අලුතින් භාෂාවක් නොමිලේ ඉගෙන ගන්න තියෙන ඔන්ලයින් සම්පත්

අපි ඇත්තටම භාෂා කීයක් විතර දන්නවද? මේ ආටිකල් එක කියවනවා කියන්නේ ඒ හැමෝම අනිවාර්යයෙන්ම සිංහල දන්නවා කියන එකනේ. සිංහල පරතෙරටම නොදන්නවා වෙන්න පුළුවන්. හැබැයි සිංහලෙන් ලියලා තියෙන දෙයක් කියවන්න ප්‍රමාණෙට සිංහල භාෂා දැනුම තියෙනවා කියන එක තමයි ඒකෙන් කියවෙන්නේ. එතකොට ඉංග්‍රීසි? ඔන්න ඕක ගොඩක් අය හිරවෙන තැනක්. ලංකාවේ ඉංග්‍රීසි කියන්නේ ගොඩක් දෙනෙක්ට එපා කරපු සබ්ජෙක්ට් එකක්නේ. ඇයි දෙමළ? ඔව්, සිංහල වැඩි දෙනෙක්ට ලංකාවේ බහුලව භාවිතා වෙන අනික් භාෂාව වෙන සහ රාජ්‍ය භාෂාවක් විදියට හැඳින්වෙන දෙමළ භාෂාව බෑ. මේක ඇත්තටම දේශපාලන ප්‍රශ්නෙකුත් වෙනවා. 

හරි. අපි පොඩ්ඩක් හිතමු මෙහෙම. මේ හැම එකක්ම භාෂාවක් විතරයි. භාෂාවක් ඉගෙන ගන්න බය වෙන්න දෙයක් නැහැනේ. එහෙමනම් අපිට ඉංග්‍රීසි වුණත්, ජපන් වුනත්, ඉතාලි වුනත්, ස්පාඤ්ඤ වුනත්, ප්‍රංස වුනත්, ජර්මානු වුනත් ඉගෙන ගන්න බැරිද? අපොයි ලේසියෙන්ම පුළුවන්. එක්කෝ ක්ලාස් එකකට ගිහින් ඔය භාෂා ඉගෙන ගන්න පුළුවන්. එහෙම නැතිනම් දැන් කාලේ හැම දෙයක්ම ඉගෙන ගන්නවා වගේ ඔන්ලයින් ඉගෙන ගන්නත් පුළුවන්. සල්ලි සතයක්වත් ගෙවන්න ඕනැත් නෑ. එහෙමනම් වැඩේ පටන් අරගෙන බලමුද?

 

1. Englishclub.com

මෙහෙමයි ඉතින්. අපේ මේ ලිස්ට් එකේ තියෙන අනික් වෙබ් සේවාවන් සහ ඇප්ස් හැම එකකම විවිධ භාෂාවන් උගන්වන්න භාවිතා වෙන පදනම් භාෂාව ඉංග්‍රීසි. අමාරු ඉංග්‍රීසි නෙවෙයි, බොහොම සරල ඉංග්‍රීසි. ඒ නිසා ඉතින් මුලින්ම ඉංග්‍රීසි ඉගෙන ගෙන ඉන්න ඕන නම්, ඒකට ගැලපෙනම වෙබ් අඩවියක් තමයි englishclub.com කියන්නේ. මේක බොහොම සරල, පොඩි ළමයෙක්ට වුනත් පාවිච්චි කරන්න පුළුවන් පරිශීලක අතුරු මුහුණතක් එක්ක එන්නේ. මේ වෙබ් සයිට් එකේ ඉංග්‍රීසි භාෂාවේ ඉතිහාසයේ ඉඳලා, පොඩි ළමයින්ට ඉංග්‍රීසි පාඩම් දක්වා, TOFEL හෝ EILTS විභාග වලට ඉංග්‍රීසි දක්වා සම්පත් තියෙනවා. තමන් කැමති තැනක ඉඳලා පටන් ගන්න තමයි තියෙන්නේ!

 

2. Duolingo

ඇත්තටම ඇන්ඩ්‍රොයිඩ් පාවිච්චි කරන අය අතරේ එහෙම භාෂා ඉගෙන ගන්න අතිශයින්ම ජනප්‍රිය ඇප් එකක් තමයි Duolingo කියන්නේ. මේකේ වෙබ් අඩවියකුත් තියෙනවා.  ඕන නම් Duolingo එකෙන්ම මුලින් ඉංග්‍රීසි ඉගෙන ගන්නත් පුළුවන්. ඒකට පාඨමාලා හතක් විතර තියෙනවා. Duolingo එකේ මූලිකවම භාෂා විස්සකට අධික ප්‍රමාණයක් ඉගෙන ගන්න පහසුකම් ලබාදීලා තියෙනවා. ඇත්තටම Duolingo එකෙන් භාෂාවක් උගන්වනවට අමතරව, ඉගෙන ගන්න හොඳ පෙළඹවීමක්, උත්ප්‍රේරණයක් එහෙමත් ලබාදෙනවා. එහෙම වෙන්නේ Duolingo එකේ භාෂාවක් ඉගෙන ගැනීම ගේම් එකක් විදියට යන නිසා. එතකොට අපි ලබාදෙන භාෂා අභියෝග සම්පූර්ණ කරමින් ඉස්සරහට ඉස්සරහට යන්න පෙළඹෙනවනේ. සරලයි. හැබැයි Duolingo එකේ යම් භාෂාවක් ප්‍රායෝගිකව ඉගෙන ගැනීමට හැරෙන්න ව්‍යාකරණානුකූලව ඉගෙන ගැනීමට ප්‍රමුඛත්වයක් ලැබෙන්නේ නම් නෑ.

 

3. Memrise

මේකත් වෙබ් අඩවියක් වගේම ඇන්ඩ්‍රොයිඩ් හෝ අයිඕඑස් ඇප් එකක් විදියටත් ලබාගන්න පුළුවන් භාෂා උගන්වන ටූල් එකක්. මේ Memrise එකේත් භාෂාවක් උගන්වන ප්‍රධාන උපක්‍රමය විදියට පාවිච්චි වෙන්නේ ගේමිෆිකේෂන්. ඒ කියන්නේ ගේම් එකක් ගහනවා වගේ තමයි. Memrise එකෙන් මුලින් භාෂාවේ දෙයක් කියලා දීලා, ඒක යොදාගන්න විදිය එහෙම හරියට කියන්න චැලේන්ජ් කරනවා. මේකේ නොමිලේ සංස්කරණයක් වගේම සල්ලි ගෙවලා ගන්න පුළුවන් ප්‍රෝ සංස්කරණයකුත් තියෙනවා. ප්‍රෝ සංස්කරණයේ ගේම්ස් විදියට හදපු තව වැඩිපුර ඉගෙන ගන්න පාඩම් තියෙනවා. ඒ වගේම ප්‍රෝ සංස්කරණයේ මේ භාෂා පාඨමාලා ඉන්ටර්නෙට් නැතුව පාවිච්චියට ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්. හැබැයි ඉතින් ඒවා නැතත් නොමිලේ සංස්කරණයත් හොඳටම ඇති කෙනෙක්ට භාෂාවක් අල්ලගන්න ඉගෙනගන්න. මේකේ ඇත්තටම භාෂා ඉගෙන ගන්න වගේම වෙනත් වෙනත් දේවල් ඉගෙන ගන්නත් පාඨමාලා තියෙනවා. භාෂා පාඨමාලා විතරක් දෙසීයකට වැඩියෙන් තියෙනවා!

 

4. Polyglot Club

අපිට භාෂාවක් කතා කරන්න ඉගෙන ගන්න පුළුවන් හොඳම විදියක් තමයි, ඒ භාෂාව දන්න කෙනෙක් එක්ක ඒ භාෂාවෙන් කතා කරන එක. හා නැද්ද? ඔය ඉංග්‍රීසි බැරි ඈයො වුනත් ඉංග්‍රීසියෙන් වැඩ කරන ඔෆිස් එකක ඉන්න කොට ටික කාලෙකින් ඉංග්‍රීසි අල්ල ගන්නේ. හැබැයි ඉතින් එහෙම භාෂාවක් දන්න, අපිත් එක්ක ඒ භාෂාවෙන් කතා කරන්න කැමති කෙනෙක්ව හොයාගන්න එක ටිකක් අමාරු වැඩක්. ආන්න ඒකට උදවුවක් තමයි මේ Polyglot Club කියන්නේ. මේක ඇත්තටම භාෂා පාඩම් කියලා දෙන තැනක් නෙවෙයි. ඊට වඩා කමියුනිටි සෝෂල් මීඩියා වෙබ් සයිට් එකක්. හරියට ෆේස්බුක් වගේ. සම්පූර්ණයෙන්ම නොමිලේ ලියාපදිංචි වෙන්න පුළුවන්. දැන් මේකේ ඉන්න විවිධ රටවල් වල අය එක්ක කතාබහ කරලා අපි එහෙන් මෙහෙන් අල්ලගෙන තියෙන භාෂාවක් ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. මෙතනදී ආධුනිකයෙක් නම් ටිකක් අමාරුවේ වැටෙන්න පුළුවන්. ඒ නිසා හොඳම දේ තමයි උඩින් කියපු සේවාවක් භාවිතා කරලා භාෂාවක් මූලිකව අල්ලගෙන, ඊට පස්සේ ප්‍රැක්ටිස් ග්‍රවුන්ඩ් එකක් විදියට Polyglot Club පාවිච්චි කරන එක. මේකේ රටවල් 150 ක ලියාපදිංචි සාමාජිකයෝ ලක්ෂ හයකට වඩා ඉන්නවා. ඒ කියන්නේ භාෂා 150 කට විතර Polyglot Club එකෙන් ප්‍රවේශය ලැබෙනවා කියන එකනේ.

 

5. Anki

ඇත්තටම අපි භාෂාවක් ඉගෙන ගන්නකොට එක ඔන්ලයින් ටූල් එකක්ම පාවිච්චි කරන්න අවශ්‍ය නෑ. ඒකට හොඳම උදාහරණයක් තමයි Anki කියන්නේ. මේක ඇන්ඩ්‍රොයිඩ්, අයිඕස්, ලිනක්ස්, වින්ඩෝස් සඳහා ඇප් එකක් විදියටත්, කෙලින්ම වෙබ් එකෙන් වුනත් පාවිච්චි කරන්න පුළුවන් සේවාවක්. මේකේ භාෂාවන්ට අමතරව ඔය එක එක දේවල් මතක තියාගන්න එහෙම පාඩම් වුනත් කියලා දෙනවා. භාෂාවක් ඉගෙන ගන්න ඕවත් වැදගත්නේ. මේකේ අරාබි, චීන, ඉංග්‍රීසි, ප්‍රංස, ජර්මානු, ජපන්, හීබෘ, කොරියන්, රුසියානු සහ ස්පාඤ්ඤ භාෂා විතරයි දැනට තියෙන්නේ. අනික විශේෂයෙන්ම හිතට ගන්න ඕන කාරණාව වෙන්නේ, තනිකරම භාෂාවක් ඉගෙන ගන්න Anki විතරක් පාවිච්චි කරන එක මදි කියන එක. මොකද, Anki එකෙන් ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නේ භාෂාවක වචන සෙට් උගන්වන එක සහ ඒවා මතක තියාගන්න උදවු කරන එක තමයි. ඉතින් හොඳම වැඩේ වෙන්නේ තවත් භාෂා ඉගෙන ගන්න ඔන්ලයින් සේවාවක් එක්කම ටූල් එකක් විදියට Anki පාවිච්චි කරන එක තමා.

 

6. Clozemaster

ඇන්ඩ්‍රොයිඩ් සහ අයිඕඑස් වලට ඇප් එකක් විදියටත්, නැතිනම් වෙබ් සේවාවක් විදියටත් පාවිච්චි කරන්න පුළුවන් මේ Clozemaster සේවාවේ උපරිමය ලබාගන්න නම් මාසෙකට ඩොලර් 8 ක් විතර ගෙවලා ප්‍රෝ සංස්කරණය ලබාගන්න වෙනවා. හැබැයි නොමිලේ සංස්කරණයේත් සැලකිය යුතු වටිනාකමක් තියෙන නිසා අපි මේකත් අපේ ලිස්ට් එකට ගන්නවා. හැබැයි Clozemaster ගැන මුලින්ම කියන්න තියෙන්නේ මේක භාෂාවක් ඉගෙන ගන්න ආධුනිකයෙක්ට ගැලපෙන්නෙ නැහැයි කියන එක. මොකද, මේකේ තියෙන ටූල්ස් ගැලපෙන්නේ යම් භාෂාවක් ගැන සාමාන්‍ය දැනුමක් තියෙන කෙනෙක්ට,. අන්න ඒ නිසා හොඳම දේ තමයි, උඩින් කියපු වෙනත් භාෂා ඉගෙන ගන්න ටූල් එකක් පාවිච්චි කරන ගමන් Clozemaster එකත් පාවිච්චි කරන එක. මේකේ භාෂා සීයකට වඩා ඉගෙන ගන්න ඉඩ පහසුකම් තියෙනවා.

 

7. Forvo

ගොඩක් වෙලාවට සමහරු Forvo මේ වෙනකොටත් පාවිච්චි කරලා ඇති. මොකටද? ඔන්න අපි උච්ඡාරණය කරන්න දන්නෙ නැති වචනයක් කොහෙන් හරි සෙට් වෙනවා. ඒක ඉංග්‍රීසි වෙන්නත් පුළුවන්, වෙන භාෂාවක වෙන්නත් පුළුවන්. අන්න එතකොට අපිට ඒක හරියටම උච්ඡාරණය කරන විදිය හොයාගන්න ගූග්ල් සර්ච් කළහම ලැබෙන උඩින්ම තියෙන රිසල්ට් එකක් තමයි Forvo. ඒකෙන් අපිට ඒ වචනේ උච්ඡාරණය කරන විදිය ඉගෙන ගන්න පුළුවන්. හැබැයි Forvo කියන්නේ එතනින් නතර වෙන දෙයක් නෙවෙයි. මේ උච්ඡාරණ සහාය එක්කම යම් භාෂාවක් ඉගෙන ගන්න යම් යම් පහසුකම් Forvo සේවාවේ තියෙනවා. මේකේ භාෂා තුන්සිය තිස්පහකට වැඩි ප්‍රමාණයක උච්ඡාරණයන් මිලියන හතරකට වැඩි ප්‍රමාණයක් ඇතුළත් කියලා තමයි කියන්නේ. Forvo වෙබ් එක සහ ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක සම්පූර්ණයෙන්ම නොමිලේ පාවිච්චි කරන්න පුළුවන් වුනත්, අයිඕඑස් වලදී නම් පොඩි ගාණක් ගෙවලා තමයි ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න වෙන්නේ. මේකත් ඇත්තටම භාෂාවක් ඉගෙන ගන්න තියෙන වෙනත් සේවාවක් එක්ක, ප්‍රධාන වශයෙන් උච්ඡාරණයන් ඉගෙන ගන්න පාවිච්චි කරන එක තමයි හරියන්නේ.

 

දැන් තේරෙනවනේ තමන්ට වුවමනාව තියෙනවා නම් ඉංග්‍රීසි ඇතුළු වෙනත් බොහෝමයක් ලෝකේ භාවිතා වෙන ප්‍රධාන භාෂා නොමිලේම ඉගෙන ගන්න සම්පත් ඕනෑ තරම් අන්තර්ජාලේ තියෙනවා කියන එක. මේ බොහොම පොඩි ලිස්ට් එකක් විතරයි. ඇත්තටම ඒකට අවශ්‍ය වෙන්නේ මුලින් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් සහ දෙවෙනුව තමන්ගේ ඕනෑකම සහ කැපවීම විතරයි. පළවෙනි එක ලබාගන්න ලේසියි. දෙවෙනි එක හොයාගන්න ටිකක් අමාරුයි. හැබැයි හොයාගත්තොත්, අලුත් භාෂාවක් ඉගෙන ගන්න එකේ ප්‍රතිලාභයත් තමන්ටමයි!