වාහනයක සැකසුම, විශේෂයෙන් එන්ජිමේ සැකසුම සහ ඒකේ තියෙන ෆීචර්ස් ආදිය කියන්නෙ සමහර අයට ආගමක් වගේ දෙයක්. වාහන කියන්නේ ලංකාව තුලදි අධි මිල වෙන භාණ්ඩයක්. ඒ කියන්නේ වෙන දියුණු රටකදි මාස කිහිපයක වැටුප එකතු කරලා කාර් එකක් ගන්න පුළුවන් වුණාට ලංකාවේ නම් වාහනයක් කියන්නෙ වසර ගණනාවක් ණය ගෙවන්න වෙන අධිමිල බඩුවක්. ඒ එක්ක අපි බොහෝ දෙනා සුවපහසුව, නව මාදිලි ආදියට වඩා රියේ මිලට කාර් මිලදී ගැනීමේදී මූලිකත්වය දෙනවා. ටැක්ස් අඩුවීම සහ නිෂ්පාදන වියදම අඩු නිසා සිලින්ඩර ධාරිතාවය අඩු වාහන මිලෙන් අඩුයි. ඒ නිසා අපේ පාරවල් මේ වෙද්දි අඩු කැපෑසිටි ඉන්දියන් බයික් සහ පොඩි කාර් වලින් පිරිලා තියෙනවා.
1. මොකද්ද සිලින්ඩර ධාරිතාවය කියන්නේ?
දැන් ලෝකේ දුවන වාහන අතරින් බොහොමයක් තවමත් දුවන්නේ අභ්‍යන්තර දහන එන්ජින් වලින්. ඊට අමතරව විදුලි බලයෙන් ධාවනය වෙන වාහනත් දැන් තියෙනවා. එහිදී වාහනය ගමන් කරන්නට විදුලි ශක්තිය මෝටර හරහා රෝද වලට බලය දෙනවා. ඒත් සාම්ප්‍රදායික සහ බහුතරයක් වාහන තවමත් ධාවනය වන්නේ අභ්‍යන්තර දහන එන්ජිමක් මගින්. අභ්‍යන්තර දහන එන්ජින් වල තිබෙන සිලින්ඩර්වල සිලින්ඩරයේ ධාරිතාවය තමයි සිලින්ඩර ධාරිතාවය කියන්නේ. මෙහිදී එන්ජිමේ පිස්ටන් හෙඩ් එකේ ඉඳලා යටට සමස්ථ සිලින්ඩර වල ධාරිතාවය සිලින්ඩර ධාරිතාවය ලෙස සරලව දැක්වෙනවා.
2. සිලින්ඩර් ධාරිතාවය සහ බලය
ලෝකේ කොතැනක වුණත් වාහනයක් රෙජිස්ටර් කරද්දි සිලින්ඩර් ධාරිතාවය සළකා බලනවා. සිලින්ඩර් ධාරිතාවය මගින් එන්ජිමක බලය තීරණය වෙනවා. එන්ජිමක බලය සෑම විටම ඒ වාහනයට යන්න පුළුවන් උපරිම ස්පීඩ් එක වෙන්නේ නැහැ. උදාහරණ විදිහට බස් සහ බර අදින ටිපර් වගේ වාහන වලට එන්ජින් ධාරිතාවය වේගෙන් යන්නට වඩා බර අදින්න උවමනා වෙනවා. ඒ නිසා ලොකු වාහන වලට කොහොමත් විශාල එන්ජින් ධාරිතාවයක් තියෙනවා. මහ මග දුවන දුම්රිය වලට සහ මූදේ යන නැව් වලට කොහොමටත් සුවිශාල සිලින්ඩර ධාරිතාවයකින් යුතු එන්ජින් තියෙනවා. දැවිතෙල් ආදියෙන් විදුලිය ජනනය කෙරෙන සුවිශාල විදුලි එන්ජින් වලත් විශාල සිලින්ඩර් සහිත එන්ජින් භාවිතා වෙනවා.
3. සිලින්ඩර ධාරිතාවය සහ වාහන මිල
ලංකාවේ වාහන මිලට මේ සිලින්ඩර් ධාරිතාවය බලපානවා. වාහන වලට බදු එකතු වීමේදී සිලින්ඩර ධාරිතාවය සැරටම සළකා බැලෙන සාධකයක් වෙනවා. ඒ අනුව කාර් සැළකුවාම එන්ජින් ධාරිතාවය 1000ට අඩු වාහන වලට බදු අඩුයි. ඒ නිසාම එන්ජින් ධාරිතාවයෙන් අඩු වාහන වෙන වැගන් ආර්, මරුති, පිකැන්ටා, වගේ පොඩි කාර් වලින් පාරවල් පිරිලා තියෙනවා. මුල් කාලේ එන්ජින් ධාරිතාවය අඩු වෙද්දි වාහනයේ ගන්න පුළුවන් වේගයත් සැළකිය යුතු ලෙස අඩු වුණා. ඒත් දැන් එන්ජින් ධාරිතාවය 650ක් තරම් අඩු වාහනත් සාමාන්‍ය වාහන ලෙස වේගයකින් ධාවනය කරන්න තාක්ෂණය නිසා පුළුවන්කම ලැබිලා තියෙනවා. මෝටර් සයිකල් නම්, ඇමරිකාවේ තියෙන තඩි විශාල බී එම් ඩබ්ලිව්, රෝයල් එන්ෆීල්ඩ් වගේ මෝටර් සයිකල් බොහොමයක් ලංකාවේ රෙජිස්ටර් කරන්න අමාරුයි. මොකද ලංකාවේ සිලින්ඩර ධාරිතාවය 250ට වඩා වැඩි මෝටර් සයිකල් ලියාපදිංචි කරන්න වෙනමම අවසර ගන්නට වෙනවා.
4. සිලින්ඩර ධාරිතාවය සහ වේගය
කලිනුත් කිව්වා වගේ වාහනයක එන්ජිමෙන් මූලික වශයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ වේගයම පමණක් නෙමෙයි, ලොකු දුමක් දාගෙන, සද්දයක් දාගෙන, එන්ජිම කෑ ගහගෙන යන ලොරියක් අපේ චූටි ස්කූටි බයික් එකක් තරම්වත් වේගයෙන් යන්නේ නැහැ. එතැනදි සිලින්ඩර ධාරිතාවය බර වාහන වල බර ඇදීම පිණිස වැඩිපුර පාවිච්චි වෙනවා. ඒ වගේම සිලින්ඩර අංක මොනවා වුනත් වාහනයේ වේගය පාලනයට ගියර් පෙට්ටියෙන් වැඩි ජවයක් ලැබෙනවා. උදාහරණ විදිහට සාමාන්‍ය ඔටෝමැටික් ගියර් තියෙන 125 සීසී ස්කූටියක් සහ 125 සීසී සාමාන්‍ය ගියර් මෝටර් සයිකලයක් ගත්තාම ස්කූටරය ඉක්මනින්ම රේස් වෙනවා. ඒත් ටික දුරක් යද්දි උපරිම වේගය ගත්තාම ස්කූටියට වඩා සාමාන්‍ය බයිසිකලයේ වේගය වැඩියි. එතැනදි ගියර් බොක්ස් එක මගින් තමයි ඉතුරු වේගය පාලනය සම්බන්ධ වැඩ තීරණය වෙන්නේ.
5. පොඩි එන්ජින් වලට වැඩි බර දැමීම
ලංකාවේ වාහනයක් ගත්තාම මුළු පවුලම දාගෙන ඒකේ සංචාරය කරන එක සාමාන්‍ය දෙයක්. සමහර වෙලාවට ආච්චි, සීයා පවා අමාරුවෙන් වාහනයේ ගමනට එකතු වෙනවා. ඒත් වාහනයක දාන්න ඕනි බරට වඩා දාලා අදින එක විශේෂයෙන් කුඩා එන්ජින් ධාරිතාවයක් සහිත වාහන වලට ගැළපෙන්නේ නැහැ. මරුති වලට, වැගන් ආර් වලට සහ ඒ රේන්ජ් එකේ කාර් වලට ගියර් බොක්ස් එක නිසා සැළකිය යුතු වේගයකින් යන්න ලැබිලා තියෙනවා. ඒත් නිතර නිතර වැඩි බර දැම්මොත් ඒ බර නිසා වාහනයේ එන්ජින් ඉක්මනින්ම ගෙවිලා යන්න පුළුවන් කම තියෙනවා.
6. කල්පැවැත්ම සහ ධාරිතාවය
අපි සරලවම ත්‍රී රෝද රිය ගනිමු. පරණ ජපන් කාර් එකක් අවුරුදු 15-20ක් පාවිච්චි කරලත් ආයේ තව අවුරුදු හත අටක් දුවාගන්න හැකියාවක් තියෙනවා. ඒත් ත්‍රී රෝද රිය එහෙම නැහැ. කාලයත් එක්ක ලෙඩ වැඩිවෙනවා, එන්ජින් සවුත්තු වෙනවා ආදී ගැටළු ගොඩක් එනවා. ඒ වගේම ඉස්සර ආපු සුවිශාල ජපන් බයික් වගේ අද එන කුඩා ඉන්දියන් බයික් එච්චරම පට්ට ගහන්න බැහැ. මෙහිදී සිලින්ඩර ධාරිතාවය අඩු වුණත්, වෙන ට්‍රික්ස් වලින් ගියර් බොක්ස් හරහා වේගය හදලා දුන්නත් එන්ජිම වැඩිපුර මහන්සි වෙන නිසා එන්ජිම ඉක්මනින්ම ගෙවී යනවා. සරලවම එන්ජිම පොඩි නම් වේගෙන් යද්දි එන්ජිම හැම වෙලාවෙම එහි උපරිම වැඩ හැකියාවෙන් රන් කරන්නට ඕනා වෙනවා. ඒ නිසා එන්ජින් ධාරිතාවය අඩු වාහන ඉක්මනින්ම ගෙවී යෑම් වලට ලක් වෙනවා. කාර් ගත්තොත් සිලින්ඩර ධාරිතාවය ටිකක් වැඩි වාහන හැමතිස්සේම අඩු බලයකින් ධාවනය වන නිසා ගෙවීයෑම අඩුයි.
7. තෙල් සහ එන්ජින් සයිස් එක
කාර් වලදි එන්ජිමේ සයිස් එක 1500 සීසී වලට වඩා වැඩි වෙද්දි එහි තෙල් කරන එක, ඒ කියන්නේ ලීටරේකට දුවන්න පුළුවන් කිලෝමීටර ගාණ සැළකිය යුතු ලෙස අඩු වෙනවා. බයික් වලදිත් සිලින්ඩර ධාරතාවය 100 සහ 125 අතර කුඩා බයික් ඉන්ධන පිරිමැස්ම අතින් වැඩියි. ඒ අනුව සාමාන්‍යයෙන් එන්ජිමේ ප්‍රමාණය කුඩා වෙද්දි තෙල් පිච්චීම අඩුයි. ඒත් වාහනයකට වියදම් කරන මූලික මුදල, වාහනයේ නඩත්තු කටයුතු, වාහනයේ සුවපහසුව ආදී අංශද වාහනයක වියදම කෙරේ කෙලින්ම බලපානවා. කාර් සහ බයික් ගත්තාම ඒ වාහන වල එන්ජිම විශාලවෙද්දි එන්ජිමේ බර සහ වාහනයේ බර වැඩිවෙනවා. ඒ එක්ක වාහනයේ සුවපහසුවත් තරමක් වැඩිවෙනවා. අපි නිතර යන එන ලේලන්ඩ් බස් නම් සුවිශාල එන්ජින් ධාරිතාවයක් තිබුණාට එතරම් සුව පහසු නැහැ. ඒත් කාර් සහ බයික් ගත්තාම සිලින්ඩර් ධාරිතාව වැඩි විශාල එන්ජින් සහිත ඒවායේ සුවපහසුව ඇඟට දැනෙන වයිබ්‍රේෂන් එක සාපේක්ෂව සෑහෙන වැඩියි.
ලංකාවෙදි නම් පාවිච්චි කරපු හොඳ වාහනයක් ගන්නවාද? එහෙම නැතිනම් අලුතින් එන පොඩි බටු කාර් එකක් ගන්නවාද කියන තැනදි මේ සිලින්ඩර ධාරිතාවය සහ කල්පැවැත්ම කියන සාධක මුලට එනවා. මොකද ලංකාවේ කාර් කියන්නේ සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකත් සළකා බලන වටිනා කියන බඩු ජාතියක්. ඉතින් සිලින්ඩර ධාරිතාවය ගැන ඔයාලා දැනුවත් කරන්න සම්පූර්ණ අවකාශය මේ තුළ නැතත්, මේ හරහා සිලින්ඩර ධාරිතාවය ගැන පොඩි හරි දැනුවත් බවක් ලබාගන්න ඔබට හැකි වෙන්නට ඇති.
Leave a Reply