ඥාති සංග්‍රහය කොයිබටද? ඥාති සංග්‍රහය නිසා රටකට සිදුවන බලපෑම්

තුන්වැනි ලෝකයේ නොදියුණු රටවල් ඒ රටවල හිත සැනසෙන්න “දියුණු වෙමින් පවතින රටවල්” කියලා හැඳින්වෙනවා. ලංකාව වගේ රටවල් ගතහොත් නිදහස ලැබී දැන් වසර 70කටත් අධික කාලයක් මේ දියුණු වෙමින් පවතින රටවල් කොටසේ ඉන්නවා. මේ දියුණු වෙමින් පවතින (ඇත්තටම කවදාවත් දියුණු නොවන) රටවල් දිහා බැලුවොත් ඔවුන්ගේ රටවල පාලනයේදී ඥාති හිතමිතුරන්ට වඩාත් තැනක් ලැබෙන බව පේනවා. ඒ වගේම ඒ ඥාති අය සුදුසුකම් වැඩිපුර නැතිව ඉහළ පුටුවලට යනවා අපිට පේනවා. ඒ ඥාති හිතමිතුරන් වැරදි කළත් ඒ වැරදි වලට නිසි දඬුවම් ලැබෙන්නේ එහෙමත් වෙලාවක. දඬුවම් ලැබුණත් එක එක සමාවන් යටතේ එයාලට එලියට එන්නත් හැකියාව වැඩිපුර තියෙනවා. ඉතින් මේ ඥාති සංග්‍රහය ගැන අපි ටිකක් සොයා බලමු.

 

1. ඥාති සංග්‍රහය අලුත් දෙයක්ද?

ලංකාව, ඉන්දියාව, චීනය, කොරියාව වගේ රටවල වඩාත් විශ්වාසවන්ත ඥාතීන්ට, හිතවතුන්ට තමුන්ගේ නිල තල ආදිය පැවරීම අලුත් දෙයක් නෙමෙයි. අපේ රජ පරම්පරා ගතහොත් බොහෝවිට ඊළඟ රජතුමා වෙන්නේ කලින් රජතුමාගේ ඥාතියෙක්. නිලමේ අධිකාරම් නිල පවා නියම වුණේ දක්ෂතාවයට වඩා ඥාතීත්වයට මුල් තැන දෙමින්. එකල තිබුණ ක්‍රමය අනුව වඩාත් විශ්වාසවන්තයෙක්ට ඊළඟට බලය සහ නිලය ලබාදීම සිරිත වුණා. එහෙත් එසේ නොවූ බටහිර රටවල් ආසියානු රටවල් අභිබවා වේගයෙන් ඉහළ යන්න ගත්තා. ඒ එක්ක ආසියානු රටවලත් බටහිර ක්‍රමයට ඥාති සම්බන්ධතා වලට වඩා තරඟකාරී සාමාජිකයින්ට ආයතන වල බලය හිමි වුණා. සෑම විටම ඥාති සංග්‍රහය වරදක් වන්නේ නැහැ. ඒත් නූතන ක්‍රමයට අනුව නම් ඥාති සංග්‍රහ තදින් තියෙන රටවල් සහ ආයතන එන්න එන්නම පහළට යන ස්වරූපයක් පෙන්නුම් කරනවා.

 

2. වැඩකරන අය අධෛර්යමත් වීම

ආයතනයක හෝ රටක ඥාති හිතමිතුරන්ට වෙනම සැලකෙනකොට ඒ නිසා අසාධාරණයට ලක්වෙන පිරිසක් ඉන්නවා. ඒ අය ඉන්නේ කලකිරීමෙන්. ඉහළ පුටුවලට නිතරම හිතවතුන් සහ ඥාතීන් පත් වෙනකොට ඔවුන්ට තවත් අපි මේකට කරලා වැඩක් නැහැ කියන උදාසීන මානසිකත්වය ඉබේම ඇති වෙනවා. එවිට දක්ෂ සේවකයින්, දක්ෂ නිලධාරීන්, දක්ෂ පාලකයින් අධෛර්යයට පත් වෙනවා. අපේ රටෙත් සුදුසුකම් තියෙද්දිත් ඇතැම් විට විභාගත් පාස් වෙලා තියෙද්දි විදේශ සේවය වගේ අංශ වලට ඉහළින් ඥාති හිතවතුන් පත් වෙනවා. එවිට ඒ සේවාවන්ට සුදුසුකම් තියෙන දක්ෂයින්ට ඇතිවෙන්නේ කලකිරීමක්.

 

3. තර​ඟකාරීත්වයට මුහුණ දීම

අපි හිතමු අශ්ව රේස් එකක් කියලා. අපි අඳුනන අශ්වයෙක් නැහැ. ඒත් අපි බොහොම හිතවත් බූරුවෙක් ඉන්නවා. ඉතින් අපි අර අශ්ව රේස් එකට බූරුවා දැම්මොත් මොකද වෙන්නේ? තරඟය පටන් ගන්නත් කලියෙන්ම ඒ තරඟයෙන් අපි ෆේල් කියලා හැමෝටම වැටහෙනවා. වෙළඳාම කියන්නේ තරඟයක්. දේශපාලනයත් එහෙමයි. හැම රටක්ම දියුණු වෙන්න, තමුන්ගේ රටට ව්‍යාපාර ගේන්න, තමුන්ගේ රටට වාසි ගන්න වෙහෙසෙනවා. එවිට හොඳම දක්ෂයින් නැතිව ඥාති හිතමිතුරු යාන්තම් සුදුසුකම් හදාගත් බූරුවන් පත් වනවිට අශ්ව රේස් වලින් අපිට හැමදාම පහළ තැනක් ලැබෙනවා.

 

4. දූෂණය, වංචාව

ආයතනයකට සේවකයෙක් පිටින් ගත්තාහම එතැනදි ඒ සේවකයින් වැරැද්දක් කරාම කිසි ගේමක් නැතිව එයාලාට විරුද්ධව විනය පරීක්ෂණ ආදිය තියලා අයින් කරන්නට පුළුවන්. මොකද සුදුසුකම් මත බඳවාගෙන තියෙන නිසා ඔහුට වෙනත් අයෙක් ආදේශ කිරීම ලොකු අපහසුවක් නැහැ. ඒත් ඥාතියෙක් හිතවතෙක් පත් කරලා ඔහු හෝ ඇය යම් වංචාවක් දූෂණයක් කළොත් හෝ විෂමාචාරයක් කළොත් එහෙම ඒ පුද්ගලයා ලේසියකට අයින් කරන්නට බැහැ. අනෙක් කෙනෙක් පිට වැරැද්ද පටවලා හෝ බලය හයිය අනුව ඔහු එතැන රැඳෙනවා. ලෝ ප්‍රකට සැම්සන් සමාගම එලෙස පියාගෙන් පුතුට, ඥාතියාට ආදී වශයෙන් ගිය සමාගමක් වුණා. එහෙත් පසුගිය කාලයේ ලොකු දූෂණ වංචා කරළියට ඒමත් සමග දැනට සිටින සැම්සන් සමාගමේ හිමිකරු Lee Jae-yong ඔහුගේ පුතුන්ට සමාගමේ ඉහළට එන්නට ඉඩ නොදෙන බව පවසා තිබෙනවා.

 

5. නව අදහස් යට යෑම

ලොක්කාගේ හිතවතෙක් ලොකු පුටුවක ඉද්දි අලුත් අදහස් කියන්න පහළ අය කැමති නැහැ. මොකද මොක වුණත් අවසානේ ක්‍රියාත්මක වෙන්නේ ලොක්කගේ අදහස. එතකොට තරඟකාරී අදහස්, යෝජනා, ක්‍රියාමාර්ග එන්නේ නැහැ. ඒ වගේම අලුත් අලුත් තාක්ෂණික දේවල් අත් හදා බලන වගේ අවදානම් වැඩවලට පිරිස යොමු වෙන්නෙත් නැහැ. ඥාති සංග්‍රහ ඔඩුදුවා ඇති පද්ධති වල සිටින ඉහළ පුටුවල සුදුසුකම් තියෙන උදවියත් කොහොම හරි තමනුත් ඥාති පදනමක් හදාගෙන හෝ හිතවත් කමක් ගොඩනගාගෙන හෝ ඉදිරියට යන්න තමයි උත්සාහ ගන්නේ. එතකොට ලොක්කා සතුටු කරනවා විනා වඩාත් සාර්ථක ක්‍රමය සේවකයින් අතරින් මතු වෙන්නේ නැහැ.

 

6. පුද්ගලික අදහස් පෙරට ඒම

හොඳ ආයතන වටපිටාවක හොඳ දේශපාලනයක් තියෙන රටකදි පුද්ගලික අදහස් වලට වඩා සාමුහික අදහස් වලට මූලිකත්වය ලැබෙනවා. නව නීති අණ පණත් වෙනසක් වුණත් එක් අයෙකු ඉදිරිපත් කරනවාට වඩා සමූහයක් වශයෙන් ඒ දේවල් නිතර සාකච්ඡාවට බඳුන් වෙනවා. ආයතනයක නව නිමැවුමක් නම් ලොක්කාට අමතරව ඒ ගැන අනෙක් අයගේ යෝජනාත් එකතු වෙනවා. ඒත් ඥාති සංග්‍රහ තියෙද්දි ඒ අනුග්‍රහ ලැබෙන පුද්ගලයා වටා ලොකු බලයක් ආරෝපණය වෙනවා. එවිට ඔහු පොදු අදහස් සහ පොදු ක්‍රමවේද පසෙක ලා ඔහුගේ පුද්ගලික මනෝරාජික මතවාද ආයතන පද්ධති වලට ඔබන්න උත්සාහ ගන්නවා. කලාතුරකින් එය සාර්ථක විය හැකි වුවත් බොහෝ විට වැඩි විචාර බුද්ධියකින් තොරව ගන්න එවැනි පුද්ගලික තීරණ උඩින්ම අසාර්ථක වෙනවා.

 

7. ඇයි නැතිකරගන්න ඕනි? කොහොමද කරන්නේ?

 

ඥාති සංග්‍රහ සහ හිතවතුන්ට සැලකීම කොපමණ අවුලක්ද කියනවා නම් මැතිවරණ ලං වෙද්දි හිතවතුන්ට සලකනවා වගේම පිරිසක් මේ හිතවතුන්ට සැලකීම විවේචනය කරනවා. මේ ගැන අපේ රටෙත් ඉහළ තැන්වල කතා බහ ඇතිවෙනවා. ඥාති සංග්‍රහය නිසා දේශපාලකයින්ට තමුන්ගේ ඡන්ද දායකයින් අමතක වෙනවා. ඔවුන් ඉන් පසු බලයට පැමිණ සිය සමීපතමයින්ට සලකන්නට පටන් ගන්නවා. මේක නැතිකරන්න පහසු වෙන විදිහට තමයි සාමාන්‍යයෙන් නීති රීති පද්ධති සැකසෙන්නේ. ඒ අදාළ නීති ක්‍රමවේද හරිහැටි ක්‍රියාත්මක කරලා අවංකව හැමෝම තමුන්ගේ ඥාතියාට හිතවතාට වඩා දක්ෂතා තියෙන පුද්ගලයාට තැන දෙනව නම් ඒක ඒ ඒ ක්ෂේත්‍ර හැම එකටම ආලෝකයක් වේවි.

 

රටක් වගේම මිනිසුනුත් දියුණු වෙනවිට හැමෝටම සාධාරණව සැහැල්ලුවෙන් ජීවත් වෙන්න අවකාශ ලැබෙනවා. පුද්ගලික ආයතන වල වගේම ක්ෂේත්‍ර විදිහට ගත්තාම කලාව, ක්‍රීඩාව, මාධ්‍ය, වගේ අංශ වලත් අපේ රටවල ඥාතිත්වය මුල්කරගෙන වැඩි අවස්ථාවන් හිමි වෙනවා. ඇතැම් විට පාසැල, විශ්ව විද්‍යාලය, ආගම  ජාතිය අනුවත් වෙනමම සැලකීම් ලැබෙනවා. ඉතින් සුදුස්සාට සුදුසු තැන ලැබෙන හොඳ වටපිටාවක් හදාගන්න නම් අපි ඉහළ මට්ටමින් වගේ අපේ මට්ටම් වලිනුත් ඥාති සංග්‍රහ, හිතමිතුරු සැලකීම් වෘත්තිය ජීවිතයේදී ඈත් කරගන්නට ඕන.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *