සාමාන්‍යයෙන් අපිට ඔය Abuse කියන වචනය අහන්න ලැබෙනවනේ. හැබැයි ගොඩක් දෙනෙක්ට ඒකෙන් ඇත්තටම කියවෙන දේ ගැන හරි වැටහීමක් නෑ. හරියටම වචනාර්ථය ගත්තොත් කියන්න පුළුවන් ඇබියුස් කියන්නේ අපිව පාවිච්චි වීම කියලා. එතකොට කෙනෙක් අහයි, ඉතින් අපිව මුළු ජීවිතේ පුරාම එක එක විදියට පාවිච්චි වෙනවා නෙවෙයිද, ජොබ් එකකදී වුණත් වෙන්නේ අපිව පාවිච්චි වීම නෙවෙයිද කියලා. ඇත්තටම නෑ. Abuse කියන්නේ අපිව අයථා විදියට, වැරදි විදියට පාවිච්චි වෙන එක. ඒ කියන්නේ අපේ ජීවිත අවුල් වෙන, අපිට මානසික පීඩාවන්, ශාරීරික පීඩාවන්, භාවාත්මක පීඩාවන් ඉතුරු වෙන විදියට තව මනුස්සයෙක් අපිව පාවිච්චි කරන එක. විශේෂයෙන්ම විවාහ ජීවිත ඇතුළේ, ආදර සම්බන්ධතා ඇතුළේ එහෙම වැරදි විදියට මිනිස්සුන්ව පාවිච්චි වීම සෑහෙන්න දකින්න පුළුවන්. ඇත්තටම එහෙම ඇබියුසිව් රිලේෂන්ශිප් වල ඉන්නවා කියන්නේ පුදුමාකාර විදියේ හිංසාවක්.
දැන් සමහරු ඔය විදියේ තමන්ව අයුතු විදියට පාවිච්චි වෙන සම්බන්ධතා වලින් ගැලවිලා යන්නෙත් නෑ. ඒකට හේතුව, එයාලා දන්නෙ නෑ ඇත්තටම තමන්ව එහෙම අයථා විදියට පාවිච්චි වෙනවා කියලා. ආන්න ඒක ඔක්කොටම වඩා නරකයි. අන්න ඒ නිසා, තමන් ඉන්න සම්බන්ධතාවය කායිකව, මානසිකව, භාවාත්මකව පීඩනයක් නම්, පොඩ්ඩක් බලන්න පාට්නර්ට මේ කියන ලක්ෂණ තියෙනවද කියලා. මේ ලක්ෂණ වලින් අඳුනගන්න පුළුවන් අපි ඉන්නේ එහෙම ඇබියුසිව් රිලේෂන්ශිප් එකකද කියලා!
1. කොයි මොහොතෙත් පාලනය කිරීම
මේක ගොඩක් වෙලාවට සුලභව දකින්න තියෙන ඇබියුසිව් රිලේෂන්ශිප් එකක ලක්ෂණයක්. ඒ තමයි ඕනවට වඩා පොසෙසිව් වීම සහ ඕනවට වඩා කොන්ට්‍රෝලින් වීම. සාමාන්‍යයෙන් අපි ආදරේ කරන කෙනෙක් කොහේ හරි ගියාට පස්සේ පරක්කු වෙනකොට පොඩ්ඩක් හොයලා බලන එක එහෙම ස්වභාවික දේවල්. ආදරේදී එහෙම තමයි. අපි වොරි වෙනවා ආදරේ කරන අය ගැන. හැබැයි යන්න කලින් කොහේද යන්නේ, මොන පාරෙන්ද යන්නේ, ගිහින් කාවද හම්බුවෙන්නේ, එතන වෙන කවුද ඉන්නේ කියන සම්පූර්ණ වාර්තාවක් දෙන්න ඕන නම්, ගියාට පස්සේ පැය බාගෙන් බාගෙට කෝල්ස් නං, ගිහින් වීඩියෝ කෝල් අරගෙන හරියටම එතනද ඉන්නේ කියලා පෙන්නන්න ඕන නං ඒ කියන්නේ මේක ඇබියුසිව් රිලේෂන්ශිප් එකක් තමයි. ඒ තරමට පාලනය කරන්න ගත්තහම ඉතින් ජීවිතයක් ඉතුරු වෙන්නෙ නෑ!
2. ඉරිසියාවේ සීමාවක් නැති කම
ගොඩක් දෙනෙක් ඉරිසියාව කියන එක ආදරේ වැඩි හින්දයි කියලා සාධාරණීකරණය කරනවනේ. මෙහෙමයි. මනුස්සයෝ රහත් වෙලා නෑනේ. අන්න එතකොට යම් යම් තැන්වලදී ඉරිසියාවල් හිතට එන්න පුළුවන්. හැබැයි ඉතින් තමන්ගේ කෙල්ල ඔෆිස් එකේ යාළු කොල්ලෙක් එක්ක කයියක් ගහගෙන ඉන්න එකටත් ඉරිසියා හිතන එක, තමන්ගේ කොල්ලට අඳුනන කෙල්ලෙක්ගෙන් සාමාන්‍ය කෝල් එකක් එන එකටත් ඉරිසියා වෙන එක, තමන්ගේ කෙල්ල කෙල්ලගේ අයියට ආදරේ එකට ඉරිසියා වෙන එක, තමන්ගේ කොල්ලා තමන්ගේ අම්මා තාත්තට හොයලා බලන එකට ඉරිසියා වෙන එක දේවල් නං සෑහෙන්න අවුල්. එහෙම ඉරිසියාකාරකම් වලට එහෙම සාධාරණ හේතු ඇත්තෙත් නෑ!
3. අඩුතක්සේරු කිරීම
සමහර වෙලාවට අපේ ජීවිතේ ඉන්න අපේ පාට්නර් අපිව අඩු තක්සේරු කරනවනේ. ඒ කියන්නේ අපි මොකක් කළත් ඒක හොඳ මදි. රස්සාවේ ප්‍රොමෝෂන් එකකට ඇප්ලයි කළොත් අහන්නේ “අපෝ ඔයාට ඕක ලැබෙයිද ඔයට උඩින් තව හොඳ කට්ටිය ඉන්නකොට” කියලා. මොනවාහරි ඉගෙන ගන්න කෝස් එකකට දාන්න හිතුවොත් අහන්නේ “අනේ මේහ්, ඔයාට පුළුවන්ද ඔය ඔක්කොමත් එක්ක විභාගත් කරන්න” කියලා. ඇත්තටම අපි හිතනවටත් වඩා සුලභව මේ අඩුතක්සේරු කිරීම් තියෙනවා. කෙනෙක්ගේ පෙනුමට, කෙනෙක්ගේ අධ්‍යාපන මට්ටමට, කෙනෙක්ගේ ආර්ථික මට්ටමට මේ විදියට ගරහන එක, අඩු තක්සේරු කම් කරන එක ඇත්තටම තමන්ව අයථා විදියට පාවිච්චි වෙන රිලේෂන්ශිප් එකක ලක්ෂණ.
4. තර්ජන ගර්ජන
“අනේ එයාට තරහ ගියහම විතරයි යකා වගේ වෙන්නේ, එහෙම නැතිනම් හරිම හොඳයි, මට හරිම ආදරෙයි” කියලා කියන සමහරු ඉන්නවා. ඇත්ත වෙන්න පුළුවන්. හැබැයි අවුල කියන්නේ මනුස්සයට දවසකට සැරයක් වත් යකාට වගේ කේන්ති යනවා. එහෙම කේන්ති ගියහම කියන කතන්දර අහගෙන ඉන්න මනුස්සයෙක්ට නං බෑ. ඔය සමහරු ඉන්නවා කේන්ති ගියාම තමන්ගෙ ගෑණිට හෝ මිනිහට වුණත් බණින්නේ අමුතිත්ත කුණුහරුප කියලා. ඒ වගේම තමයි තර්ජන කරන එක. සමහර වෙලාවට ඒ තර්ජන බ්ලැක්මේල් වෙන්න පුළුවන්. මරණවා කපනවා කියලා ශාරීරික තර්ජන වෙන්න පුළුවන්. ඒ වගේම හැඟීම් සම්බන්ධ තර්ජන වෙන්නත් පුළුවන්. හැබැයි එතකොට කේන්ති නැති වෙලාවට? ඔව්, ඒ වෙලාවට ෂේප් එකේ ආදරෙන් ඉන්නවා වෙන්න පුළුවන්. හැබැයි ඔය කියන්නෙත් ඇබියුසිව් රිලේෂන්ශිප් එකක් ගැන තමයි. එකට ඉන්න ජීවිතේ වැඩි කොටසක් එහෙම තර්ජන ගර්ජන බැණ අඬගැහිලි එක්ක නම් ගෙවෙන්නේ ඒක තමන්ව අයථා විදියට පාවිච්චි කිරීමක්!
5. දත් ගැලෙව්වත් මං ඔයාට හොඳ වැඩියි
මෙන්න මේක නම් ඉතින් ආයෙ සහසුද්දෙන්ම ඇබියුස් කිරීමක් කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. සමහරු ඉන්නවා ජීවත් වෙන්නෙම තමන්ගේ පාට්නර්ගේ පිහිටෙන්. ආයෙ දත් ගලවනවා කියන එකේ ඩෙෆිනිෂන් එක. ඇඳුම් පැළඳුම් අරගෙන දෙන එකේ ඉඳලා, රෑට බඩගිනියි කිව්වහම ඌබර් ඊට්ස් කෑම එකක් දාන්නත් ඕන පාට්නර්. ඌබර් ඊට්ස් දාන්න රෑ වැඩියි නං ආයෙ නයිට් කඩේකින් කෑම අරගෙන ගෙදරටම ගෙනැල්ලා දෙන්න හරි ඕන. ඉල්ලන දේ අරගෙන දෙන්න ඕන. හැබැයි ඔය මොන දේ කළත් එයා කියන්නේ, “ඔයාට මං හොඳ වැඩියි”, “ඔයා වගේ කෙනෙක්ට මං වගේ කෙනෙක් ලැබෙන්න පිං කරලා තියෙන්න ඕන” කියන කතන්දරේ තමයි. අඩු ගාණේ වචනෙන් නොකිව්වත් අඟවන්නේ එහෙම තමයි!
6. මොනව වුණත් ඔයාගෙ වැරැද්ද
මෙන්න මේ කාරණාව වාචිකව කෙරෙන ඇබියුස් කිරීම් වල ඉඳලා ශාරීරික ඇබියුස් කිරීම් දක්වා යන්න පුළුවන්. එතනදී ඉතින් හැඟීම් වලට වෙන හානිය ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. සමහරු ඉන්නවා, රිලේශන්ෂිප් එක ඇතුළේ විතරක් නෙවෙයි, තමන්ගේ ජීවිතේ වරදින හැම දේකම පවා වැරැද්ද පටවන්නේ අනික් කෙනාට, තමන්ගේ පාට්නර්ට. තමන්ට මොනවා හරි අමතක වුණත් ඒක අනික් කෙනාගේ වැරැද්ද. පාරේ මනුස්සයෙක් හිනා වෙලා ගියත් ඒක පාට්නර්ගේ වැරැද්ද. මෙහෙම පටන් අරගෙන ඉතින් බැණඅඬගැහිලි දක්වාත්, සමහර වෙලාවට ශාරීරික හිංසන දක්වාත් මේක දිගු වෙන්න පුළුවන්.
7. ශාරීරික ප්‍රචණ්ඩත්වය
මෙන්න මේක තමයි ඔය ඇබියුස් කියන එකේ ශාරීරික සීමාව. ඒ කියන්නේ තමන්ට අත උස්සන එක. මේකට ගැහැණුද පිරිමිද කියලා අදාළ නෑ. ඕනම කෙනෙක්ට අදාළයි. කිසිම මනුස්සයෙක්ට අයිතියක් නැහැ තවත් මනුස්සයෙක්ට අත උස්සන්න. එහෙම අත උස්සනවා නං, ඒක මොනව වුණත් කේන්ති නැති වෙලාවට මට ආදරෙයිනේ කියලා හිත හදාගෙන ඉන්න පුළුවන් තැනකුත් නෙවෙයි. හොඳට මතක තියාගන්න. අද නියපිටින් ගහන පාරකින් ඇඟ සීරෙනවා විතරක් වෙන්න පුළුවන්. ඒත් ආදරෙයිනේ කියලා ගණන් ගන්නෙ නැතුව ඉඳී. හෙට ගහන පාරකින් අතක් පයක් ඇඟිල්ලක් කැඩෙන්න, තුවාලයක් වෙන්න පුළුවන්. එතකොටත් මොනව වුණත් මගෙ ගෑණිනේ, මගෙ මිනිහනේ කියලා හිත හදාගෙන ඉඳී. හැබැයි අනිද්දා ගහන පාරක් නරක තැනකට වැදිලා, එතනින් ජීවිතේ ඉවර වෙන්න පුළුවන්. ආන්න ඒ නිසා මතක තියාගන්න, අතක් පයක් උස්සනවා කියන්නේ විහිළු නෙවෙයි. ඒ ශාරීරිකව අයථා බලපෑම්, පාවිච්චි කිරීම් කියන එක.
දැන් ඔය ලක්ෂණ වලින් අපිට අඳුනගන්න ලැබුණොත් අපි ඉන්නේ අපිව අයථා විදියට පාවිච්චි වෙන, ඇබියුසිව් රිලේෂන්ශිප් එකක කියලා, ඊලඟට මොකද කරන්නේ? ඇත්තටම කරන්න තියෙන්නේ එකම දෙයයි. පාට්නර්ගේ ගතිලක්ෂණ උපදේශනය මගින් හරි වෙනස් කරන්න බැරි නම්, වහාම එතනින් පළා යන්න!
Leave a Reply