සැප්තැම්බරේදි කියවන්න උණු උණුවෙන් ආපු අලුත්ම පොත් හතක්

දැන් මේ පාර පොත් ප්‍රදර්ශනය තියෙයිද නැද්ද කියලා නම් අපි හරියටම දන්නේ නැහැ. තිබ්බත් නැතත් පොත් වලට ආදරේ අය නිසා අපි බුක් ශොප් එකකින් හරි ඔන්ලයින් හරි පොත් අනිවාර්යයෙන්ම ගෙන්න ගන්නවා. ඉතින් ඒ නිසාම අද අපි හිතුවා මේ වසරේ ආපු සුපිරිම සුපිරි පොත් හතක් ගැන කතාකරන්න…

 

1. අවසන් කටයුතු දිල්ලියේදී

චේතන් භගත්ගේ පොතට දීලිප ජයකොඩිගේ පරිවර්තනය කියන්නේ ඉතාම රසවත් අමරණීය බැඳීමක් කියලා ඒ පොත් කියවපු අය නම් හොඳට දන්නවා ඉතින්. “දෙන්නා දෙපැත්තේ ආරති මැද්දේ”, “මොන මඟුලක්ද මන්දා”, “තුන් තකතීරු කං කරපු කෙනෙක් මං” වගේ මේ සුසංයෝගයේ පොත් කියවපු අයට ඔන්න සුබ ආරංචියක්. චේතන්ගේ නවතම නවකතාව වන “One Arranged Murder” නවකතාව සුපුරුදු ලෙස දිලීප ජයකොඩි මහතා පරිවර්තනය කරලා තියෙනවා අවසන් කටයුතු දිල්ලියේදී නමින්. දිලීප ජයකොඩි විසින් පරිවර්තනය කළ භගත්ගේ “105” නවකතාව වගේම මේකත් අභිරහසක් වටා ගෙතුන කතාවක්. 

 

2. ළපලු 

ශාන්ති දිසානායක මහත්මියගේ පොත් වගේම ඒ ඇසුරින් නිපදවන ටෙලි නාට්‍ය එහෙමත් අපි හැමෝම හරිම ආසාවෙන් වැළඳ ගන්නවානේ. ඉතින් ඇගේ රසික රසිකාවියන්ට ඔන්න සුබ ආරංචියක්. ඇගේ නවතම කෘතිය ළපලු පසුගිය දිනෙක නිකුත් වුණා. ඇගේ රසික රසිකාවියන් ඇගේ අනිත් පොත් වගේම මෙයත් අනිවාර්යයෙන්ම වැළඳ ගනීවියි කියලා අපි විශ්වාස කරනවා…

 

3. නාඳුනන සුබපැතුම්

අභිරහස්, ත්‍රාසජනක වට්ටෝරුවේ පොත් කියවන පාඨකයන්ට ගිම්හාන් සූරියබණ්ඩාර කියන්නේ නොදන්න නමක් නම් නෙමෙයි. රාජාලියා, තුන්වෙනියා වගේ කෘති හරහා ඔහු කාගෙත් ආදරයට පාත්‍ර වුණා. ඔහුගේ නවතම කෘතිය වන “නාඳුනන සුබපැතුම්” කෙටිකතා හතරකින් යුක්ත සුපුරුදු ත්‍රාසජනක වට්ටෝරුවේ අපූරු කෘතියක්. 

 

4. දුවන වට්ටියා සහ හිනාවෙන ටිකිරා

ලියනගේ අමර්කීර්ති කියන්නේ ලංකාවේ අතිශය ජනාදරයට පත් වුණු නවකතාකරුවෙක්, කෙටිකතාකරුවෙක් හා කවියෙක් කියලා අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. ඒ වගේම ඔහු සම්මානනීය ලේඛකයෙක්. මේ තමයි ඔහුගේ නවතම කෙටිකතා සංග්‍රහය. මෙය කෙටිකතා දහයකින් යුත් අපූරු කෙටිකතා සංග්‍රහයක්.

 

5. අදෘශ්‍යමාන 

පරිවර්තන කලාවේ අතිශය ජනප්‍රිය වගේම ජනාදරයට පත් වුණු පරිවර්තිකාවක් තමයි නිම්මි මුදිතා හේරත් කියන්නේ. මේ ඇගේ දෙවන ස්වතන්ත්‍ර නවකතාව. මේ පොතේ කතා නායිකාව තමයි ඉනෝකා. සැමියාත් සමග නිවාඩුවක් ගත කරන්න කඳුකර ප්‍රදේශයක යන ඇයට මුහුණ දෙන්නට සිදුවන ත්‍රාසජනක අත්දැකීමක් තමයි මේ කෘතියට අන්තර්ගත වෙන්නේ. එක හුස්මට කියවන්න පුළුවන් අපූරු කෘතියක්. 

 

6. වීදුරු මාළිගාව 

නිලූක කඳුරුගමුව කියන්නේ අපේ රටේ ඉන්න සම්මානනීය මෙන්ම දක්ෂ පරිවර්තකයන් අතර ඉහළින්ම ඉන්න පරිවර්තකයෙක් නේ. ඉතින් ඔහුගේ නවතම පරිවර්තන කෘතිය වන “වීදුරු මාළිගාව” පසුගිය දිනක මුද්‍රණය වුණා. ඉන්දීය ලේඛක අමිතාව් ඝෝශ් ගේ “The Glass Palace” කෘතිය තමයි මේ නමින් සිංහලට පරිවර්තනය වන්නේ. 

 

7. මගේ චිකාගෝ හදවත

 ශමෙල් ජයකොඩි කියන්නේ කුමර කොබෙයි, ප්‍රංශ පෙම්වතා, වීනස්ගේ උපත, රෝසමාලි වැනි නවකතා හරහා සම්මාන උළෙලවල් රැසකට නිර්දේශ වුණු අතිශය ජනප්‍රිය ලේඛිකාවක්. ඇගේ නවතම නවකතාව වන “මගේ චිකාගෝ හදවත” පසුගිය දිනෙක පාඨක අප අතරට ලැබුණා. ඉතින් ඇගේ පොත් වලට ආදරය කරන රසික රසිකාවියන්ට මෙය සුබ ආරංචියක් වන බව නම් නොඅනුමානයි.

 

එහෙනම් මේ පොත් හතටත් අමතක නොකර ඔයා ගන්න ඉන්න පොත් ලැයිස්තුවේ ඉඩක් වෙන්කරලා තියාගන්න. ඒ වගේම පොතට පතට ආදරේ යාළුවන් එක්කත් අමතක නොකර මේ දේවල් බෙදාගන්න.

 

 

ශශින් ප්‍රබෝද්

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *