලා තව බෝනස් එකක් ලැබිලා එහෙම තියෙද්දි පහළ වෙන මේ වාහන කල්පනාව නවතින්නේ මසකට දස දහස් ගාණින් ලීසිං වාරික වලට කැපකරලා විශාල වාහනයක් ගැනීමෙන්. ජීවිතයට අත්දැකීම් අවශ්‍යයි. තරුණ වයසෙදි නැතිව අවුරුදු 50-60 වෙලා රථයක් මිලදී ගෙන වැඩක් නැහැ. ඒත් අපිට ජීවිතේ අනික් අවශ්‍යතා එක්ක අපේ බජට් එක බැලන්ස් කරගෙන දුවන්න හැකි මට්ටමේ රථයක් ගන්න එක මෝස්තරේට වාහන අරං ගෙදර තියාගෙන ඉන්නවාට වඩා වැදගත් .

 

3. අලුත් විනෝදාංශ

Spending Fashions

Source – barkface.com

“අහ් ඔයාල අහල නෑ මේ බල්ල ගැන? මූ දැන් නම් දෙන්න පුලුවන් ලක්ෂ එකහමාරකට වුනත්. මේ එහා පැත්තේ ඉන්නෙත් ඒම එකෙක්” ආදී ලෙසින් නිවසට ගිය කල තමුන්ගේ බලු සුරතලුන් හඳුන්වාදෙන ඇතැම් පිරිස් සිටිනවා. මේ වගේ ඇතැම් විනෝදාංශ වලට දැඩිව ඇලුණු අයට සල්ලි ටිකක් ලැබුනාම මොකද කරන්නේ? බල්ලන් ඇති කරනවා නම් අලුත් බල්ලෙක් ගේනවා. නැත්නම් බල්ලට අලුත් මොකක් හරි කූඩුවක් හරි හදනවා. මේ විදියේ විවිධ සතුන් අතිකිරීම වගේ වියදම වැඩි විනෝද කටයුතු වලටත් අපේ අය වැඩි සල්ලි ටික නාස්ති කරලා දාන්න බොහෝම කැමතියි.

 

4. ෆැෂන් ඇඳුම් පැළඳුම්

Spending Fashions

Source – roughguide.com

පිරිමි පාර්ශවයේ අයට එතරම් නොවූවත්, සමහර කාන්තාවන්ට නම් සැමියානෝට යම් වැඩි මුදලක් ලැබීම කිව්ව ගමන් මතක් වෙන්නේ ගිය වතාවේ සල්ලි මදි නිසා සාප්පුවේ දාල බලලත් තියලා ආව ඇඳුම් ටික. ගෙදර අල්මාරිය පිරෙන්න රෙදි පෙරදි තිබ්බත් ඉතිං මදි නේ… ආබරණ සපත්තු ආදී මේ ෆැෂන් වුනත් සල්ලි ලැබිලා හෝ ලැබෙන්න තියෙන සල්ලි වලට හෝ අපේ අයට වැළඳෙන නාස්තිකාර ලෙඩක්… හැමෝම ආසයි ලස්සනට අඳින්න පළඳින්න හැඩ වෙන්න. ඒත් අපේ තියෙන ආදායමෙන් විශාල කොටසක් මේවාට වියදම් කලාට පස්සේ ? වෙන හැඩ වැඩේටත් සදා ණය වෙන්න තමා වෙන්නේ.

 

5. දේවාල පඬුරු පාක්කුඩම්

Spending Fashions

Source – telanganatoday.com

හිතුව නැති වෙලේක හදිසි වාසියක් වුනොත් අපේ ඇතැම් පිරිස් තවමත් හිතන්නේ එය අදෘෂ්‍යමාන බලවේග වල උදව්වකින් සිදු වූවක් බවයි. ඉතිං ඒ අදෘෂ්‍යමාන බලවේග දැක්වූ සහයෝගයට ප්‍රති උපකාර ලෙස ඔවුන්ට සැලකීම, බාර ඔප්පු කිරීම ආදියට දුප්පත් අයත් හරි හරියට පෙළඹෙනවා. මුදල් එද්දි කට්ටිය ගිහින් පුදදීලා මුදල් නැති නාස්ති කරගන්න එක්තරා ක්‍රමයක් ලෙස මේ ගුරු හරුකම්, කේන්ද්‍ර, යන්ත්‍ර මන්ත්‍ර සහ දේවාල දැක්විය හැකියි. සල්ලි මුදල් ටිකක් ලැබෙන විට මේ දේවාල සහ පුද පූජා මධ්‍යස්ථාන වල දෙවියන්ට කෙසේ වෙතත් එම පුද්ගලයාට සල්ලි ඇති බව කපුවන්ට නම් හොඳින්ම වැටහෙනවා. ඉන් පසු ඔවුන් විවිධ ආකාර අණවින කැපීමට, සෙතක් සාන්තියක් උදා කිරීමට ඔබේ සාක්කුවට පර්ස් එකට ටිකෙන් ටික එබෙන්නට ගන්නවා ඇති.

 

6. සෙට් වෙනවා, නැති වෙනවා

Spending Fashions

Source – medicalnewstoday.com

බෝතලය කියන්නේ කණ්ඩායමක් ඉතාම ඉක්මනින් එකතු කරගත හැකි මහත් වටිනාකමක්, ආකර්ශනයක් තිබෙන දෙයක්. විවිධාකර දුම් වර්ග වටාත් වෙනත් කිසිම දේකට නැති තරම් වේගයෙන් පිරිස ඒකරාශී වෙනවා. මිතුරු තොමෝ රට ගිහින් ඇවිත් හෝ සල්ලි ටිකක් අතපත ගාල ඇවිත් නම් වටේ පිටේ ඉන්න යාළුවන්ට ඒක ඉවෙන් වගේ දැනෙනවා. ඉතිං සෙට් වෙමුද මචං කියලා අහන ඇහීම ඇතැම් විට රට සිට ආ යාළුවා නැවත රට යන තෙක්ම දිනපතා, නිතිපතා සිදුවෙනවා. මේ විදියට බෝතලය සහ මත්ද්‍රව්‍ය ආදියත් සල්ලිත් එක්ක අපේ ජීවිත වලට යාළුවන්ගෙන් කඩාවදින විනාශකාරී මුදල් නාස්ති ක්‍රමවේද. මිතුරන් එකතු කරගෙන එක වතාවක් දෙකක් මසකට වතාවක් වගේ පොඩි පාටියක් දැමීම, පාටියකට යෑම ලොකු අවුලක් නෑ. ඒත් නිතර නිතර පාටි දැමීම නම් අපේ වැඩි සල්ලි ටික ඉක්මනින්ම අඩු කරවන්නට හේතු වෙනවා.

 

7. වෙඩින් ගැනීම

පියාට මවට වැඩි මුදලක් ලැබුනා නම් අවිවාහකව ඉන්න දුව පුතා විවාහ කිරීමේ උත්සව ජයටම ගන්නට ඔවුන් කැමතියි. තමුනුත් වැඩිපුර කීයක් හරි හොයාගෙන ඇවිල්ල නම් අනික් අයට සෙකන්ඩ් නොවී වෙඩිමක් ගැනීමයි අපේ හීනේ. මංගල උත්සව තිබෙන්නේ අපිට විනෝද වන්නට. ඉතිං අවුරුදු ගාණක් ණය ගෙවමින් අපි වසර ගණනාවක් හරි හම්බකරගත් මුදල් තොගයක් එකවර විනාශ කරගනිමින් ගන්නා විශාල වෙඩිමක් අවසානයේ අපිට බොහෝවිට ඉතිරි වන්නේ කළකිරීම පමණයි. නෑදෑ යාළු මිත්‍රයන්ට නොදන්වා වෙඩිමක් ගෙන අපිට ඉන්න බැහැ. එහෙම කරන්න ඕනිත් නැහැ. ඒත් අපි අමාරුවෙන් හම්බ කරපු, එහෙම නැත්නම් ණයට ගත් මුදල ඉතා පිරිමැස්මෙන් වෙඩින් වලට වියදම් කලොත් වෙඩින් එකෙන් පසුවත් වෙඩින් එක මතක් කරලා සතුටු වෙන්න අවස්ථාවක් අපිට උදාවේවි.

වෙබ් සයිට් එකකට හෝ පුවත්පතකට ඔබේ වියදම් කිරීම ගැන උපදෙස් දෙන්න පුලුවන්. ඒත් ක්‍රියාත්මක කරන්නේ ඔබමයි. ඇත්තටම ඔබට වැඩිපුර මුදලක් ලැබුනොත් ඒ වැඩි මුදල තවත් වැඩි කරගන්නේ කොහොමද? ඒක පාලනය කරලා අපි සතුටින් ජීවත් වෙන ගමන් ඒ මුදලින් නිසි පල ප්‍රයෝජන ගන්නේ කොහොමද? කියලා හිතන එක වැදගත්. එතකොට එක එක ලස්සන හීන දකින්න වගේම ඒවා සැබෑකරගන්නත් හිමීට හිමීට අඩිය තියන්න ඔයාට හැකිවේවි.

 
Cover Image Source – steemit.com / beam.land
 

Leave a Reply

Your email address will not be published.