මේ කෙටි ජීවිතේ කාලා ඇඳලා ලස්සන ජීවිතයක් ගතකරන්න කවුද අකමැති? ඒත් ඉතින් සල්ලි නැතුව මොකුත් කරන්න බෑනේ. ජීවිතේ කියන්නෙ සල්ලි විතරක්ම නෙමෙයි, තමයි. ඒත් සල්ලි නැතුවත් මොකුත් කරන්න බෑනේ අර කිව්වා වගේ. පුද්ගලයෙක් දියුණු වෙන්න අවශ්‍යම කරන, ඒ වගේම සිතිය යුතු කාරණා කිහිපයක් ගැන අද අපි කතා කරන්න හිතුවා.
1. තමුන්ටම වටිනාකමක් දෙන්න
මුලින්ම තමුන් කියන්නෙ කවුද කියන එක වටහා ගන්න ඕනේ. තමුන්ගෙ හැකියාවන් දක්ෂතාවයන් සහ තමුන් ගැන විශ්වාසයක් තමුන්ට තියෙන්න ඕනේ. අපි මේ කියන්නෙ හීනමානයක් තියාගන්න කියන එක නෙමෙයි, ස්වයං අභිමානයෙන් ජීවත් වෙන්න. තමුන්ටවත් තමුන් වටින්නෙ නෑ කියලා හිතෙන විදියට ජීවත් වෙනවනම් අනික් අය ගැන කවර කතාද?
ඒ වගේ ඔයා තුළ ඉන්න ඔයාව හොයාගන්න ට්‍රයි කරන්න. ගොඩක් දෙනා දන්නෙ නෑ තමුන්ට තියන හැකියා දක්ෂතා මොනවද කියලවත්. ඒවා කල්තියා හඳුනගත්තු අය අද ලෝකේ ඉහළම තැන් වල වැජඹෙනවා. ඒ නිසා අපි මුලින්ම අපිව හා අපේ තියන හැකියාවන් හඳුනගන්න ඕනේ. ඒ වගේමයි ආත්ම ශක්තිය. මේවා නැතුව පුද්ගලයෙක්ට සාර්ථකව නැගී සිටින්න අමාරුයි. ටාගට් එකකට යන්න හෝ ව්‍යාපාරයක් පටන් ගන්න හෝ තමුන් ගැන විශ්වාසයක් තිබීම ගොඩක් වටිනවා.
2. සිහින දැකීම නවත්වන්න එපා!
හිතන්න ඔයාට තියන ඉලක්කය ගැන. කවදහරි ඒඉලක්කයට යන්න ඕනේ කියලා අයිඩියා එකක්. ඒක ඇචීව් කරාම ඔයා ඉන්න විදිහ. ඒක ඇචීව් කරන විදිය ඔයා මුල ඉඳලම හීන දකින්න. හැමදාම ඒ ඉලක්කයට යන්න ඔයා වැඩ කරන හැටි හීන දකින්න. ඒක හැමවෙලේම කරන්න. නිකන්ම ඒක ඔයාගෙ ලයිෆ් එකේ කොටසක් බවට පත්වෙයි. හීනයක් කියන්නෙ ඉලක්කෙ හැබෑ කරගන්න දෙන මෝටිවේශන් එකක්. ඒක ඔයා ටාගට් එකට යනකල් ඔයාට රිමයින්ඩර්ස් දෙනවා. යන්න පුළුවන් උපරිමයටම යන්න. ඒක ඔයාට දවසක තෘප්තියෙන් ඔයා දිහාම බලන් ඉන්න රුකුලක් වේවි.
3. ඉතුරු කර ඉතුරු වෙන මුදල වියදම් කරන්න
මේ මොකද්ද මේ කියන්නෙ? ටිකක් අමුතුයි වගේද? අපි හැමදාම කරන්නෙ වියදම් වලට අයින් කරලා ඉතිරි මුදලක් තිබුනොත් ඒක බැංකුවක දාලා ඉතුරු කරන එකනේ. ඒත් ඒක නෙමෙයි විය යුත්තේ. මුලින්ම අපි උපයන ප්‍රමාණයෙන් ඉතුරුම් සඳහා ප්‍රමාණයක් වෙන් කරලා ඉතිරි වෙන මුදල වියදම් සඳහා ගන්න ඕනෙ. ඉතුරුම් ඕන වෙන්නෙ ඇයි අපිට? ඒ ගැන කතා කළොත් අපේ මේ ජීවිතේ හරිම අවිනිශ්චිතයි. කොයිවෙලේ ලෙඩක් හරි කරදරයක් හරි පාත් වෙයිද කවුද දන්නෙ? ඒ වගේ හදිසි අවස්ථාවලදි ප්‍රයෝජනයට ගන්න තමා මේ ඉතුරුම් අපිට ඕන වෙන්නෙ. ඒ වගේම ආවට ගියාට සල්ලි ඉතුරු කරන්නෙ නැතුව ප්‍රතිපත්තියක් ඇතුව ඉතුරුම් වලට මාසෙට නිශ්චිත ගාණක් වෙන් කරන එක පවුලක සිදුවිය යුත්තක්. වියදම් කරලා ඉවර වෙලා ඉතුරු කරන්න බැලුවොත් දැන් තියන ආර්ථික රටාව එක්ක ඒක හීනයක් විතරමයි.
4. අනවශ්‍ය වියදම් අනවශ්‍යමයි
ඔයා කොහෙහරි කඩයකට ගියාම දකින දකින දේ ගන්න පුරුදු වෙලා ඉන්නවද? එහෙනම් ඔයාගෙ වියදම් පාලනය ගොඩක් දුර්වලයි. අන්න එතන තමා අපි හැදෙන්න ඕන තැන. කඩවල් වලනම් බඩු ඩිස්ප්ලේ කරලා තියෙන්නෙ අපිට ගිහින් බදාගෙන අරගන්න හිතෙන විදියට. ඒත් අපිට අවශ්‍ය දේවල් මොනවද? අනවශ්‍ය දේවල් මොනවද කියලා අපි තේරුම් අරන් ඉන්න ඕනෙ. කලාතුරකින් සමහර කඩවල් වලම ගහලා තියනවා ගන්න ආ දේ පමණක් රැගෙන යන්න කියලා. සුපර්මාකට් එකක උනත් රෙදි කඩයක උනත් අපි ගන්න ගිය බඩුව හා බජට් එක ගැන හැමවෙලේම හිතලා බඩු මිලදී ගැනීම කරන්න ඕනේ. හම්බකරන හැම සතේම කන්නයි අඳින්නයි වියදම් කළොත් ඔයාට මේ කපේදි ගොඩ ඒමක් නෑ. ඒ නිසා දියුණු වෙන්න උත්සාහ කරන කෙනෙක් අනුගමනය කරන්න ඕනේ විශේෂ පොයින්ට් එකක් තමයි මේ.
5. ඉතුරුමට පමණක් සීමා නොවී ආයෝජනය කරන්න
මෙන්න මේක ගොඩක් වැදගත්. අපි ඉතිරි කළාට ඒ ඉතුරුවෙන් එහාට දෙයක් හිතන්නෙ නෑ නේද? දියුණු වෙන්න උවමනාවක් තියන මනුස්සයෙක් අනිවාර්යෙන්ම ඉතුරුවෙන් එහා අදියරට යන්නම ඕනේ. ඒ කියන්නෙ ආයෝජනයක් කරන්න ඕනේ. ඉතුරුමයි ආයෝජනයයි කියන්නෙ සම්පුර්ණ වෙනස් මාර්ග දෙකක්. ඉතුරු කළාම බැංකුවක හෝ වෙනයම් ආයතනයක අපේ මුදල් සුරක්ෂිතව තියනවා.ඒකට අපිට ප්රතිලාභ ලැබෙනවා. කිසිම අවදානමක් හෝ ප්රයත්නයක් නැතුව සුළු ප්‍රතිලාභයක් ලැබෙනවා. ඒත් ආයෝජනය එහෙම නෙමෙයි, ඉහළ ප්රතිලාභ අපේක්ෂාවෙන් අපි අපේ ධනය තවත් තැනක යොදවන එකයි මේ කියන්නෙ. මේකෙදි අවදානම් ගැනීම සිදුකළ යුතුයි. ඉතුරුමක් කියන්නෙ හැමෝම දාන පරිදි බැංකුවෙ සල්ලි දාන එක විතරක් නිසා එතනින් එහාට ගිය දේවල් කරන්න අපේ මිනිස්සු බයයි. ඒත් දියුණු වෙන්න නම් ඔය කාරණා අදාළ කරගන්න බැහැ.
6. සමාජ සුභසිද්ධිය ගැන වඩාත් සැළකිලිමත් වෙන්න!
අපි දියුණු වෙනකොට ආත්මාර්ථකාමී සිතුවිලි අයින් කරගන්න ඕනේ. දියුණු වෙන්නෙ තමුන් උනාට තමුන්ගෙ දියුණුව අන් අයට බලපාන්නෙ හිතකර විදියටද කියන දේ විශේෂයෙන්ම හිතන්න වෙනවා. ඒ කියන්නෙ ඔයාගෙ බිස්නස් එකේ ස්වභාවය නිසා හෝ ප්‍රතිඵල නිසා සමාජයේ අනික් පාර්ශවයන්ට එල්ල වන තර්ජන මොනවද කියලා තේරුම් අරන් ඒවා මැඩගන්න ක්‍රියාමාර්ග ගැනීම බොහොම වැදගත්. ඒ වගේම සමාජ සුභසාධනයට දායක වෙන එක අනික් පැත්තෙන් වර්ධනය කරගත යුතු දෙයක්. ගොඩක් ව්‍යාපාරිකයො මේ ගැන හිතන නිසාම එයාලගෙ බිස්නස් වැඩි කරගන්න උපායමාර්ගයක් විදිහටත් සමහරු මේක කරනවා. නමුත් අපි කතා කරන්නෙ ඒ ගැන නෙමෙයි, තමුන් ඒ සමාජය නිසාවෙන් හෝ වක්‍රාකාරව සමාජයේ දායකත්වය නිසාවෙන් ව්‍යාපාරයක් කරලා දියුණු වෙනවනම් තමන්ගෙනුත් සමාජයට විය යුතු යුතුකම් ගැන හැඟීමක් තිබිය යුතුයි. ඒක ව්‍යාපාරිකයෙක් හෝ රටේ පුරවැසියෙකුගේ යුතුකමක්.
7. අවදානම් දැරීමට බිය නොවන්න!
ව්‍යවසායකයෙක් නැතිනම් බිස්නස්මන් කෙනෙක් උනාම දියුණුවෙන්න නම් වගකීම් දැරීම වගේම අවදානම් භාරගැනීමේ හැකියාවත් ඉහළින්ම තියෙන්න ඕනේ. මොකද අපි කරන ව්‍යාපාර හැමදාම එක විදියටම ලාභ ලබලා දෙන්නෙ නෑනේ. ලාභ පාඩු කාටත් පොදුයි. යොදන ආයෝජනය සම්බන්ධයෙන් වගකීම ආයෝජකයා බාරගත යුතුයි වගේම ඒ හා සම්බන්ධව පැන නැගිය හැකි සියලුම අවදානම් භාරගැනීමත් සිදුකරමින් ව්‍යාපාර කටයුතු කරගෙන යනවනම් දියුණුව වැඩි ඈතක නොවේ. ඒ කියන්නෙ පාඩු සිදු උනාම ඒවා දරාගැනීමේ හැකියාව තියෙන්න ඕනේ. ඒ වගේ අවස්ථා වල දූරදර්ශීව ක්‍රියා කළයුතු ආකාරය වගේ කාරණා ගොඩක් මේ කාරණාවෙදි හිතන්න පුළුවන්.
Leave a Reply