ලංකාවේ නිදහස් දවස කවද්ද කියලා ඇහුවොත් ඔක්කොමලා දෙන උත්තරේ තමයි පෙබරවාරි 04. අපි අපේ ජාතික දිනය විදිහටත් සලකන්නේ පෙබරවාරි 04ම තමා. ඒත් ඇත්තටම පෙබරවාරි 04 අපිට ලැබුණේ පූර්ණ නිදහසක් නම් නෙමෙයි. ලැබුණේ ඩොමීනියන් තත්ත්වය. ආරළු බූරළු නැතුව ඩොමීනියන් තත්ත්වය කියන්නේ මොකද්ද කියලා විස්තර කරනවා නම් සරලව මෙන්න මෙහෙම කියන්න පුළුවන්. ලංකාවේ මිනිස්සුන්ට තමන්ගේ පාලන කටයුතු කරන්න පුළුවන්, ඒත් රටේ රාජ්‍ය නායකයා වෙන්නේ මහා බ්‍රිතාන්‍යයේ රජතුමා හෝ රැජින. මේ ඩොමීනියන් තත්ත්වයේ ඉඳන් ලංකාව පූර්ණ නිදහස ලබාගන්නේ 1972 ජනරජ ව්‍යවස්ථාවෙන්. ඒත් 1948 පෙබරවාරි 04 කියන්නේ අපේ රටේ ඉතිහාසයේ සංධිස්ථානයක්. සියවස් ගාණක් බටහිර රටවල අර්ධ සහ සම්පූර්ණ වශයෙන් යටත් විජිතයක් බවට පත් වෙලා ඉඳලා නිදහස වෙනුවෙන් තැබූ යෝධ පියවරක් විදිහට 1948 පෙබරවාරි 04 අපිට සලකන්න පුළුවන්. අපිට මේ ඩොමීනියන් තත්ත්වය ලැබෙන්න අපේ රටේ ජාතික වීරයෝ වගේම එක්තරා විදේශිකයෙකුත් තීරණාත්මක කාර්යභාරයක් කළා. ඔහු තමයි සෝල්බරි සාමිවරයා. මේ සටහනෙන් අපි සෝල්බරි සාමිවරයාගේ ජීවිතය සහ ලංකාවට ඇති බැඳීම ගැන කතා කරනවා.
1. සෝල්බරි සාමිවරයාගේ වගතුග
සෝල්බරි සාමිවරයාගේ පෞද්ගලික නම තමයි හර්වල්ඩ් රැම්ස්බොතම් (Herwald Ramsbotham). ඔහුට ලැබුණු නම්බු නාමයක් තමයි “සෝල්බරි සාමි” කියන්නේ. ඔහු පළමුවැනි ලෝක යුද්ධය තුළ හමුදා සේවයට එකතු වෙලා, සොල්දාදුවෙක් විදිහට කීර්තී නාමයක් ලබාගන්නවා. 1929 දී ලැන්කෙස්ටර් හී මන්ත්‍රීවරයා විදිහට දේශපාලනයට පිවිසෙන හර්වල්ඩ් විවිධ අගමැතිවරුන් යටතේ කැබිනට් පදවි ඇතුළු විවිධ තනතුරු ලබනවා. 1941දී ඔහු සෝල්බරිහි බැරන්වරයා බවට පත්වෙනවා.1944 දී ශ්‍රී ලංකාවේ (එවකට සිලෝන්) වියයුතු ව්‍යවස්ථා සංශෝධන පිළිබඳව සොයා බලන්න පත් කරන කොමිසමේ සභාපතිවරයා බවට පත් කරනවා. දැන් අපි කතා කරන “සෝල්බරි කොමිසම” තමයි මේ.
2. සෝල්බරි කොමිසම සබැඳි රස කතා
සෝල්බරි කොමිසම මේ ලංකාවේ කටයුතු කරපු කාලය ගැන රස කතා ලංකාවේ පැරන්නන් කියනවා. හැබැයි හොඳටම හොයලා බැලුවොත් මේවා බොරු කතා කියලා කියන්න පුළුවන්. ඒත් ඒ කතා රහයිනේ. ඒ නිසා දැන කියාගත්තට අවුලක් නෑ. ප්‍රසිද්ධම සහ රසවත් කතාව මෙන්න මෙහෙමයි. සෝල්බරි සාමිවරයා දවසක් ඔලිවර් ගුණතිලක මහතා සමග යද්දි ඔලිවර් ගුණතිලක යෝජනාවක් කරනවා, ලංකාවේ ව්‍යවස්ථා සංශෝධන ගැන සාමාන්‍ය ජනතාවගෙනුත් අදහස් ගන්න ඕන කියලා. සෝල්බරි සාමිවරයා මේ අදහසට අතිශයින් කැමති වෙනවා. “අපි එහෙනම් අර ඉස්සරහා කුඹුරේ වැඩ කරන ගොවියෝ එක්ක කතා කරමු” කියලා ගුණතිලක කියනවා. සෝල්බරි සාමිවරයාත් ඒකට කැමති වෙනවා. සෝල්බරි සාමිවරයා තමන්ට ඔවුන් සමග කතා කරන්න උදව් කරන්න කියලත් ගුණතිලකට කියනවා. ඒත් ගුණතිලකට කතා කරන්න ඕන වෙන්නේ නෑ. අර අමුඩේ ගහන් කුඹුරේ වැඩ කරන ගොවියෝ ව්‍යක්ත ඉංග්‍රීසියෙන් ලංකාවට ඩොමීනියන් තත්ත්වය දෙන්න ඕන කියලා සෝල්බරි සාමිවරයාට විස්තර කරනවා. ලංකාවේ ගොවීන් පවා හොඳ උගතුන් විදිහට හිතන සෝල්බරි සාමිවරයා ලංකාවේ ගැන හොඳ වාර්තාවක් යැව්වා කියලා කියනවා. මේ ගොවීන් ඩී. එස් සේනානායක මහතා විසින් එවපු කොළඹ හතේ පිරිසක් කියලා තමයි කතාවේ කියන්නේ.
3. ලංකාවේ නිදහස් දිනය = සෝල්බරි සාමිවරයාගේ බිරිඳගේ උපන්දිනයද?
මෙහෙම කතාවක් අපේ කට්ටිය අතර තියෙනවා. ඒ තමයි සෝල්බරි සාමිවරයා තමන්ගේ බිරිඳගේ උපන්දිනය දවස ලංකාවේ නිදහස් දිනය විදිහට යෝජනා කළා කියලා. මේක ඇත්තද බොරුද කියලා අපිට ස්ථිරව කියන්න බෑ. හැබැයි සෝල්බරි සාමිවරයාගේ බිරිඳ වුණු ඩොරිස් වයලට් රම්ස්බොතම් ආර්යාව ඉපදිලා තියෙන්නේ 1890 පෙබරවාරි 04 කියලා නම් අපිට ස්ථිරව කියන්න පුළුවන්.
4. සෝල්බරි සාමිවරයා ඩී. එස්ගෙන් ගත් පොරොන්දුව?
මේ කියන්න යන්නෙත් කට කතාවක් විතරයි. මේකත් ඇත්තද බොරුද කියන්න අපි දන්නේ නෑ. කතාවක් තියෙනවා ඩී. එස් සේනානායක මහත්තයා සෝල්බරි සාමිවරයාට ලංකාවට ඩොමීනියන් තත්ත්වය නිර්දේශ කරන්න කියලා ඉල්ලීමක් කළා, ඒ වෙනුවෙන් සෝල්බරි සාමිවරයාව ලංකාවෙ අග්‍රාණ්ඩුකාරවරයා විදිහට පත් කරන්න එකඟ වුණා කියලා .1948දී ලංකාව නිදහස ලබද්දි ආණ්ඩුකාරයා වුණේ ශ්‍රීමත් හෙන්රි මේසන් මුවර්. ඔහු 1949දී ඉවත් වෙද්දි ඒ පුටුවට එන්නේ “සෝල්බරි සාමිවරයා”. ඔහුව පත් කරන්න කියන යෝජනාව එන්නෙ “ලංකාවෙන්”.
5. සිංහල ඉගෙනගෙන ලංකාවට එන සෝල්බරි සාමි
සෝල්බරි සාමිවරයා තමන්ට ලංකාවේ වැඩ කරන්න වෙනවා කියලා දැනගත්ත නිසාද මන්දා කොමිසමේ කටයුතුවල නිමාවත්, ලංකාවේ ආග්‍රාණ්ඩුකාර ධුරයේ වැඩ බාරගැනීමත් අතරතුර කාලයේදි සිංහල ඉගෙන ගන්නවා. ඔහුට සිංහල උගන්නනේ ලන්ඩන් විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි කටයුතු සඳහා ලංකාවෙන් ගිය ශිෂ්‍යයෙක්. මේ ශිෂ්‍යයා නිසා සෝල්බරි සාමිවරයා ලංකාවට ගොඩ බැහැපු තැන ඉඳන් කට්ටියව “ආයූබෝවන්” කියලා ආචාර කරලා පිළිගන්නවා. ඒ ශිෂ්‍යයා වෙන කවුරුවත් නෙමෙයි, පස්සේ කාලෙක අපේ රටේ සුප්‍රකට පඬිවරයෙක් බවට පත්වෙන “මහාචාර්ය ඇම්. බී ආරියපාල”.
6. ඩී. එස් වෙනුවෙන් කළගුණ සැලකූ සෝල්බරි සාමිවරයා
ඩී. එස් සේනානායක මහතා 1952දී මියයනවා. මේ වෙනකොට අගමැති ධුරය සඳහා වඩාත් සුදුසුම පුද්ගලයා විදිහට සැලකෙන්නේ ජෝන් කොතලාවල මහතා. නමුත් හැමදෙනාම පුදුමයට පත් කරමින් සෝල්බරි සාමිවරයා ඩඩ්ලි සේනානායක මහතාව අගමැති ධූරය සඳහා පත් කරනවා. මේ පත් කිරීම සම්ප්‍රදාය විරෝධී පත් කිරීමක්. සමහරු කියන්නේ එහෙම පත් කරන්න කියලා ඩී. එස් සේනානායක මහතාගේ ඉල්ලීමක් කලින් ඉඳලම තිබ්බා කියලා. සමහරු කියන්නේ සෝල්බරි සාමිවරයා කළගුණ සලකන්න එහෙම කළා කියලා.
7. අමතක නොකළ කොතලාවල
කලින් කියපු සිදුවීමත් එක්ක තමන්ට ලැබෙන්න තියෙන තනතුර නැති කළා කියලා සෝල්බරි සාමිවරයා එක්ක දැඩි අප්‍රසාදයකින් කොතලාවල මහත්තයා පසු වුණා. 1953 දී ඩඩ්ලි සේනානායක මහතා රටපුරා පැවතුණු හර්තාල් නිසා ධුරයෙන් අස්වෙනවා. ඒ තනතුරට අභියෝගයකින් තොරව කොතලාවල මහතා පත්වෙනවා. මේ වෙනකොට එළිසබෙත් රැජින ලංකාවේ සංචාරයක යෙදෙන්න ලෑස්ති වෙලා ඉන්නේ. ඇයගේ සංචාරය දක්වා ඉවසන කොතලාවල 1954දී සෝල්බරි සාමිවරයා වෙනුවෙන් ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක ලංකාවේ අග්‍රාණ්ඩුකාරවරයා විදිහට පත් කරන්න කියලා ඉල්ලා සිටිනවා. නැවතත් එංගලන්තයට යන සෝල්බරි සාමිවරයා අවුරුදු 83ක් ආයු වලඳලා 1971දී අභාවප්‍රාප්ත වෙනවා.
සෝල්බරි සාමි ගැන ඒ කියපු කයි කත්නදර ටික හොඳ නම් ලයික් කරන්න, ආදරේ හිතෙනවා නම් ලව් දාන්න, ලොල් සහගත නම් ලොල් දාන්න, පුදුමයි නම් ඕඑම්ජී දාන්න, මොන මඟුලක්ද නම් ඩබ්.ටී.එෆ් දාන්න. එහෙමත් දාන්නම බැරි නම් බැණලා කමෙන්ට් එකක් දාන්න. ඒකත් බැරි නම් ෂෙයාර් කරන්න.
Leave a Reply