වොරන් බුෆේගෙන් ඔබේ සාර්ථකත්වයට උපදෙස්

වොරන් බුෆේ කියන්නේ ලෝකයේ අංක එකේ ඉන්න ධනවතෙක්. නමුත් ඔහු කෙතරම් ධනවතෙක් වුණත් සරල ජීවන රටාවකට හුරු වූ අයෙක්. ඒ පිළිබඳව ඔහු විවෘතව කතා  කරන අතර තමාගේ සාර්ථකත්වය පසුපස රහස එය බවද ඔහු කියනවා. අපි අද ඔබ වෙතට ගෙන එන්නේ ඔහු විසින් ජීවිතය සාර්ථක කර ගැනීමට ලබා දී තිබෙන අවවාද කීපයක්.

 

 

1. ඔබ වෙනුවෙන් පළමුව ආයෝජනය කරන්න

අද වන විට අන්තර්ජාලය තුළින් ඔබට ඉගෙන ගත හැකි බොහෝ අවස්ථා නිර්මාණය වී පවතිනවා. ඔබ සිදු කළ යුත්තේ එම අවස්ථාවලින් උපරිම ප්‍රයෝජනය ලබාගැනීමයි. විශේෂයෙන්ම මේ හරහා ඔබට අවශ්‍ය දැනුම උකහා ගැනීමට පුළුවන්. එසේම කිසිම දිනක අධ්‍යාපනය ලැබීමේ අවස්ථාවක් මග හරින්න එපා. එය පොතේ පතේ අධ්‍යාපනයට එහා ගිය යමක් වන්නට පුළුවන්. නමුත් ඒ හැම අවස්ථාවක් තුළින්ම තමන්ගේ දියුණුව සඳහා යමක් එකතු කරගන්න.

 

 

2. ඔබේ වැරදි පුරුදුවලට හැකි ඉක්මනින් තිත තබන්න

මෙහිදී වැරදි පුරුදු ලෙස වොරන් බුෆේ අවධාරණය කරන්නේ වියදම් කිරීමේ පුරුදු පිළිබඳවයි. විශේෂයෙන් ඔබ සොයා බැලීමකින් තොරව මුදල් වියදම් කිරීමට සූදානම්ව සිටින අයෙක් නම් කොපමණ මුදලක් ඉපයෙව්වත් එයින් ඔබට යහපතක් වන්නේ නෑ. වොරන් බුෆේ පවසන අන්දමට මෙවැනි පුරුදු වලින් බැහැරවීම කුඩා අවධියේ පටන් ගන්න සිදු කළ යුතු කාර්‍යයක්. ඒ තුළින් සිතාබලා වියදම් කිරීම ජීවිතයේම කොටසක් බවට පත්වෙනවා. ඔබ වැඩිහිටියෙකු බවට පත්වීමෙන් අනතුරුව වුණත් අධිෂ්ඨානයක් පවතින්නේ නම් වියදම් කිරීම පාලනය කර ගැනීම ඔබට අනිවාර්යයෙන්ම කරන්න පුළුවන්.

 

 

3. මග පෙන්වන්නෙකුගේ සහය ලබාගන්න

බොහෝ දෙනෙක් විවිධ චරිත අනුගමනය  කිරීමටත් අධ්‍යයනය කරන්නත් පෙළඹෙනවා. එය යහපත් තත්ත්වයක්. නමුත් තමන්ගේ ජීවිතයට ඊට වඩා ප්‍රායෝගික පුද්ගලයෙකුගේ සහාය ලබා ගැනීම සිදු කළ යුතුයි. විශේෂයෙන්ම ඔබ ඉදිරියට යෑමට බලාපොරොත්තු වන ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකුගේ සහය ඔබට ලබාගැනීමට පුළුවන්. ඔහුගේ දැනුමෙන් සහ අත්දැකීම් තුළින් ඉගෙන ගැනීම  ඔබේ ගමන වඩාත් වේගවත් කිරීමට හේතුවක් වනු ඇත.

 

 

4. ඔබේ ශක්තිය හඳුනාගන්න

ජයග්‍රහණය කරා ගමන් කිරීමට ඔබට විශිෂ්ටයෙකු වීම අත්‍යාවශ්‍ය නොවේ. එහෙත් ඔබ ඔබේ ශක්තිය සහ එම ශක්තියේ සීමා නිසි පරිදි වටහා ගැනීමට කටයුතු කළ යුතුයි. එසේ ම ඔබේ දුර්වලතා ද හඳුනාගැනීම වැදගත්. මෙසේ ඔබේ ශක්තිය සහ දුර්වලතා නිසි පරිදි වටහා ගැනීම තුළින් ඔබේ දියුණුව වේගවත් කරගැනීමට හැකියාව ලැබෙනු ඇත.

 

 

5. ඔබ ප්‍රියකරන දේ කරන්න

ඔබට විශාල මුදලක් ලැබුණත් ඔබ අප්‍රිය කරන රැකියාවක නිරත වන්නේ නම් එය ඔබව මානසිකව විඩාබර තැනැත්තෙකු බවට පත් කරනු ඇත. මේ නිසා හැකි සෑම විටම ඔබ කැමති දේ කරන්න. නමුත් ඒ තුළින් ඉදිරියට යෑමට උත්සාහ කරන්න. සැමදා එකම තැන රැඳී නොසිට තමන් ප්‍රිය කරන දේ තවත් දියුණු කරගත හැකි ආකාරය සිතා බලන්න. එය ක්‍රියාත්මක කරන්න. ඒ තුළින් මූල්‍ය අවස්ථා මෙන්ම හදවතේ සැනසීම ද ඔබට ලැබෙනු ඇත.

 

 

6. අවදානම් ගැනීමේ දී සැළකිලිමත් වන්න

වැඩි අවදානම වැඩි ලාභයක්, අඩු අවදානම අඩු ලාභයක් යන්න අද වන විට ව්‍යාපාරික ලෝකය තුළ අතිශයින් ජනප්‍රිය පාඨයක් බවට පත්ව තිබෙනවා. නමුත් අවදානම් ගැනීමේ දී අනවශ්‍ය පරිදි අවදානම් ගැනීම තුළින් ඔබේ සම්පූර්ණ ආර්ථික රටාවම අවුලෙන් අවුලට පත්  වීමේ වැඩි හැකියාවක් පවතිනවා. මේ නිසා හැකි සෑම අවස්ථාවකදීම  අවදානම් ගැනීමේදී දෙවරක් සිතන්න. ඔබට සීයට සීයක විශ්වාසයක් නොතිබෙන්නේ නම් අඩු අවදානමක් සහිත අඩු ලාභයක් සඳහා යොමු වන්න.

 

 

7. කාලය ඔබ සතු විශාලම වත්කමයි

කාල කළමනාකරණය අද පරම්පරාව ඉගෙන ගත යුතු ප්‍රධානතම කුසලතාව වනවා. යම්කිසි පුද්ගලයෙකු තමන්ගේ කාලය නිසි පරිදි කළමනාකරණය කර එහි පාලනය තමන් සතු කර ගන්නේ නම් ඔහු ජයග්‍රහණය කරා ගමන් කිරීම කිසිවෙකුට නැවැත්විය නොහැකියි. ඒ නිසා ඔබේ කාලයේ සෑම මිනිත්තුවක්ම නිසි පරිදි ප්‍රයෝජනයට ගැනීමට අමතක කරන්න එපා.

 

එහෙම නම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *