ගෙදරට එන කරදරකාරී සත්තු එලවගන්න පහසු ක්‍රම 7ක් මෙන්න

අපේ ගෙවල් වටේට ගස් තියනවනේ. එහෙම හෝ නැතා හෝ ගෙවල් වලට සාමාන්‍යයෙන් කෘමී සත්තු ඇතුළු කරදරකාරී සත්තු එනවා. පරිසරයෙ ඉන්න එයාලව අපිට නැතුවත් බෑ ඇතුවත් බෑ. ඒ නිසා මැස්සො, කැරපොත්තො, කෝඳුරුවො, මදුරුවො වගේ අයව මරන්නෙ නැතුව නිවසෙන් අයින් කරලා දාන්නෙ කොහොමද කියලයි අපි මේ කියන්න යන්නෙ.

 

1. මදුරුවෝ අයින් කරන්නෙ කොහොමද?

Image Source – wikihow.com

ඇත්තටම මදුරුවා අපිට ලේසියෙන් අතාරින්න පුළුවන් කෘමියෙක් නෙමෙයි. එයා ටිකක් භයානකයි. ඩෙංගු, මැලේරියා වගේ රෝග පැතිරෙන්න රෝග කාරකය මේ මදුරුවනේ. ගෙදරක හවස් වෙද්දි මදුරුවො පිරිලා තියනවානම් අපිට පුළුවන් පැඟිරි තෙල් ටිකක් ස්ප්‍රේ කරන්න. නැත්තන් දුම් ගහන්න. එතකොට මදුරුවන්ට ඉන්න බෑ. කජු ලෙලි දුම්, කොහොඹ කොළ දුම් වගේම කට්ටකුමන්ජල් වලටත් මදුරුවො පැත්ත පළාතක ඉන්නෙ නෑ.

 

2. මැස්සො අයින් කරන හැටි

මැසි කරදරෙත් මේ ටිකේ තදටම තියෙන දෙයක්නේ… කෑමක් හදන්න ගත්තත්, මාළු ටිකක් සුද්ද කරන්න ගත්තත් සින්ක් එක පුරාම මැස්සො. ඉතින් මොකද කරන්නෙ? පොඩි විසඳුම් ටිකක් බලමු එහෙනම්. ඔයාගෙ ගෙදර හොඳට එලිය වැටෙන උලුවස්සට ලණුවක් දාලා ඒකෙ එහා මෙහා පේන ඉටි බෑග් එකකට තඹ කාසි කිහිපයක් දාලා එල්ලලා තියන්න. මැස්සො අහලකවත් ඉන්න එකක් නැති වෙයි. ඒ වගේම සුවඳ හදුන්කූරු පත්තු කරන්න. කුරුඳු තෙල් ටිකක් ස්ප්‍රේ ගන් එකකට දාලා මැස්සො ගැවසෙන තැන් වල ස්ප්‍රේ කරන්න. ඒ වගේම පිලී ජාති ගොඩක් එළියෙ නොතියා ඉන්න වගබලාගන්න. හැමවෙලේම කුස්සිය පිරිසිදුවට තියාගැනීමත් මැස්සො නොඑන්න එක හේතුවක්. ඒ වගේම කොහොඹ තෙල් පහනක් පත්තු කරන්නත් පුළුවන්. පිලියම් විදියට කුස්සිය නිල් පාටින් පේන්ට් කිරීම, නිල් පාට ටයිල් ඇල්ලීම වගේ දේවල් වලිනුත් මැස්සො අඩු කරගන්න පුළුවන්.

 

3. කැරපොත්තොන්ගෙ වීසා අහක් කරන හැටි

Image Source – sagegoddess.com

මුලින්ම අපි බලන්න ඕනි කැරපොත්තො බෝ වෙන්න හේතු සාධක අපි ඉතුරු කරනවද කියලා. ගෙදරක් ගත්තොත් කුස්සියෙ නනාප්‍රකාර කෑමවර්ග තියනවනෙ. ඉතින් අපි කුස්සියෙ වැඩ ඉවර උනාම අස් කරලා කුණු එහෙම හරියට බැහැර කරන්න ඕනෙ. එහෙම නැති උනාම තමා මේ වගේ සත්තු බෝ වෙන්නෙ. ඉතින් බලන්න තැන් තැන් වල කෑම වැටිලා තියෙනවනම් ඒවා එවෙලෙම අයින් කරන්න. ඒ වගේම කුරුඳු කොළ ටිකක් තලලා කැරපොත්තො එන තැන් වල දාන්න. පැඟිරි සුවඳටත් කැරපොත්තො ආසම නෑ. ඒ නිසා පැඟිරි තෙල් ටිකක් ස්ප්‍රේ කරන්න. ඒ කියන්නෙ ඔයා කුස්සිය, බාත්රූම් එක එහෙම පිරිසිදු කරනකොට ලෙමන් යුශ හරි පැඟිරි මිශ්‍ර දේකින් ඒක කළාම කැරපොත්තො ආයෙ පැත්ත පළාතක එන්නෙ නෑ. තව අපිට පුළුවන් පෙපර්මින්ට් ඔයිල් වලට විනාකිරි කලවම් කරලා ස්ප්‍රේ කරන්නත්. ඒකෙන් සත්තු එන්නෙ නෑ වගේම හොඳ සුවඳකුත් ලබාගන්න පුළුවන්.

 

4. චිප් චිප් මීයා

මීයෝ කියන්නෙ නම් හරිම අප්‍රසන්න කරදරයක්. ගෙදරක කුස්සියේ, කාමර වල ඕන තැනක කූඩු හදන් අපිට කරදර කරන ජාතියක් තමයි මේ මීයා කියන්නෙ. ඉතින් අපි මුලින්ම කරන්න ඕනේ ගෙදරක මීයො එන්න පුළුවන් විධි ආවරණය කරන එක. තැන් තැන් වල කෑම ඇරලා නොදා කුණු උනත් නිසි විදියට බැහැර කරන්න ඕනෙ. ඒ වගේම දැනටමත් මීයෝ බෝ වෙලා ඉන්නවනම් ඔයාලගෙ පොත්පත් ඇඳුම් උනත් බේරගන්න බැරුව ඇති නේද? අල්මාරියට කපුරු බෝල ගෙනත් දාන්න. මීයෝ ඒ සුවඳට කැමති නෑ. ඒ වගේම ගෙදරට හොඳ පූසෙක් ගේන්න. මීයො හුරතල් කරන එකෙක්නම් නෙමෙයි. නිතර පූසගෙ සද්දෙ ඇහෙනකොට මීයො පළාතකවත් ඉන්නෙ නෑ. තව මී කූඩුවක් ගෙනල්ලා පුච්චපු කරෝල කෑල්ලක් හරි පුච්චපු පොල් කෑල්ලක් හරි වගේ අමුණලා තියලා මීයා පණ පිටින් අල්ලගන්න පුළුවන්. හැබැයි මෙහෙම අල්ලන මීයෝ වෙලවල් වලට නම් ගිහින් දාන්න එපා. වතුර වලින් මී අසූචි ජලයට එක් වෙලා මී උණ හැදෙන්න ගන්නවා. ඒ නිසා ඒකත් මතක තියාගන්න.

 

5. කූඹින්ව පාලනය කරන හැටි

Image Source – youtube.com

හම්මේ කූඹි කිව්වම ඉතින් නානාප්‍රකාර කූඹි වර්ග ඉන්නවනේ. මේවයින් අපිට කරදරයක් නැති කූඹි වගේම හරිම කරදරකාරී කූඹිත් ඉන්නවා. ඒත් ඉතින් එහෙමයි කියලා සත්තු විනාශ කරන්න අපිට අයිතියක් නෑනේ. කළු කූඹී වගේ අයගෙන් කිසි කරදරයක් නෑ. ඒ උනාට නයි කූඹි, කඩි වගේ අයගෙන් හරි කරදරයි. සීනි බෝතලේට එන ගඳ කූඹි, අපි අර හින්නො කියන්නෙ, උන් වැහුවොත් ආයෙ ඉතින් කතා කරලා වැඩක් නෑ. කෑම මේසෙ නම් කකුල් 4ට වතුර බාජන 4ක් තියන්න. තවත් විදියක් නම් වතුර ටිකකට සීනි හා බොරැක්ස් කුඩු දිය කරලා ඒක ස්ප්‍රේ කරන්න කූඹි ඉන්න තැන් වල. ඒ වගේම හොඳට එළිය වැටෙන්න සලස්වලා තියනකොට කූඹි වහනවා අඩුයි. වතුර සමඟ විනාකිරි කලවම් කරලා ස්ප්‍රේ කළාමත් කූඹි එන්නෙ නෑ. උණු වතුර ටිකකට ලෙමන් මිශ්‍ර කරලා ඒකෙන් මොප් කරන්න. ඒකත් හොඳ විසඳුමක්.

 

6. මෙරුවා/වේයන්

හවස් වෙනකොට රෑන් පිටින් ඇවිල්ල ගෙවල් ආක්‍රමණය කරන්නෙ. වැස්සක් ලඟ එනකොට මෙරුවන්ගෙ ගහණයත් වැඩී නෙ. අයියෝ ඒ උනාට මෙරුවො ටිකක් ගෙට ආවම කොයි තරම් කරදරද?

ලයිට් එක ඕෆ් කරන් ඉන්න එක නම් විසඳුමක් නෙමෙයි ඒකට. මේවට කෙම් විදිහට අපි කතා නොකර ගිහින් ගහක අත්තක් කඩන් ඇවිල්ලා එල්ලනවා වගේම ගෙවල් වලට වේයො කරදරෙත් ඉවසන්න බෑනෙ.‍ රසායනික ක්‍රම වලින් තොරව ස්වභාවිකව අයින් කරන්න නම් ඔන්න අපිට මෙහෙම කරන්න පුළුවන්. තෙත කාඩ්බෝඩ් එකක් වේයො එන තැන් වලට තියලා වේයො ටිකක් එක තැනකට එක් කරගන්න. එයාලගෙ රාජධානියක් හදාගත්තු වෙලාවක ඩෝන් ගාලා ඒ කාඩ්බෝඩ් ටික අයින් කරලා දාන්න. ඒකෙන් වේයො අඩු කරගන්න පුළුවන්. ගෘහ භාණ්ඩ වලට වේයෝ නොකන ආලේපන ගාන්න වගබලාගන්න. ඒ වගේම වේයො ඉර එළිය වැටෙන තැන් වල ඉන්න ආස නෑ. ඒ ගැනත් සැළකිලිමත් වෙලා වේ උවදුරට පිළියම් සකස් කරන්න.

 

7. හූනො කරදරෙත් එහෙමමයි නේද?

Image Source – .wikihow.com

ගෙවල් වල සාමාන්‍යයෙන් හූනො ඉන්නවනේ. ඒත් ඉතින් හරි කරදරයිනේ. කෑම බීම හදන ඒවට කට දානවා. අපද්‍රව්‍ය පිට කරනවා. ඒ නිසාම මේ වගේ ඒවා ටිකක් ට්‍රයි කරලා බලන්න එයාලට හිංසාවක් නොකර අයින් කරන්න. බිත්තර කටු වල ගන්ධයට එයාලා කැමති නෑ. ඒ නිසා මුලු වල බිත්තර කටු තියලා තියන්න. ඒ වගේම කෝපි කුඩු වලින් හූනෝ සාර්ථකවම එලවන්න පුළුවන්. කෝපි කුඩු හූනො වැඩියෙන්ම ගැවසෙන තැන් වලට ඉහින්න. තව සුදුළූණු වලටත් හූනො ඉන්නෙ නෑ. ඒ ගඳ දැනෙන තැනකවත් ඉන්නෙ නෑ එයාලා. ඒ වගේම ගම්මිරිස්කුඩු ටිකක් දිය කරලා ස්ප්‍රේ කරන එකත් ගොඩක් හොඳයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *