ඉගෙන ගන්න ගමන් සල්ලි හම්බකරන්න කැමති අයට වටිනා උපදෙස් ටිකක්

ඉගෙන ගන්න ගමන් සල්ලි හම්බකරනව කියල අදහස් කරන්නෙ ඉස්කෝලෙ යන කාලෙ ඒ වැඩත් නවත්තල සල්ලි හොයනවටනම් නෙමෙයි. ඉගෙන ගැනීමයි සල්ලි හම්බකිරීමයි දෙකම එකටම කරන්න පුළුවන්, අද කාලෙ අහස උසට ඉහ​ළ ගිහින් තියෙන වියදම් එක්ක එහෙම නොකරත් බැරි කාලයක් තමයි විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන කාලය. අවුරුදු 13ක් තිස්සෙ පාසල් අධ්‍යාපනය දෙන්නත් වියදම් කළාට පස්සෙ කැම්පස් එකේ හැම වියදමම දෙමව්පියන්ගෙන් ඉල්ලන්නත් බැහැනෙ. මොකද කැම්පස් යන එකත් ලේසි පහසු නැහැ. කෑමට බීමට, ඇඳුම් වලට, ඉඳල හිටල යාළුවො එක්ක යන ට්‍රිප් වලට එහෙම බර වියදම්. ඒ මොනදේ නැතත් ඉගෙනගෙන  ඉවරවෙලා රස්සාවක් ලැබෙනකන්ම නොඉඳ තමන්ටම කියල කීයක් හරි හොයාගන්න පුළුවන් වැඩක් කරන එක අනාගතේටත් සෑහෙන්න හොඳයි. ඔය ප්‍රසිද්ධ, ධනවත් මිනිස්සුන්ගෙ ජීවිත කතා කියෙව්වමත් පේනවනෙ ඒ හැමෝම ගොඩක් වෙලාවට විශ්විද්‍යාල කාලේ ඉඳලම එක එක ව්‍යාපාර කරන්න පටන් අරගෙනයි ඔය ලොකු තැන්වලට ඇවිල්ල තියෙන්නෙ කියල. 

ඉතින් ගෙදරට බරක් නොවී, තමන්ටම කියල කීයක් හරි හම්බකරගෙන, පොඩි ඉතුරුවක් එහෙම හදාගන්න හිතේ තියෙන විශ්වවිද්‍යාල නංගිලා මල්ලිලාට වැදගත් උපදෙස් කීපයක් තමයි මේ දෙන්න යන්නෙ.

 

1. අලුත් දේවල් ඉගෙන ගන්න

මුලින්ම කරන්න ඕන අපිට කරන්න පුළුවන් වෙනස් වෙනස් දේවල් ඉගෙන ගන්න එක. මොකද බිස්නස් එකක් තියා මොනදේ කරන්නත් දැනුම තියෙන්න ඕනනෙ. ඉතින් ඔය විදිහට කැම්පස් යන ගමන්ම කරන්න පුළුවන් ආදායම් උපයන වැඩ ගැන කියන්න ගියොත් නම් උදාහරණ ගොඩක් දෙන්න පුළුවන්. ටියුෂන් පන්ති, Photography, Party Decorations, Data Entry වගේ… ඉතින් ඒ ගැන අපි පස්සේ වෙනම ලිපියකින් කතා කරමු.

කොහොමහරි මේ කොයිදේත් කරන්න මූලික දැනුමක් අවශ්‍යයි. හැබැයි ඒ දැනුම ලබාගන්න නම් පොඩ්ඩක්වත් අමාරු නැහැ. මොකද ඉස්සර වගේ නෙමෙයි, අද කාලෙ ඇඟිලි තුඩේ දුරින්, ඒ කිව්වේ කම්පියුටර් එකේ එක key word  එකක් ගහපු ගමන් YouTube, Pinterest  වගේ ඕනම තැනකින් ඕනම දෙයක් හොයාගන්න පුළුවන්. හිතේ කැමැත්තයි, උනන්දුවයි විතරමයි ඕන.

 

2. පටන් ගන්න බයවෙන්න එපා

අළුත් දෙයක් පටන් ගන්න තියෙන භීතිකාව කියන්නෙ හුඟක් අයට තියෙන පොදු රෝගයක්නේ. මේ ලෙඩේනම් නිට්ටාවටම සනීප කරගෙන ඉන්න ඕන. නැත්තම් වැඩක් පටන් ගන්නව බොරු. හරියන්න හරි, වරදින්න හරි ඕනම දෙයක් පටන් අරගෙන ඉන්න එපැයි. ඒ නිසා හිතට එන හොඳ අදහස් කිසිම එකක් ක්‍රියාවට නංවන්න පසුබට වෙන්නනම් එපා. ප​ළවෙනි අඩිය තියන එක තමා ටිකක් අමාරු. හැබැයි ඉතින් ඒ අඩිය අමාරුවෙන් හරි තියාගත්තොත් ඉතුරු ගමන යන්න ලොකු අමාරුවක් නැහැ. 

 

3. හොඳ විකුණුම්කරුවෙක් වෙන්න

තමන් කරන ඕනම දෙයක්, ඕනම භාණ්ඩයක් සේවාවක් විකුණගන්න හොඳ විකුණුම්කරුවෙක් වෙන්න ඕන. තේරෙන භාෂාවෙන් කිව්වොත් පට්ට marketer කෙනෙක් වෙන්න ඕන. ඒකත් අද කාලෙ සමාජ මධ්‍ය ජාලා එක්ක සිම්පල් වැඩක්. බය නැතුව තමන්ගෙ product එක හෝ service එක විකුණන්න. ඔයාගෙ ඒ භාණ්ඩය හෝ සේවාව ගැන කස්ටමර් තෘප්තිමත්නම් අනිවාර්යයෙන්ම ආයෙමත් ඔයා ළඟටම එයි. අනිත් අයටත් රෙකමන්ඩ් කරයි.

 

4. පටන් ගත්ත මුල්ම expert කෙනෙක් වෙන්න ඕන නැහැ

කිසිම වැඩක් පටන් ගත්ත ගමන්ම අන්තර්ජාතික මට්ටමේ කොලිටි එකක්, ප්‍රති​ඵලයක් අපිට බලාපොරොත්තු වෙන්න බැහැ. මුලදී මුලදී හුඟක් වැරදීම් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි බැනුම් අහන්න, හිත්රිදවීම් දරාගන්න වෙන්න එහෙමත් පුළුවන්. හැබැයි මේ හැමදේම කලින්ම බලාපොරොත්තු වෙන්න ඕන. ඕනම වැඩක් කාලයක් ප්‍රගුණ කරනකොට තමයි ඒ වැඩේ සුපිරියටම කරන්න පුළුවන් මට්ටමට අපේ හැකියාවන් දියුණු වෙන්නෙ. ඒ නිසා මුලදී මුලදී වෙන වැරදීම් වලදී හිත රිද්දගන්න, පසුබට වෙන්න එපා. වැරදි වැරදි ඉස්සරහට යන්න හිත හයිය කරගන්න.

 

5. බාධක බලාපොරොත්තු වෙන්න

ඒ වගේම තමයි කරන වැඩේ ඇතු​ළෙන්ම වගේම අවට සමාජයෙනුත් එන්න පුළුවන් එක එක බාධා. උදාහරණයක් හැටියට මේ කොරෝනා කාලෙ කිසිම කෙනෙකුට තමන් කර කර හිටපු ව්‍යාපාර කරගන්න බැරිවුණ කාලයක්නෙ. එහෙමයි කියල සැලෙන්න එපා. ඕනම වැඩකට බාධා එන්න පුළුවන්. අර කතාවටත් කියන්නෙ ගල්පර වල හැපී හැපී ගලනකොට ගඟක් උනත් ලස්සනයි කියල. 

කොහොමහරි ඉස්සරහට එන්න පුළුවන් ප්‍රශ්න ගැන එහෙම වැඩේ පටන් ගන්න මුලම ටිකක් හිතල බලන්න. ඒවට පොඩි පොඩි විසඳුම් එහෙමත් කලින්ම හිතේ තියාගන්න.

 

6. ලොකු ආයෝජන කරන්න එපා

එකපාරටම ලොකුවට සල්ලි යොදවන දේවල්නම් මේ කාලෙදි පටන් ගන්න එක නුවණට හුරු නැහැ. මොකද ව්‍යාපාර ගැන, වෙළඳපොල ගැන එහෙම තියෙන දැනුම අඩු නිසා රැවටෙන්න, වරදින්න තියෙන චාන්ස් එක වැඩියි. අනිත් එක තමන්ගෙ කියල ලොකුවට සල්ලියක් නැති මේ කාලෙ එක්කො අම්මලගෙන් හරි ණයට හරි ඉල්ලගෙන ලොකු ආයෝජන වලට යන්නෙ මොකටද? පොඩි තැනකින් පටන් ගන්න. ටික ටික ඉහ​ළට යද්දි ඒකෙන්ම ලැබෙන දැනුම උනත් ඉස්සරහට සෑහෙන්න වටිනව.

 

7. කාලය කළමනාකරණය කරගන්න

ඊළඟට ලොකුම දේ තමයි මේ ඔක්කොම අස්සෙ කාලය කළමනාකරණය කරගන්නවා කියන එක. මොකද university ජීවිතේ කියන්නෙ ජීවිතේටම ආපහු එන්නෙ නැති සුන්දර කාලයක්. ඒ කාලෙදි කරගන්න ඕන පාඩම් වැඩකටයුතු වලට මුල්තැන දීල ඒව උපරිමයෙන්ම කරගන්න. මොකද කැම්පස් එන්නෙ ඉගෙන ගන්නනෙ. ඊළඟට යාළු මිත්‍රයෝ එක්ක තියෙන සම්බන්ධකම් එහෙමත් බැලන්ස් කරගෙන තියාගන්න ඕන. මොකද ඒ වගේ යාළුවො, අවස්ථා එන්නෙත් නැහැ ආපහු ජීවිතේටම. සල්ලි හම්බකරන්නනම් ඊට පස්සෙ ජීවිත කාලයක්ම තියෙනවා. ඒ නිසා ඔය ඔක්කොටම පස්සෙ තමා සල්ලි හොයනවා කියන වැඩේ කරන්න ඕන. 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *