ඩෙනිම කිව්වම ඉතින් අද කාලෙ බාල මහළු, ගැහැණු පිරිමි භේද කිසිම දෙයක් අදාළ නැතුව පොදුවේ අඳින ඇඳුම් විලාසිතාවක් වෙලානෙ. පුංචිම ළමයගෙ ඉඳන් හුඟක් දෙනෙක්ට ඕන තැනකට ලස්සනට ගලපගන්න පුළුවන් විලාසිතාවක් නිසාම තමයි ඩෙනිම් වලට ඔය තියෙන ප්‍රසිද්ධිය, ආදරය ලැබිල තියෙන්නෙත්. අර සින්දුවකුත් ආවෙ ඒ කාලෙ “රෙගේ ඩෙනිම.., මගේ ඩෙනිම...” කියල.
ඒකෙත් කියන විදිහට මේ ඩෙනිම කියන්නෙ මොන මොන විලාසිතාව ආවත් පරණ නොවෙන විලාසිතාවක්. ඒ විතරක්ද කොයි ක්ලාස් එකේ අයටත් වෙනසක් නැතුව අඳින්න පුළුවන් විලාසිතාවක්. ඉතින් මේ ඩෙනිම ගැන කතා නොකර පුළුවන්ද? බලමුකෝ ඩෙනිම් ගැන මේන්න මේ විස්තරත් අපි දන්නවද කියලා.
1. ඩෙනිමේ නම
අපි හැමෝම පුරුද්දට ඩෙනිම් ඩෙනිම් කිව්වට මේ ඇඳුමේ හරිම නම නම් ඩෙනිම් කියන එක නෙමෙයි. හරිම නම තමයි ජීන්ස් (Jeans). මේ ජීන්ස් මහන්න භාවිතා කරන රෙදි වර්ගය denim කියන රෙදි වර්ගය. ඉතින් ඒ නිසාම තමයි මේ ඇඳුම ඩෙනිම් කියන නමින් ප්‍රසිද්ධ වෙලා තියෙන්නෙත්. මේ ජීන්ස් කියන ඇඳුම මුලින්ම නිෂ්පාදනය කරන්නෙ Jacob Davis සහ Levi Strauss කියන දෙන්න. මේ ඇඳුම නිෂ්පාදනය කෙරුණු ඉතාලියේ Genoa කියන නගරය නිසා මේ ඇඳුමට ජීන්ස් කියන නම තිබ්බයි කියල තමයි කියන්නෙ.
ඒ වගේම තමයි මේ ඩෙනිම් කියන රෙදි වර්ගයට නම ලැබුණ හැටිත් හරි ලස්සනයි. ඩෙනිම් කියන නම හැදෙන්නෙ “Sergé de Nîmes” කියන ප්‍රංශ වාක්‍යය නිසා. ඒකෙ තේරුම තමයි Serge from Nimes ඒ කියන්නෙ නිම්ස් කියන ප්රංස නගරයෙන් ගෙනා ලොම් රෙදි කියන එකයි.
2. ඩෙනිමේ ඉතිහාසය
ඉතින් මේ ජීන්ස් නැත්තම් අපි දන්න හැටියට ඩෙනිම කියන ඇඳුම නිර්මාණය උන විදිහ ගැනත් හොඳ කතාවක් තියෙනව. කලින් අපි කිව්ව Levi Strauss කියන්නෙ තමන්ගේ පවුලේ වෙළඳාම් කටයුතු එක්ක කපු රෙදි විකුණන වෙළෙන්දෙක්. Jacob Davis කියන්නෙ ඔහුගෙ ගැනුම්කරුවෙක්. Jacob ඇඳුම් මහන කෙනෙක්, ඒ කිව්වෙ tailor කෙනෙක්. ඉතින් දවසක් Jacob ගෙ ගැනුම්කරුවෙක් ඔහුට කියනවා බර වැඩ කරන අවස්ථාවල අඳින්න පුළුවන් ශක්තිමත් කලිසමක් මහල දෙන්න කියල. Jacob මේ කලිසම මහන්නෙ Levi ගෙන් ගන්න ඩෙනිම් වර්ගයේ රෙද්දකින්. ඔහු ඒ කලිසමේ ශක්තිය වැඩි කරන්න කලිසම් නිතර ඉරෙන්න පුළුවන් තැන්, පොකට් වගේ තැන්වලට තඹ බොත්තම් රිවට් ක්‍රමයට සවි කරනවා. කලිසමේ නිමාව කොතරම් හොඳයිද කියනවනම් Jacob ට ඕන වෙනව මේ සඳහා පේටන්ට් බලපත්‍රය අරගන්න. ඉතින් ඔහු මේ ගැන Levi සමඟ කතා කරල දෙන්න හවුල්කරුවො විදිහට අලුත් ව්‍යාපාරයක්ම පටන් ගන්නව.
3. ඩෙනිම් වාර්තා
ඩෙනිම කියන්නේ අපූරු විලාසිතාවක් වගේම අපූරු ලෝක වාර්තා වලටත් හිමිකම් කියන ඇඳුමක්.
- ලෝකයේ ලොකුම ඩෙනිම
මේ ලෝක වාර්තාවට හිමිකම් කියන්නෙ Paris Peru කියන ඇඟලුම් නිෂ්පාදකයා. වාර්තාව පිහිටුවල තියෙන්නෙ පේරු රාජ්‍යයේ ලිමා කියන නගරයේදි. මේ ඩෙනිම උසින් මීටර් 65.50 කුත් පළලින් මීටර් 42.70 කුත් වෙනව කියල තමයි කියන්නෙ. මේ විශාල ඩෙනිම සතියක කාලයක් සාප්පු සංකීර්ණයක ප්‍රදර්ශනය සඳහා තියල තියෙනව. ඒ වගේම පරිසර හිතකාමී පරිභෝජනය ප්‍රවර්ධනය කරන්න මේ ඩෙනිම මහපු රෙදි නැවත පාවිච්චි කරල ඩෙනිම් බෑග් 10,000ක් මහන්නත් මේ ආයතනය කටයුතු කරල තියෙනව.
- ලෝකයේ මිල අධිකම ඩෙනිම
මේ වාර්තාවේ හිමිකාරත්වය දරන්නෙ Escada කියන ආයතනය. ඇමරිකා එක්සත් ජනපදයෙදි තමා වාර්තාව තියල තියෙන්නෙ. එම්බ්‍රොයිඩර් විලාසිතාවකිනුත් Swarovski Crystal වලිනුත් හැඩගැන්වුණ මේ ඩෙනිමේ මිල ඇමරිකානු ඩොලර් 10,000ක් වෙනවා.
4. ඩෙනිමේ විකාශනය
18 වෙනි සියවසේ ඉඳල අද දක්වාම ඩෙනිම කියන්නෙ වැදගත්කම අතින් ඉහලම තැනක් උසුලන ඇඳුමක්. හොයාගත්ත මුල්ම කාලෙ, ඒ කිව්වෙ 18 වෙනි ශතවර්ෂයේදි ඩෙනිම වැදගත් උනේ ඒකෙ කල්පවත්නා ගුණය නිසයි. හුඟක්ම භාවිතා කළේ බර වැඩ කරන කම්කරුවො. 19 වෙනි ශතවර්ෂයේදී Levi Strauss ආයතනය මේ ඇඳුම පතල්කරුවන්ට හඳුන්වා දෙමින් තවත් ප්‍රසිද්ධ කරනව. 20 වෙනි සියවස වෙද්දි ඩෙනිම Pop culture එකත් එක්කම යන උමතුවක් විදිහට සමාජගත වෙනව. ඔහොම ඔහොම ගිහිල්ලා 1950 වෙද්දි මේ ඇඳුම යෞවන යෞවනියන් අතරේ අති ප්‍රසිද්ධ විලාසිතාවක් බවට පත්වෙනව. මේකෙන් ප්‍රයෝජන ගන්න හිතන ඇඳුම් නිර්මාණකරුවෝ අලුත් අලුත් වර්ණ, විලාසිතා වලින් ඩෙනිම් වෙළඳපොලට හඳුන්වා දෙනව.
1960 සහ 70 කාලෙ වෙද්දි බෙල් බොටම් කියන ඩෙනිම් වර්ගයත් හිප් හගර් කියන ඩෙනිම් වර්ගයත් වඩා ප්‍රසිද්ධ උනා කියල තමයි කියන්නෙ. ඒ කාලෙ පින්තූර බැලුවමත් ඒ ගැන කියන්න පුළුවන්නේ. 1980 වගේ කාලෙ වෙද්දි මේ ඩෙනිමට පුළුවන් වෙනව ලෝකයේ ප්‍රසිද්ධ විලාසිතා නිර්මාණ ශිල්පීන්ගෙ අවධානය දිනාගන්න. ඉතින් ඔවුන් විවිධ විලාසිතාවන්ගෙන් ඩෙනිම් නිර්මාණය කරල ප්‍රසිද්ධ නිරූපණ ශිල්පීන් හරහා ඒවා සමාජගත කරවනවා. ඔන්න ඔය විදිහට ලොකූ ගමනක් ඇවිල්ල අද වෙද්දි මේ ඩෙනිම් කියන ඇඳුම නැති ගෙයක් හොයාගන්න නැති තරම්. ඒ වගේම ඩෙනිම් කලිසම් වලට අමතරව අද වෙද්දි ඩෙනිම් ගවුම්, ජැකට්, බෑග් වගේ දේවලුත් වෙළඳපොලේ දකින්න පුළුවන්.
5. ඩෙනිම් රෙද්ද
අපි කලිනුත් කිව්වනේ ජීන්ස් මහන්න භාවිතා කරන්නේ ඩෙනිම් කියන කපු රෙදි වර්ගයක් කියලා. මේ ඩෙනිම් කියන රෙද්ද අනෙක් කපු රෙදි වර්ග වලට වඩා තරමක් ශක්තිමත් ඒ වගේම ටිකක් වෙනස් විදිහකට වියන රෙදි වර්ගයක්. ඒ නිසාම තමයි වර්ණ ගැන්වීමේදී ඉදිරිපස කොටසට හොඳටම ඩයි එක අල්ලලා පිටුපස නුල් සුදු පාටින් ඉතුරු කරගන්න පුළුවන් වෙන්නේ.
මේ ඩෙනිම් රෙද්දේ මුල් අවධිය වුන Dungaree කියන රෙදි වර්ගය අතීතයේ ඉඳල ඉන්දියාවේ නිෂ්පාදනය උණ රෙදි වර්ගයක් උනාට මේ ඩෙනිම් කියන වර්ගයනම් මුලින්ම නිෂ්පාදනය වෙන්නේ අපි කලිනුත් කියපු ඉතාලියේ Nimes කියන නගරයේදී.
6. ඇයි ඩෙනිම් නිල් පාට?
අපි දන්න කාලෙ ඉඳන්ම ඩෙනිම නිල් පාටයිනෙ. ඉඳල හිටල අමතර පාටවල් ආවත්, කොයි විලාසිතා ප්‍රසිද්ධ උණත් මේ නිල්පාට ඩෙනිමට තියෙන ප්‍රසිද්ධිය වෙනස් වෙන්නෑ වගේම තමයි නිල් පාටින් ඩෙනිම් හැදෙන එකත් වෙනස් වෙන්නෑ. ඇයි ඇත්තට මේ ඩෙනිම් නිල් පාට?
ඩෙනිම් නිල් පාට වෙන්නෙ ඒ සඳහා භාවිතා කරන ඉන්ඩිගෝ ඩයි එක නිසයි. ඩෙනිම් කලර් කරන්න මේ ඉන්ඩිගෝ ඩයි එකම පාවිච්චි කරන්නෙත් ඒ ඩයි එකේ තියෙන සුවිශේෂී ගුණාංගයක් නිසයි. අනෙක් හුඟක් ඩයි වර්ග රත් කළාට පස්සෙ කපු රෙදි වල තන්තු අතරේ තමයි තැන්පත් වෙන්නේ. නමුත් මේ Indigo ඩයි එක තැන්පත් වෙන්නේ ඒ තන්තු වල මතුපිට. ඒ නිසාම කිහිප වතාවක් සේදීමට ලක්වෙද්දී මේ තද නිල් ඩයි පැහැය අඩුවෙලා ඩෙනිම් වලටම ආවේණික අවපැහැය ලබාගන්න පුළුවන්.
7. ඩෙනිම් දිනය
අපි නොදන්නව උණට මේ ඩෙනිම් වල නමින් වෙන් උන ඩෙනිම් දිනයකුත් තියෙනව. ඒ දිනය යෙදිල තියෙන්නෙ අප්‍රේල් 24 වෙනිදට. හැබැයි මේ දිනය වෙන්වෙලා තියෙන්නෙ ඩෙනිම් වෙනුවෙන්ම නම් නෙමෙයි. මේ දිනයට වෙන්නේ මිනිස්සු ඩෙනිම් ඇඳලා, දූෂණ සහ ලිංගික අඩන්තේට්ටම් ගැන මිනිස්සුන්ගේ දැනුවත්භාවය ඉහළ නංවන්න උනන්දු කරන එකයි. මොකද මේකට ඒ හා සම්බන්ධ හොඳ ඉතිහාස කතාවක් තියෙනවා.
මේ ඩෙනිම් දිනය ප්‍රකාශයට පත්වෙන්නෙ 1992 වර්ෂයේදි ඉතාලියේදි. අවුරුදු 45 ක රිය පුහුණු උපදේශකයෙක් පුහුණුවීමක් අතරතුරදි අවුරුදු 18ක තරුණියක් දූෂණය කිරීම සම්බන්ධ නඩුවකදී තරුණිය ඇඳන් හිටියෙ ඉතා තද ඩෙනිමක් කියන කාරණාව කතාබහට ලක්වෙනව. ඒ ඩෙනිම ඇගේ උදව්වකින් තොරව ඉවත්කළ නොහැකි බවත්, එහෙම උදව්වක් ඇගෙන් ලැබී ඇති බවත්, ඒ හරහා ඇය තම කැමැත්ත ප්‍රකාශ කරන්නට ඇති බවටත් විනිසුරුවරුන් පවා හිතනවා. මේ සිද්ධියට පස්සෙ දවසේ ඒ තරුණිය වෙනුවෙන් පෙනී සිටිමින් ඉතාලි පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළුම කාන්තාවන් ඩෙනිම් ඇඳගෙන පාර්ලිමේන්තුවට ඇවිල්ල තියෙනව. ඔන්න ඔය විදිහට තමා ඩෙනිම් දිනය ඇතිවෙලා තියෙන්නෙ.
Leave a Reply