ඔබත් දැනටමත් ගෙදර එහෙ මෙහෙ දුව පනින පුංචි පැටියෙක් ඉන්න, ඒ වගේම දෙවැනි දරුවෙක් වෙනුවෙන් හීන දකින ආදරණීය අම්මා කෙනෙක් නම්, දෙවැනි දරුවාව වැඩිමහල් දරුවා මොන විදිහට පිළිගනීවිද කියලා හිතමින් නිදිනැති රාත්‍රීන් පවා ගෙවනවා ඇති. පුංචි පැටවු කියන්නේ ආදරේ බෙදාගන්න වැඩිය කැමැත්තක් නැති කොටසක්නේ. අම්මාවයි තාත්තාවයි නම් කොහොමටවත් බෙදාගන්න කැමති නැහැ. ඉතින් එහෙමයි කියලා තව පැටියෙක් පවුලට ගෙනෙන හීනය අමතක කරන්න බෑනේ. ඒ නිසා ලොකු බබාව දෙවැනියා පිළිගන්න සූදානම් කරගන්න එකයි වැදගත්. ඉතින් ඒ වෙනුවෙන් ලියවුණු මේ කරුණු ඔයාට ගොඩාක් වැදගත් වේවි.
දරුවා ලැබෙන්නට පෙර
1. අලුත් බබා ගැන ගොඩාක් කලින් ලොකු බබාට කියන්න එපා

Image Source – todaysparent.com
නව මාසයක් කියන්නේ ටිකක් ලොකු කාලයක්. අලුත් බබා කුසට ඇවිත් කියලා දැන ගත්තු හැටියේම පුංචි පැටියාට කියන්න එපා අලුතින් චූටි නංගියෙක් මල්ලියෙක් එන බව. එහෙම උනොත් එදා ඉඳන් උදාවෙන හැම දවසකම ‘අදද අලුත් බබා එන්නෙ?’ කියලා දරුවා ඔබෙන් අහන්න පටන් ගනීවී. අලුත් බබා ඉල්ලලා දරුවා හඬා වැටෙන්නත් පුළුවන්. කොහොමත් අම්මාගේ චූටි බණ්ඩිය ටික ටික පේන්න ගන්නකොට ලොකු බබා ප්‍රශ්න අහන්න ගන්න නිසා මුල්ම මාස දෙක තුන වගේ දරුවාගේ මනස පුළුවාන් තරම් අලුත් බබා වෙනුවෙන් සූදානම් කරන්න. අලුත් ආරංචිය දරුවාට දැන් පැවසීම සුදුසුයි කියලා සුදුසු වේලාවේදී අම්මාටම වැටහේවි. එත් වැදගත්ම දේ තමයි, ඔබ පැවසීමට පෙර නිවසට පැමිණෙන කෙනෙක් මඟින් දරුවාට මේ ගැන දැන ගැනීමට ඉඩ නොතියන්න ඕනය කියන එක.
2. දරුවාව තාත්තාටත් නිවැසියන්ටත් ළං කරන්න

Image Source – parenting.com
ඔබ කළයුතුම වැදගත් දෙයක් තමයි මේ. පියාටත්, දරුවා රැකබලාගන්න යම් කෙනෙක් නිවසේ ඉන්නවානම් ඒ පුද්ගලයාටත් ගර්භණී සමය තුළදී හැකි තරම් දරුවාව ළං කරන්න. අලුත් බබාව ගේන්න රෝහල් ගත වෙන්න සිදු වුනාම ඔබට දින කිහිපයක් රෝහලේ ගත කරන්නට සිදුවෙන්න පුලුවන්. ඉතින් වැඩිමහල් දරුවාට ඔබ නැති අඩුව තදින්ම දැනේවි. එය යම්තාක් දුරට හෝ මඟ හැරගන්න මේ ක්‍රමය දරුවාට උදව් වේවි. දරුවා ලැබීමෙන් පසුවත් ඔබට ශාරීරිකව යථා තත්ත්වයට පත්වෙන්නත් බිළිඳා වෙනුවෙන් වැඩි වේලාවක් යොදවන්නත් සිදු වෙන නිසාත් වැඩිමහල් දරුවාගේ කටයුතු ඔබට අපහසු වෙන්න පුළුවන්. එම නිසා කල් තියාම දරුවාව නිවැසියන්ට හුරු කරන්න. බොහෝ දරුවන් පියාට බොහෝම ලෙංගතු නිසා පියා අමතර වේලාවක් රැගෙන තව තවත් දරුවා සමඟ රැඳෙන එක සුදුසුයි.
3. පුංචි බබා පිළිගන්න උත්සව කල්පනාවෙන්

Image Source – southernliving.com
පළවෙනි පැටියා එන්න ළංවෙද්දි නම් පුංචි උත්සවයක් ගත්තු එක ඇත්ත. එතකොට ඉතින් පොඩි පැටියෙක් ගෙදර හිටියේ නැහැනේ. ඔන්න දෙවෙනියා පිළිගන්න කියලා පිරිසක් එක්ක එකතුවෙලා පාර්ටි දාන්න හදනවානම් ගොඩාක් කල්පනාවෙන්. ඔබේ වැඩිමහල් දරුවාට එය මොන විදිහට බලපායිද කියන්න බැහැ.
4. දරුවාගේ සොඳුරු ඡායාරූප පෙළ ඔහුට/ඇයට පෙන්වන්න

Image Source – videoblocks.com
ඔබේ වැඩිමහල් දරුපැටියාගේ උපතේ සිට ගත්තු ආදරණීය අවස්ථාවන්ගේ ඡායාරූප ඒ ඒ අවස්ථාවන් ගැන කතා කරමින් දරුවාට පෙන්වන්න. ඔබ ගර්භණී අවධියේදී ගත් ඡායාරූප දරුවාට පෙන්වන්න. දරුවා උපන් අවස්ථාවේ නෑදෑ හිතමිතුරන් සමඟ ගත් ඡායාරූප දරුවාට පෙන්වන්න. අලුත් නංගී හෝ මල්ලී වෙනුවෙනුත් අම්මා, තාත්තා, නෑදෑයන් කටයුතු කරන්නේ මේ ආකාරයෙන් බව වටහා ගැනීමට ඔහුට එය සහය වේවි. ඔබත් ඒ බව දරුවාට දැනෙන සොඳුරු බසකින් පවසන්න.
5. ඔයාට සෙල්ලම් කරන්න බබෙක් ගෙනෙන බව පවසන්න එපා

Image Source – youtube.com
දරුවාට සෙල්ලම් කිරීමට මල්ලි බබෙක්, නංගි බබෙක් ගෙනෙන බව පවසන්න එපා. එයින් දරුවාගේ මනස සැකසෙන්නේ දුවන පනින, සෙල්ලම් කරන ඔහු වැනිම කුඩා යහළුවෙක් නිවසට රැගෙන එන බවටයි. එත් යාන්තම් ඇස් ඇරගත් බිළිඳා දැකීමෙන් ඔහුගේ බලාපොරොත්තු සුන් වේවි.
6. දරුවාගේ සුවිශේෂී පුරුදු ගැන රැකබලාගන්නාට දන්වා තියන්න

Image Source – parenting.com
ඔබේ දරුවාව හොඳින්ම හඳුනන්නේ ඔබයි. ඔහුගේ පුරුදු හා අවශ්‍යතා හොඳින්ම හඳුනන්නේ ඔබ නිසා ඔබ රෝහල් ගතවීමට ප්‍රථම ඒ සියල්ල රැකබලාගන්නා කෙනා වෙත ලියා හෝ දෙන්න. (දරුවා නින්දට පෙර කිරි වීදුරුවක් බොනවා නම්, දරුවා වඩාත් ආසා කරන සෙල්ලම් බඩු තියෙනවානම්) ඇත්තටම අපි දන්නේ නැහැ දරු ප්‍රසූතියේදී අපට මොනවගේ තත්ත්වයන්ට මුහුණ දෙන්න වේවිද කියලා. බැරිවෙලාවත් හදිසි අවස්ථාවක් එළැඹී සති ගණන් රෝහල් ගත වෙන්න සිදු වුනොත් දරුවාගේ කටයුතු සුපුරුදු පරිදි සිදුවීම ඉතාම වැදගත්.
දරු උපතින් පසුව
1. වැඩිමහල් දරුවාගෙන් එක්වරම ඈත් වෙන්න එපා

Image Source – howto-simplify.com
දෙවැනියෙක් පවුලට එනවායි කියන්නේ පළමු දරුවා ඉබේම ලොකු බබෙක් බවට පත් වෙන එකනම් නෙමෙයි. බිළිඳාට වඩා දැනුම් තේරුම් තිබුනත් පළමු දරුවාත් තවම සුරතල් වියේ බව අමතක කරන්න එපා.
2. තෑගි ගෙනෙනකොට වැඩිමහල් දරුවාටත් තෑග්ගක්

Image Source – independent.co.uk
අලුත් බබා බලන්න නිවසට එන හැමෝම වගේ තෑගි බෝග අරගෙන එනකොට වැඩිමහල් දරුවාටත් අමතක නොකර යමක් අරගෙන එන එක තමයි සුදුසුම දේ. ඒත් එන අයට ඒක අපිට කියන්න බෑනේ. ඒ නිසා කල් තියාම චූටි චූටි තෑගි ටිකක් ගෙනැල්ලා පාර්සල් කරලා පැටියාට නොපෙනෙන්නට තියන එක අමතක නොකරම කරන්න. එන අයට පැටියාට තෑග්ගක් ගේන්න අමතක වෙලා තිබුනොත් ඔයාලාට පුළුවන් කලින් හංගපු තෑගි වලින් එකක් අමුත්තාට දීලා ඒක බබාට දෙන්න කියන්න. ඒක නම් හොඳම විදිහක් පුංචි හිත රිදෙන එක නවත්තගන්න.
3. ඔබේ වචන ගැන ප්‍රවේසම් වෙන්න

Image Source – parents.com
හැම දෙයටම දරුවාට කෑ ගසන්න එපා. “දැන් සෙල්ලම් කරන්න බෑ, බබා නිදි”, “කෑ ගහන්න එපා, බබා ඇහැරෙනවා”, “බබාගේ වැඩ ඉවර වුනාම ඔයාට උදව් වෙන්නම්” වගේ අලුත් බබා මුල් කරගෙනම හැමදේටම කරුණු ඉදිරිපත් කරන්න එපා. එයින් අලුත් බබාව දරුවාට විශාල බාධාවක් සේ දැනේවි. ඒ වෙනුවට “අපි දවල් කෑමෙන් පස්සෙ ඒ සෙල්ලම කරමු” , “මම ඔයාට විනාඩි තුනකින් උදව් කරන්නම්”, “මට විනාඩි පහක් දෙන්න මම එන්නම්” වගේ සුබවාදී පිළිතුරක් ලබා දෙන්න. ඔබේ වැඩිමහල් දරුවාගේ හඬ නොනැගෙන හැඟීම් ගැන ඔබ ඉතාම සැලකිලිමත් විය යුතුයි.
4. ආදරණීය සහෝදර සහෝදරියන් සිටින පින්තූර පොත් කියවන්න

Image Source – i.kinja-img.com
කතන්දර, සිංදු කියන්නේ දරුවො ආසාවෙන් වැළඳගන්න දේවල්. දරුවො සමහර වෙලාවට ඒ ඒ කතාවල චරිත බවටත් හිතින් පත්වෙනවා. හරි ඉක්මනට දරුවන්ගේ මනසට යමක් ඇතුල් කරන්න සාර්ථකම ක්‍රමයක් තමයි මේ. ආදරණීය නංගිලා මල්ලිලා, අයියලා අක්කලා ගැන කතා කියවන්න. රූප පෙන්වන්න. ඔයාත් ඒ වගේ හොඳ අයියෙක් අක්කෙක් කියලා දරුවාට කියලා දෙන්න. දරුවා යමක් වටහා ගනීවි.
5. අමතර ආදරයක් ලබා දෙන්න

Image Source – itakeoffthemask.com
අලුත් අමුත්තා නිසා වැඩිමහල් දරුවාගේ හිතෙත් යම් යම් උස් පහත් වීම් ඇතිවෙලා තියෙන්න පුළුවන්. මේ තමයි දරුවාට ඔබේ ආදරය වැඩිපුරම අවශ්‍ය වෙන, වැඩිපුරම ඔබේ අවධානය දිනාගන්න උත්සාහ කරන මොහොත. හැකි තරම් ඔබේ ආදරය දරුවාට පෙන්වන්න. සිප වැළඳ ගැනීම් හැකි තරම් වැඩි කරන්න. ඔබ අසළට පැමිණෙන හෑම අවස්ථාවකම ආදරයෙන් කතාබහ කරන්න. තවමත් කිසිවක් නොවැටහෙන බිළින්දා ඉදිරියේ වැඩිමහල් දරුවාගේ ගුණ වයන්න. කිසිවක් නොවෙනස් බවත්, ඔහු තවමත් ඔබේ ප්‍රථමයා බවත් දරුවාට වැටහේවි, දැනේවි.
6. උත්සාහය අගයන්න, නිවැරදි දේ කියා දෙන්න

Image Source – helenredfernbirthandbaby.com
ඔබ බිළින්දා සමීපයේ රැඳෙන විට වැඩිමහල් දරුවාවද ඒ අසළට කැඳවා ගන්න. පුංචි පුංචි සහයෝග දරුවාගෙන් ලබා ගන්න. ලොකු බබාට පුංචි පැටියාව අතගාන්න, සිප ගන්න අවස්ථාව ලබා දෙන්න. දරුවාව අගය කරන්න.
7. නිවසට පැමිණෙන අමුත්තන් ඉදිරියේ වැඩිමහල් දරුවා අමතක කර දමන්නට එපා

Image Source – mothering.com
නංගි හෝ මල්ලි එන්න කලින් ගෙදරට එන හැමෝගෙම හැම කතාබහකම හිටපු වැඩිමහල් දරුවාව සම්පූර්ණයෙන්ම අමතක කර අලුත් බබා ගැනම කතා බහ කරන්න එපා. නංගී හෝ මල්ලි බබා වෙනුවෙන් පුංචි අයියා හෝ අක්කා කරපු හපන්කම් ගැන කතා කරන්න. “අද ලොකු බබා තමා මල්ලි බබාගේ නැප්කින් ටික නැමුවේ”, “අද මල්ලි බබා අයියා එක්ක හිනා වුනානේ”, “අක්කි අද නංගි ඇහැරේවි කියලා අපි කාටවත්ම සද්ද කරන්න දුන්නෙ නැහැ” වගේ සුන්දර කතා බහක් ඔබේ වැඩිමහල් දරුවා ගැනත් කරන්න අමතක කරන්න එපා.
Leave a Reply