ද විචර් (The Witcher) බලන්න කලින් දැන කියාගත යුතු දේවල්

පහුගිය දවස් ටිකේ සෑහෙන කලබලයක් ඇති කරපු කතාවක් වුණානේ ද විචර්. ඒ උණුහුම තවම බැහැලා නෑ. කොටින් ම කිව්වොත් තාමත් සමහර උදවිය මේක බලලත් නෑ. ඉතින් එහෙම නොබලපු සහ බලන්න හිතන් ඉන්න අයට මේ ලිපිය වැදගත් වෙයි කියලා අපි හිතනවා.

 


1. ද විචර් කතා පොත් ඇසුරිනි


විචර් කතා මාලාවේ නායකයා තමයි ගැරල්ට්. ගැරල්ට් ඔෆ් රිවියා. මෙයා මේ රාක්ෂයෝ මරණ ඩයල් එකක්. අපි එයා ගැන දැනන් හිටියේ වීඩියෝ ගේම් එකක ඉන්න හාදයෙක් විදියට. නමුත් නෙට්ෆ්ලික්ස් කට්ටිය මේ අලුත් ටීවි සීරිස් එක හදලා තියෙන්නේ ඒ වීඩියෝ ගේම් එක ආශ්‍රය කරගෙන නෙවේ. සමහර කොටස් නම් තියනවා තමයි. නමුත් කතා මාලාවේ සමස්තයම වගේ හදලා තියෙන්නේ අසූ ගණන්වල ලියවෙන්න පටන් ගත්ත කතා මාලාවකින්. 



2. චරිත තුනක්


කතාව මූලික වශයෙන් ම භ්‍රමණය වෙන්නේ චරිත තුනක් වටා. ඒ තමයි ගැරල්ට් ඔෆ් රිවියා, යෙනෙෆර් ඔෆ් වෙන්ගබර්ග් සහ සින්ට්‍රාවේ කුමරිය වන සිරී (අපේ එක්කෙනා නෙවේ මේ කුමාරිකාවක්). මේ තුන් දෙනාටම තමන්ට අනන්‍ය වෙච්ච බල තියනවා. සිරී දන්නෙවත් නෑ තමන්ගේ බලය ගැන. ඒ වගේ ම මේ කතාව පුරා අපිට බලන්න පුළුවන් තුන් දෙනාගෙම බැඳීම. 



3. විචර් කෙනෙක් කියන්නේ කවුද?


විචර් කෙනෙක් කියන්නේ කලින් කිව්වත් වගේ රාක්ෂයන්ව දඩයම් කරන්නෙක්. එහෙම කෙනෙක්ව ලේසියෙන් මරන්න බෑ. ඒ වගේ ම එයාට කරන්න බැරි දේකුත් නෑ. සියල්ලට වඩා සල්ලි සහ බලය ඉහළයි කියලා හිතන විචර් කෙනෙක්ව සාමාන්‍යයෙන් සැලකෙන්නේ හිත් පිත් නැති මෙලෝ රහක් නැති අපතයෙක් විදියට. ඒත් අපේ නෙට්ෆ්ලික්ස් කතාවේ ඉන්න ගැරල්ට් නම් පොඩ්ඩිත්තක් මානුෂීය ලක්ෂණ පෙන්නුම් කරනවා.

 


4. විචර් පාසල්


දැන් මේ විචර් කෙනෙක් වෙන එක කවුරුත් උත්පත්තියෙන් අරගෙන එන දෙයක් නම් නෙවේ. ඒ සඳහා වෙන ම පාසල් තියනවා. මේවට ගොඩක් වෙලාවට බඳවාගන්නේ ළමා අවධියේ. ඒ බඳවාගන්නෙත් අනාත ළමයි බොහෝ වෙලාවට. කොහොමත් ඒ අයට වෙන විකල්පයක් නෑ ඒ හැරුණු කොට. මේ පාසල්වල ඉතින් තියෙන්නේ ඉතාම දරුණු ගණයේ පුහුණුවක්. 10 දෙනෙක් හිටියොත් පුහුණුව අවසානයේ 3ක් විතර බේරෙයි.



5. එල්ෆ්වරු සහ කොන්ටිනන්ටය


කොන්ටිනන්ට් කියන භූමි භාගයේ මුල් උරුමක්කාරයෝ තමයි එල්ෆ්ලා. කොහෙන්දෝ කඩා පාත් වෙච්ච මිනිස්සු හින්දා එල්ෆ්ලා කැලෑ වැදුණා. සමහර එල්ෆ්ලා නම් මිනිස්සු එක්ක හොඳින් හිටියා. ඒත් සමහර අයට නම් තමන්ගේ භූමිය උදුරාගත්තු ඈයෝ එක්ක නයි වෛරයක් තිබ්බේ. මොන හයිකාරකම් තිබ්බත් කට්ටියට රාක්ෂයො මල වදයක් වෙලා තිබුණේ. ඉතින් අන්න ඒකට තමයි විචර්ලා අවශ්‍ය වුණේ.



6. කතාවේ නපුරෝ කවුද? 


කතාව්වෙ නපුරෝ තමයි තමන්ගේ බලය වර්ධනය කරගන්න පුදුම ඇම්මක් තියෙන කොන්ටිනන්ටයේ දකුණට වෙන්න පිහිටලා තියන නිල්ෆ්ගාඩියන් අධිරාජ්‍යය. එයාලගේ උපරිම වෛරක්කාරයෝ ටික හිටියෙත් උතුරේ. ඇයි ඉතින් අර යක්කුන්ට කුට්ටිය පිටින් ම ඕනි. සිවිල් යුද්ධයකට පාර හදන්නෙත් මේ නිල්ෆ්ගාඩියන් පෝරිසාදයෝ තමයි.



7. දියුණු ලෝකය


මේක නිකන් කෝපි කාලේ කතාවක් වගේ පෙනුණට එහෙම නෙවේ. මැජික්වලින් විතරක් ම දුවන කතාවකුත් නෙවේ. සමහර තැන් තියෙන​ව විද්‍යාව හරි හරියට භාවිත වුණ. ජාන තාක්ෂණය වගේ දේවල් ඒ අතරින් වැදගත්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *