ලෝකයේ භයානකම ශාක වර්ග 7

ශාක අපිට ඔක්සිජන් දෙනවාය ප්‍රභාසංස්ලේෂණය කරනවාය කියන මේ ඔක්කොම හරි. ඒත් ඔය ශාක ලෝකයේ සමහර අය හොඳින් තියෙන අපේ ජීවිතයත් ඩැහැ ගන්නවා. එහෙම කිව්ව පමණින් හැමෝටම මාංශ භක්ෂක බාඳුරා වගේ ශාක මතක් වෙනවා ඇති. හැබැයි මනුස්ස ජීවිතයක්‌ හොම්බෙන් යවන්න බාඳුරා ශාකයකට ඇත්තටම පුළුවන් ද? මනුස්සයෙක් මරන්න තරම් හැකියාවක් ඇති ලෝකයේ භයානකම ශාක විදියට බ්‍රිටැනිකා ශබ්දකෝෂය නම් කරලා තියෙන ශාක වර්ග 7ක් තියනවා. ඒ මොනාද කියලා දැන් බලා කියාගමු.

 

1. Tobacco

Image Source – littlegatepublishing.com

සරලවම කියනවා නම් දුම්කොළ. මේ ශාකයෙන් ගත්තු පදම් කරපු දුම්කොළ ලෝකයේ බොහෝ දෙනෙක් පාවිච්චි කරනවා. මේ පාවිච්චිය නිසා මිනිස්සුන්ට හැටහුට හමාරක් මරණීය ලෙඩ හැදෙනවා. මේ අධික භාවිතය නිසයි ලෝකයේ අංක එකට භයානකම ශාකය විදියට රෙකෝඩ් එකක් ගහලා තියෙන්නේ. දුම්කොළවල ප්‍රධාන වශයෙන්ම තියෙන්නේ නිකොටින් කියන විෂ රසායනයයි. දුම්කොළ භාවිතයෙන් අවුරුද්දකට මිලියන 5කට වැඩි මරණ සංඛ්‍යාවක් සිද්ධ වෙනවා.  හෘදයාබාධ, පෙනහළු ආශ්‍රිත රෝග, අක්මා රෝග  පිළිකා වර්ග ඇති වෙන්න සෘජුවම දායක වෙන ශාකයක් තමයි මේ.

 

2. Oleander

Image Source – mesothelioma.net

මේ කියන්නේ කනේරු ගැන. කනේරු ශාකයේ හැම අංගයක්ම විෂයි කියලා කිව්වට වඩාත් විෂ විදියට සැලකෙන්නේ කනේරු ඇට. ගොඩක් ප්‍රේමයෙන් පැරදුණ, ජීවත් වෙන්න බය, කොන්ද පණ නැති අය කනේරු ඇට කාපු අවස්ථා ලංකාවෙනුත් වාර්තා වෙලා තියනවනේ. කනේරු ඇට කන එකෙන් වෙන්න පුළුවන් නරකම දේ තමයි ආහාර ජීර්ණ පද්ධතියට කාඩියැක් ග්ලයිකොසයිඩ් කියන විෂ රසායනය ඇතුල් වෙලා මරණයට පත් වෙන එක. හැබැයි ගෙවත්ත අලංකාර කරන්නය කියලා අපේ ඇන්ටිලා ඒ කාලේ ඉඳන්ම ගෙවල්වල කනේරු වැව්වා.

 

3. Rosary Pea

Image Source – commons.wikimedia.org

අපේ පුංචි කාලයත් එක්ක අම්බානෙකට සම්බන්ධ වුණ ඔළිඳත් අම්බානෙක විෂ ගුලාවක් කියලා දැනගෙන හිටියද? කොහොමත් පොඩි අයට තමයි මේකේ භයානකකම වැඩියෙන්ම  සෙට් වෙන්නේ. ඇස් කඩාගෙන යන ලස්සන  නිසා කටේ දාලා හපන්න පොඩි දරුවෝ පෙළඹෙනවා. මේ ශාකයේ තියෙන ඒබ්‍රින් කියන විෂ රසායනය ශරීරගත වුනොතින් එහෙම සිරුරේ ඉන්ද්‍රියන් අක්‍රිය වෙන්න පුළුවන්. ආභරණ හදන බොහෝ දෙනා ඔළිඳ ඇට පාවිච්චි කරනවා. ඔළිඳ නිසා සෞඛ්‍ය ගැටළු වලට ලක්වුණ අය බැලුවොත් ගොඩක් දෙනා මේ ආභරණ හදපු අය කියලා තමයි කියවෙන්නේ. ඒ කියන්නේ ඇඟිලි අස්සේ කෑලි බෑලි රැඳිලා අසනීප වීමෙන්.

 

4. Castor Bean

Image Source – wagwalking.com

මේ කියන්නේ ඖෂධීය ශාකයක් විදියට අපි දන්නා එඬරු ගැනයි. බෙහෙත් එඬරු ශාකයේ බීජවලින් හදාගන්නා තෙල් ආයුර්වේදයේම සඳහන් වෙන විදියට ඉතාම ගුණදායකයි. හැබැයි තෙල් හැදිල්ලේ දී ඉතිරි වෙන මන්ඩි විෂ සහිතයි. එඬරු ඇට තමයි භයානකම ඉතින්. මේ ශාකයේ හැම කොටසකම රිසින් කියන විෂ කාරක ඇල්බියුමිනය තියනවා. එඬරු ඇට 2-6ත් අතර ප්‍රමාණයක් ශරීරගත වුණොත් හුස්ම ගන්න හෙම බැරි වෙලා මරණය පවා ඇති කරවනවා. මෙතැනදීත් ගොඩක්ම අවදානමකට ලක් වෙන්නේ පොඩි ළමයි. ඉස්කෝලවල ප්‍රායෝගික ක්‍රියාකාරකම්වලට එක එක ඇට වර්ග ගේන්න කියනවා. හොයාගන්නත් ලේසි නිසා එඬරු තමයි අරන් යන්නෙම. මේ ඇටයේ තියෙන අපූරු හැඩය නිසා පොඩ්ඩෝ හපලා බලනවා. මේ ගැන දෙමව්පියන් සහ ගුරුවරු සැලකිලිමත් වෙන්න ඕනි.

 

5. White Snakeroot

Image Source – bbg.org

ඒකාවේරිය නැතිනම් සර්පගන්ධ කියලා අපි දන්නා ශාකය නම් නෙවෙයි මේ. ඒකට කියන්නේ Indian Snakeroot කියලා. ඒක ආයුර්වේදයේ විස්කම් පාන මහාර්ඝ ඖෂධයක්. ඒ නිසා ඒකයි මේකයි පටලගන්න එපා. කොහොමත් මේ White Snakeroot අපේ රටේ නැහැ. ඇමරිකාවේ පැත්තේ අයට තමයි ඕකේ අවුල තියෙන්නේ. හොදි ඕනි නැහැ ඒබ්‍රහම් ලින්කන් ජනාධිපතිතුමාගේ අම්මා මිය ගියෙත් මේවා ශරීරගත වෙලා. ඒකත් සෘජුවම සිද්ධ වුණ දෙයක් නෙවෙයි. මේ ශාකය ආහාරයට ගත්තු එළදෙනෙකුගෙන් දොවාගත්තු කිරි බීලා තමයි මේ සන්තෑසිය වෙලා තියෙන්නේ. මේවා ශරීරගත වුණාම ආහාර අරුචිය, වමනය, අධික ලේ වහනය, මරණය සිද්ධ වෙනවා.

 

6. Deadly Nightshade

Image Source – mywildflowers.com

මේකත් අපිට ඇස ගැහෙන ශාකයක් නෙවෙයි. යුරේසියාවේ තමයි දකින්න ලැබෙන්නේ. මේ ශාකයේ පත්‍ර ඇඟ ගෑවුණත් හම ආසාදනය වෙන්න ඉඩ තියනවා. ඒත් ඊට වඩා මරණය ළඟා කරවන එක තමයි වැඩේ. මේ ශාකයේ හැම තැනකම වගේ ඇට්‍රොපයින් සහ ස්කොපොලමයින්  කියන විෂ රසායන අන්තර්ගත වෙලා තියනවා. මේ ගහේ තියෙන ගෙඩිය චෙරි ගෙඩියක් තරම් පෙනුමයි. ඒ වගේම පැණි රහයි. අන්න ඒ ගෙඩියක් ඇති මනුස්සයෙක්ව මරලා දාන්න.

 

7. Water Hemlock

Image Source – wildernessawareness.org

මේ මල් දිහා බලන්න ආසයි. කැරට් වගේ සුවඳකුත් එනවා. ඒත් ලස්සන හැම දෙයක්ම හිතන තරම් සුන්දර නැහැ වගේ මේ මල් පොකුරුත් විෂ පොකුරු. යුරෝපය ආසියාව සහ ඇමරිකාව යන මහාද්වීපවල ජලාශ්‍රිතව දකින්න පුළුවන් නිසයි මේ වෝටර් කෑල්ල එන්නේ. ඒක නැතුව හෙම්ලොක් කෑල්ල විතරක් ගත්තොතින් ඉතිහාසය කියන විදියට සොක්‍රටීස් මැරුණෙත් හෙම්ලොක් ශාක ප්‍රභේදයක් ශරීරගත වුණ නිසා. එක වල්ලේ පොල් වගේ මෙයත් විෂයි. මේ ශාකයේ 100gක ප්‍රමාණයකින් වැඩුණු තඩි හරකෙක් වුණත් මරන්න පුළුවන්. මිනිස්සු ගැන කවර කතා ද ඉතින්!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *